පොලිසියට පාට්දමා දේශපාලන අනුහසින් කුට්ටිගල පතල් හාරති

520

පොලිසියට දැඩි බලපෑම් එල්ල කරමින් දකුණු පළාතේ ප්‍රබල දේශපාලන පවුලකට සම්බන්ධ පිරිසක් ඇඹිලිපිටිය කුට්ටිගල ප්‍රදේශයේ ගොඩ ඉඩම් සහ කුඹුරු ඉඩම් විනාශ කරමින් මහා පරිමාණනේ අනවසරයෙන් මැණික් පතල් කැණීම ජයටම කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම දේශපාලන පවුලට සම්බන්ධ කීපදෙනෙකු ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ කුට්ටිගල පොලිසියේ නිලධාරීන්ට තර්ජන එල්ල කර විවිධ බලපෑම් එල්ල කරමින් මහා පරිමාණයෙන් පතල් කැණීම් කරගෙන යන බව වාර්තා වෙයි.

ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී මෙම අනවසර මැණික් කැණීමේ ජාවාරමට සම්බන්ධවී සිටි පුද්ගලයකු සහ බැකෝ යන්ත්‍රයක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මෙම වැටලීම කිරීමෙන් පසුවද දකුණේ දේශපාලන පවුලට සම්බන්ධ ප්‍රබලයකු ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට සහ කුට්ටිගල පොලිසියේ නිලධාරීන්ට තර්ජනය කරමින් අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ බැකෝ යන්ත්‍රය බේරා ගැනීමට උත්සාහ කර ඇති බව වාර්තා වෙයි.

වගා ළිං ඉදිකිරීමට යැයි කියමින් මහවැලියේ නිලධාරීන් පිරිසකගේ සහාය ලබාගෙන මෙම සංවිධානාත්මක කණ්ඩායම ප්‍රදේශයේ භූමිය විනාශ කරමින් මෙම අනවසර මැණික් පතල් කැපීමේ ජාවාරම කරගෙන ගොස් තිබේ.

මෙම ජාවාරම සඳහා මහවැලියේ නිලධාරීන් සිය දෙනෙකුගේ සහාය උපරිමයෙන් ලැබී ඇති බව ද වාර්තා වෙයි.

මෙම වැටලීම සිදුකළ උසස් පොලිස් නිලධාරියකු කියා සිටියේ කුට්ටිගල ප්‍රදේශයේ ගොඩ ඉඩම් සහ කුඹුරුවල අනවසර මැණික් පතල් ඉදිකර මුළු ප්‍රදේශයම විනාශයට පත්කර ඇති බවයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment