ජනපතිගේ රාජාසන කතාව ගැන විවාදය 9 – 10 දිනවල

74

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 8 වැනිදා ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 9 වැනිදා බ්‍රහස්පතින්දා සහ 10 වැනිදා සිකුරාදා දෙදින පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03 දා) පැවැති පක්ෂ නායක රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.

මේ අනුව ලබන 9 වැනිදා බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග සහ විවිධ රජයේ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව පසුගිය සභාවාරයේ දී පාර්ලිමේන්තුවට යථා පරිදි ඉදිරිපත් කර තිබූ යෝජනා 51 ක් අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත.

අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ප. ව. 5.00 දක්වා පැවැත්වෙනු ඇත.

ඉන්පසු පෙබරවාරි 10 වැනිදා සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට ද මෙහිදී තීරණය වූ බව මහලේකම්වරයා පැවසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, සභානායක, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්වූ බව ද ඒ මහතා පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment