ජනතා පරමාධිපත්‍ය හා ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැකගැනීම ද ආරක්ෂක හමුදාවට පැවරෙනවා

99

දියතලාවේදී ජනපති කියයි

මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනතා පරමාධිපත්‍ය හා ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැකගැනීම ද ආරක්ෂක හමුදාවට පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වර්ගවාදී සහ ආගම්වාදී ලෙස වෙන්ව ක්‍රියා කිරීමට කිසිවකු උත්සාහ කරන්නේ නම් එය ශ්‍රී ලාංකීය අනන්‍යතාවට කරන හානියක් බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පෙරේදා (16) පෙරවරුවේ එක්වෙමිනි.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨය වෙත පැමිණි සේනාධිනායක ජනාධිපතිවරයා හමුදා උත්තමාචාර පිරිනමමින් අභිමානවත් අයුරින් පිළිගැනිණි.

ජාතියටත් ශ්‍රී ලංකා යුද හමුදාවටත් වීරෝදාර නායකයන් බිහිකළ යුද හමුදාවේ විශිෂ්ටතම නිලධාරී පුහුණු ආයතනය වන දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ 98 වන විසිරයෑමේ පෙළපාලිය මෙය වන අතර පුහුණුව නිම කළ කැඩෙට් නිලධාරීන් 274 දෙනකු අධිකාරියට පත් කිරීම එදින සිදු කෙරිණි. විදේශ රටවල කැඩෙට් නිලධාරීන් 06 දෙනකුද මෙහිදී පුහුණුව ලබා අධිකාරියට පත්වීම විශේෂත්වයකි. කැඩෙට් නිලධාරීන්ගේ විසිර යෑමේ පෙළපාලිය පරීක්ෂා කිරීමට සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ අතර දක්ෂතම කැඩෙට් කණ්ඩායම වෙත ශූරතා පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. අනතුරුව ජනාධිපතිවරයා විසිර ගිය කැඩෙට් නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකටද එක්විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් දියතලාව යුද හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාව අභිමානවත් ඉතිහාසයකට උරුම්කම් කියන දක්ෂ හමුදාවක් බවත් එහි අභිමානය රැක ගනිමින් කටයුතු කිරීම ඊට එක්වන සියලු දෙනාගේ වගකීම බවත්ය.

තමන් යටතේ සිටින සියලු දෙනාට නොබියව නායකත්වය ලබා දෙන ලෙස මෙහිදී විසිර යන නිලධාරීන්ගෙන් සහ නිලධාරිනියන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා නායකත්වය දිය යුත්තේ අසීරු අවස්ථාවලදී බවත්, ඒ බව සිහියේ තබා ගනිමින් රට වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට සියලු දෙනා කැපවිය යුතු බවත් පැවසීය.

මෙහිදී උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘දියතලාව යුද හමුදා විද්‍යා පීඨය ජාත්‍යන්තර කීර්තියක් අත්කරගත් ආයතනයක්. එවන් කීර්තිමත් ආයතනයකයි ඔබ පුහුණුව අවසන් කර තිබෙන්නේ. ඔබ සියලු දෙනාම අද සිට ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වෙනවා.

ශ්‍රී ලංකාව ස්වෛරි රාජ්‍යයක්. 1948 සිට අප ස්වෛරි රටක් ලෙස කටයුතු කරනවා. එම ස්වෛරි රටේ පරමාධිපත්‍යය ජනතාවට හිමියි. ආණ්ඩු තෝරා පත් කරගන්නේ සර්වජන ඡන්දයෙන්. මේ රට ගොඩනැගී තිබෙන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාව පදනම් කර ගනිමින්. අපි සියලුදෙනා ශ්‍රී ලාංකිකයෝ. ලාංකිකයන් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්වය ආරක්ෂා කරගනිමින් අප සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස රටේ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි.

ඒ වගේම රටේ ආර්ථික වර්ධනය ඉහළ නංවාගත යුතුයි. රටක ආර්ථිකය කඩා වැටීමෙන් සිදු වන්නේ කුමක්ද කියා අප පසුගිය සමයේ අත්වින්දා. එවිට රටේ ස්වෛරීභාවය සීමා වෙනවා. රටේ ජනතාවට එක හා සමානව සැලකීමට නම් සමාජයීය දියුණුවක්ද තිබිය යුතුයි. ආර්ථික ප්‍රගතියත්, සමාජ ප්‍රගතියත් එහිදී ඉතා වැදගත්. මෙම රාමුව තුළ අප ක්‍රියා කළ යුතුයි. මෙම රාමුව ආරක්ෂා කිරීමට එක් එක් කණ්ඩායම්වලට වගකීම් පැවරෙනවා. ජනාධිපතිවරයාගේ සිට පහළට එම වගකීම විහිදී යනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවට විශිෂ්ට ඉතිහාසයක් තිබෙනවා. ආසියාවේ නවීන යුද්ධ හමුදා ආරම්භ කරන අවස්ථාවේ හතර වන ස්ථානය හිමි වූයේ ශ්‍රී ලංකාවට. 1881 ලංකා පාබල හමුදාව ආරම්භ කිරීමෙන් අප එම ස්ථානයට පත් වුණා. අපේ ආරක්ෂක හමුදාව ඉතිහාසයේ පැවති සෑම ප්‍රධාන යුද්ධයකටම සහභාගී වී තිබෙනවා.

මෙම අභිමානවත් හමුදාවේ ගෞරවය ආරක්ෂා කරමින් ක්‍රියා කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. ඔබ තේරී පත්වී සිටින්නේ නායකත්වය ලබාදීම සඳහා. තමන් යටතේ සිටින සියලු දෙනාට නොබියව එම නායකත්වය ලබා දෙන්න.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායක මේජර් ජෙනරාල් තුෂාර මහලේකම් යන මහත්වරු ද, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ විසිර ගිය කැඩෙට් නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment