ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමෝ ස්වර්ගස්ථ වෙති

175

කොළඹ පදවියේ අගරදගුරුතුමන් ලෙස වසර හතක කාලයක් සේවය කළ එලෙසම කොළඹ විශ්වවිiාලයේ හා කොළඹ අගරදගුරු පදවියේ ඇක්වයිනස් උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු උපකුලපති ලෙස වසර 19ක් සේවය කළ අතිඋතුම් දේවධර්මාචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් රදගුරුතුමෝ ඊයේ (03දා) ස්වර්ගස්ථ වූහ.

1932 දෙසැ. 12 වැනිදා කැලණියේදී උපත ලද එතුමෝ කොළඹ ශාන්ත බෙනදික් හා වරාගොඩ ශාන්ත පාවුළු විදුහල්වලින් මූලික අධ්‍යාපනය ලබා කොළඹ ශාන්ත ජෝසප් විදුහලින් මූලික අධ්‍යාපනය ලබාගත්හ. 1950 වර්ෂයේදී බොරැල්ල ශා. ඇලෝසියස් දෙව්සත්හලෙන් ද පසුව මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්හලෙන් සිය දේවධර්මය හා දර්ශනවාදය උපාධීන් ලබා පසුව පිලිපීනයේ ඇඩම්සන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්හ.

1958 වර්ෂයේදී අතිඋතුම් දේවධර්මාචාර්ය තෝමස් කාදිනල් කුරේ එවකට කොළඹ අගරදගුරුතමා අතින් කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැඳුරේදී එතුමෝ පූජකවරය ලබා ගත්හ.

පූජකවරයකු ලෙස අති විශිෂ්ට සේවාවක් ඉටුකළ ඔස්වල්ඩ් ගෝමිස් පියතුමා 1968 ජූලි 17 වැනිදා කොළඹ අගරදගුරු පදවි සහායක රදගුරුතුමකු ලෙසින් අභිසෙස් ලැබීය. 1968-1996 දක්වා කොළඹ පදිවි සහායක රදගුරුතුමන් ලෙස විශිෂ්ට සේවාවක් ඉටු කළේය. 2002 ජූලි මස 06 වැනිදා එවක දෙවැනි ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියාණන් විසින් ඔස්වල්ඩ් ගෝමිස් සහායක රදගුරුතුමා කොළඹ අගරදගුරු පදවි අගරදගුරුතුමන් ලෙස පත් කෙරිණි.

2002 ජූලි 27 වැනිදා කොළඹ අගරදගුරුතුමන් ලෙස නිල වශයෙන් පත්වීම් ලද ගෝමිස් අගරදගුරුතුමන් 2009 වර්ෂයේ අගෝස්තු 05 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම ගිය අතර එතැන් පටන් සම්මානිත අගරදගුරු (Emeritu Archbishop) තුමකු ලෙසින් පත්විය.

1961-1968 දක්වා කොළඹ කතෝලික මුද්‍රණාලයේ අධ්‍යක්‍ෂවරයා මෙන්ම ‘ඥානාර්ථ ප්‍රදීපය’ සහ ‘ද මැසෙන්ජර්’ යන පුවත්පත්වල කර්තෘවරයා ලෙස ද කටයුතු කළ එතුමෝ සිය ආගමික ජීවිත කාලය තුළදී දෙව්සත්හල් කීපයකම ආචාර්ය මණ්ඩලවල ද, රදගුරුතුමන්ලා කීප නමකගේ ලේකම්වරයා ලෙසද, නොතාරිස්, විවාහ විනිශ්චය සභාව (1965-1968), හැඳල ලාදුරු රෝහලේ උපාධ්‍ය හා රදගුරුතුමකු ලෙස ද ජාතික මට්ටමේ පත්වීම් (1959-1964) ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ ලේකම් හා මහ ලේකම් ලෙස ද වසර 21ක කාලයක් විටින් විට කටයුතු කළහ.

ඔස්වල් ගෝමිස් රදගුරුතුමෝ තම උපන් ග්‍රාමය වන කැලණියේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කළ අතර එතුමා විසින් පරිත්‍යාග කළ අක්කර 14ක ඉඩමක වැඩිහිටි නිවාසයක් ඉදිවෙමින් පවතින අතර ආර්ථික අපහසුතා සහිත පිරිස් හා සුනාමියෙන් විපතට පත්වූවන් සඳහා විවිධ නිවාස යෝජනා ක්‍රම හා ශිෂ්‍යත්ව යෝජනා ක්‍රම ආරම්භ කරමින් ඔවුනට සහන සැලසූහ. මානව වර්ගයාට එතුමා ඉටුකළ අමිල සේවය අගයමින් චීනයේ පැරණි විශ්වවිද්‍යාලයක් වන ‘ෆූ ජෙන්’ විශ්වවිද්‍යාලයෙන් එතුමන් දර්ශනපති ආචාර්ය උපාධිය (PHD- Honoris Causa) පිරිනමන ලදී. ස්වර්ගස්ථ අතිඋතුම් දේවධර්මාචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමන්ගේ දේහය ඊයේ (03 දා) ප.ව. 6.00 සිට අද (04 දා) මධ්‍යහ්න 12.00 දක්වා කැලණිය පිලපිටිය ශාන්ත ආනා දෙව්මැඳුරේ තැන්පත් කර තිබෙන අතර මධ්‍යහ්න 12.00 ට අනුරාධපුර ශාන්ත ජෝසප් ආසන දෙව්මැඳුර වෙත ගෙන යෑමට නියමිතය. පෙබරවාරි 05 වැනිදා (ඉරු දින) ප.ව. 5.00ට යළිත් එතුමාගේ දේහය අනුරාධපුරයේ සිට කොටහේන ශා. ලුසියා ආසන දෙව්මැඳුර වෙත ගෙන එනු ඇත. එහිදී ගිහි පැවිදි සැමට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සලසා ඇත. පෙබරවරි 06 (සඳුදා) ප.ව. 3.00 ට ශා. ලුසියා ආසන දෙව්මැඳුරේ පැවැත්වෙන සුවිශේෂී දිව්‍ය පූජාවෙන් අනතුරුව එම ආසන දෙව්මැඳුර තුළ භූමදානය සිදුකිරීමට කටයුතු යොදා ඇත.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ සහ නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment