ක්‍රිකට් පාලකයන්ගේ මාෆියාව අදින් අවසන් නම්බුවක් තිබෙනවානම් වහා ඉවත්විය යුතුයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

88

ලේකම් නැතුව ඩොලර් මිලියන දෙකක් ගන්න එකත් ප්‍රශ්නයක් – ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ

විවාද ගැන විනිසුරුවන්ට අවබෝධයක් තිබිය යුතුයි – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

ක්‍රිකට් ජයග්‍රහණ රටට අහිමිවෙද්දී පරිපාලනය පවුල් කිහිපයකට නතුවෙලා – විජිත හේරත්

ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව හුඟාක් අය ආවේ සල්ලි හම්බ කරන්න – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග

ආණ්ඩුවට එන විරෝධය වහන්න ක්‍රිකට් අර්බුදය එනවාද කියන සැකය තියෙනවා – ශානක්‍යයන් රාසමානික්කම්

ක්‍රිකට් පාලකයන් විසින් සිදු කරගෙන යන වත්මන් මාෆියාව තවදුරටත් යහතින් කරගෙන යෑමට ඉඩ දෙන්නේ නෑ. ඒ හොර කොල්ලකෑම් අදින් අවසන්. පරිපාලනයේ ඉන්න පිරිස නම්බුවක් තිබෙනවා නම් වහා ඉවත්විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු පක්ෂයේද සහාය ඇතිව ක්‍රිකට් සම්බන්ධයෙන් විශේෂ යෝජනාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන් නිවේදන, ලිපිලේඛන ඉදිරිපත් කිරීම පසුව සිදුවිණ. අනතුරුව පසුව දිනට නියම කර ගනු ලැබූ ‘දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම’ යන මැයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එනු ලැබූ විවාදය ආරම්භ කෙරිණි.

විවාදය ආරම්භ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා– දුෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව ඓතිහාසික වාර්තාගත යෝජනාවක්. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව අපි දින දෙකක් වාද විවිද සිදුකළා. ඒ උණුසුම් වාද විවාද මැද අපිට පුළුවන් වුණා සභාවක් විදිහට විපක්ෂයටත් ආණ්ඩුපක්ෂයටත් පක්ෂ නායක රැස්වීමක් කැඳවලා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා එකත එකතු වෙන්න. මේ යෝජනාව විවාදයට ගැනීමෙන් පසුව පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියලුදෙනා අත්වැල් බැඳගෙන ක්‍රිකට් ක්‍රීඩාව සුරැකීමේ ගෞරවය එක් පුද්ගලයෙකුට පාර්ශ්වයකට නෙවෙයි සියලු දෙනා එකට එකතුවෙලා ගන්න සාධනීය විසඳුමක් හරහා අපිට රටට ලෝකයට වැදගත් පණිවිඩයක් ලබාදෙන්න පුලුවන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය පිළිබඳ කතා කළ අවස්ථාවේ විවිධ යෝජනා ආවා. අපි ඉල්ලීමක් කළා ක්‍රීඩා ඇමැතිවරයාගෙන් සභාවට ඇවිල්ලා තමන්ගේ මතය ඉදිරිපත් කරන්න කියලා. අපි එතුමාට ස්තුති වන්ත වෙනවා සභාවට පැමිණ සෘජුව එතුමාගේ අදහස් ඉදිරිපත් කළා. එය වැදගත් ක්‍රියාවක්. ප්‍රශ්නවලින් පැන යන්නේ නැතුව කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීම ගැන රොෂාන් රණසිංහ ඇමතිවරයාට ස්තුති වන්ත වෙනවා.

ආණ්ඩු පක්ෂයේ සිටි කණ්ඩායමත් කාගෙන් කුමන බලපෑමක් ආවත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන හිතලා එකතු වෙන තැනකට ආවා. මේ එකතුවීමේ ආරම්භයයි. මේ එකතුවීම තුළ දැනට ඉන්න දූෂිත ක්‍රිකට් පරිපාලනයට අපි පණිවිඩයක් ලබාදෙනවා පාර්ලිමේන්තුවේ තිබෙන දේශපාලන බෙදීම් ගැන විශ්වාසය තබා ඔබගේ සුරක්ෂිතභාවය, ආයුකාලය, පැවැත්ම තහවුරු කර ගත්ත යුගය අදින් අවසන්. ඔවුන් හිතනවා ඇති ආණ්ඩුව බෙදිලා විපක්ෂය බෙදිලා පක්ෂ ගණනාවක් තිබෙනවා. ඒ නිසා දැනට කරගෙන යන ක්‍රිකට් මාෆියාව තවදුරටත් යහතින් කරගෙන පුලුවන් කියලා. නමුත් ඒ හොර කොල්ලකෑම් අදින් අවසන්. පරිපාලනයේ ඉන්න පිරිසට කියන්න කැමැතියි නම්බුවක් තිබෙනවානම් අද දවසේ ඉවත් වෙන්න. ඔවුන් ඉවත්විය යුතුයි.

දූෂිත වර්තමාන ක්‍රිකට් පරිපාලනය සම්පුර්ණයෙන් ඉවත් වෙන්න අවශ්‍යයි. ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත වැඩපිළිවෙළ ගැන නිවැරදි වැඩපිළිවෙළක් තිබෙන්න ඕන. ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ථිර විසඳුම් මාලාවක් ලබාගන්න ඕන. ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලන බලපෑම්වලින් ඉවත් කළ යුතුයි. ගජමිතුරු කල්ලි කණ්ඩායම් පාතාල කණ්ඩායම් එකතු කරගෙන කුඩුකාරයෝ එකතු කරගෙන ලිංගික අපචාර ක්‍රියාත්මක කරගෙන මත්පැන් ජාවාරම කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වුණා බලාධිකාරිය ඉවත් කරලා නිවැරදි විසඳුමක් අවශ්‍යයි. අනාගතවාදී දැක්මක් ක්‍රියාත්මක කළ යුතුයි. එය ක්‍රියාත්මක වුණාද කියලා පසුවිපරුමක් සිදුකළ යුතුයි. ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ අන්ධකාර යුගයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ අන්ධකාරය තුළ පාර්ලිමේන්තුවේ 225 දෙනා පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්න ලක්ෂ 220ක් අත්වැල් බැඳගෙන අන්ධකාර තිබුණත් රිදී රේඛාව ක්‍රියාත්මක කළ යුතුයි.

1996 අර්ජුන රණතුංග යටතේ කුසලානය දින්නේ කණ්ඩායම් හැඟීමක් තිබුණ නිසා, විනයක් තිබුණ නිසා. ආනා පුංචි හේවා යටතේ හොඳ පරිපාලනයක් තිබුණා. ගජ මිතුරු සංගම් නෑ. දේශපාලනීකරණය නෑ. පවුල් පවුල් එකතුවෙලා ක්‍රිකට් සල්ලි පික් පොකට් ගහන කල්ලි තිබුණේ නෑ. අර්ජුනගේ නායකත්වයෙන් කාර්යක්ෂවම විනයානුකූලව කප් එක දිනන්න ශ්‍රී ලංකාවට හැකි වුණා.

හැටනව ලක්ෂයකින් පත්වුණ ජනාධිපතිට ජන අරගලයකින් ගෙදර යන්න සිදුවුණා. ජනාධිපති ගෙදර ගියානම් ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ ඔබලාගේ මැර බලය, මුදල් බලය, පවුල් බලය උපයෝගි කරගෙන හිතන්න එපා තවත් රැඳිලා ඉන්න. ඔවුන්ව ගෙදර යවන්න අපි අරගලයක් සිදුකරනවා.

අපි ඒකට ඉඩ ලබාදෙන්නේ නෑ. දැන් ක්‍රිකට් ක්‍රීඩාව සූදු සාමාගම්වලට විකුණලා. කොහොමද සූදු සමාගම් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඇඳුම්වල වෙළෙඳ දැන්වීම් දමන්ගේ කාගේ බලයකින්ද. සූදු කාරයන්ට පුලුවන්ද ඒ දේවල් කරන්න. කවුද ‘වන් එක් බැට්’ එකෙන් පගාව අරගෙන ඒ දේවල් කරලා තිබෙන්නේ. ඒවට ඉඩ දෙන්න බෑ. මේ ගෙන එන යෝජනාව තුළ රටට පණිවිඩයක් දෙනවා අපි හොරු රකින්නේ නෑ. මම රොෂාන් රණසිංහගේ මතයේ සිටින කෙනෙක් නෙවෙයි. මම ඔහුව විවේචනය කර තිබෙනවා. නමුත් මට පෙනෙන විදිහට රොෂාන් රණසිංහ හොරෙක් නෙවෙයි. මට ඒ සහතිකය දෙන්න පුලුවන්.

ඇමැති රොෂාන් රණසිංහ මහතා- විපක්ෂ නායකතුමා මට ඒ ලබා දුන් දිරිගැන්වීම ඉතා වටිනවා මගේ ඉදිරි කටයුතු වෙනුවෙන්. ඒ වගේම මට දැන් දැන ගන්න ලැබෙනවා මේ අය ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාකාවෙන් ඩොලර් මිලියන 02ක් ගන්න යනවා කියලා. ඒත් පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය තිබෙන නිසා ඒ කළමනාකාරතුමා ඉහළින් උපදෙස් ඉල්ලලා තිබෙනවා. මෙයින් පැහැදිලි වෙනවා පැහැදිලි දූෂණයක් තිබෙනවා. මේ අයගේ ගමන් බලපත්‍ර අත්හිටුවන්න ගන්න පුලුවන් පියවර මොකක්ද කියලා බලන්න ඕන. මෙයින් එක් පුද්ගලයෙක් රටේ නෑ. අපේ මේ කල් මැරිල්ල තුළ වෙන දේවල් ගැන ප්‍රශ්නයක් තිබෙනවා. අශ්වයා ගියාට පස්සේ ස්ථාලය වහලා වැඩක් නෑ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- මම ඇමැතිතුමාට ඊයේ කිව්වා අතුරු තහනම් නියෝගය ඉවත් කරගන්න පියවර ගන්න කියලා. ඔබතුමා නඩුවට ඇතුළු වෙන්න ඕනා.

විපක්ෂ නායක- අපි පක්ෂ බේද නැතිව මම යෝජනාවක් කරනවා ඇමැතිතුමා කරපු යෝජනාව ගැන හැකියාවක් තිබෙනවා නම් ජනාධිපතිතුමාට දුරකථන ඇමැතුමක් අරගෙන මේ විදිහේ දෙයක් කරන්න යනවා කියලා කියන්න. එතකොට ශ්‍රීලංකා ක්‍රිකට් ගිණුම් තිබෙන සියලුම බැංකුවලට මේ ගැන කියන්න. මේ රටේ ජනතාවගේ සල්ලි. මෙහෙම සල්ලි ගන්න යන්නේ කාගේ හයියකින්ද? මේ බරපතල ප්‍රශ්නය ගැන ජනාධිපතිට කියලා මේ බලු වැඩේ කරන්න දෙන්න එපා. ඒ වගේම මා යෝජනා කරනවා රොෂාන් රණසිංහ මහතාව මේ ක්‍රීඩා ඇමැතිධුරයෙහිම තියා ගන්න කියලා යෝජනා කරනවා. එතුමාගේ ඇමැතිකම සුරක්ෂිතයි කියලා අපි යෝජනා සහ ස්ථිර කරනවා.

රොෂාන් රණසිංහ මහතා– මම නීතිපතිට වාචිකව මොකුත් කියන්න යන්නේ නෑ. මොකද වැඩක් නෑ එහෙම කියලා. මම ලිඛිතව දැනුම් දුන්නා මේ නඩුව ගන්න කියලා. අනෙක මේ වෙලාවේ ඡන්දෙන් පත් වුනු ක්‍රිකට් ලේකම් නෑ. ලේකම් නැතුව ඩොලර් මිලියන දෙකක් ගන්න එකත් ප්‍රශ්නයක්. මොකද මේ තරම් මුදලක් ගන්නකොට ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියා ලෙස ලේකම් කටයුතු කරන්න ඕන.

වරාය නාවුක හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා- මේ යෝජනාවට අපිත් විපක්ෂයත් එකඟ වුණා. මේ යෝජනාවේ හරය වුනේ මේ ක්‍රිකට් මණ්ඩලයේ නිලධාරීන් වහාම ඉල්ලා අස්විය යුතුයි කියන යෝජනාව කරන්න. ඒ සඳහා පාර්ලිමේන්තුව ලෙස අපි සියලුදෙනා එකට එක්වීම ගැන මා ඉතාම සතුටු වෙනවා. මේ වන විට රටේ විශාල ජනමතයක් ගොඩ නැගිලා තිබෙනවා ක්‍රිකට් පරිපාලනය ගැන. ඒ නිසා අපි මේ අද යෝජනාව කරන්නේ රටේ ජන මතයට ගරු කිරීම සඳහායි. ඒ මිසක් අපට වෙන නීත්‍යනුතූල අයිතියක් නෑ. නමුත් අපි සමස්ත පාර්ලිමේන්තුව හැටියට මේ ජනමතය ජනගත කරනවා පමණක් නොවෙයි විශාල පණිවුඩයක් දෙනවා අනවශ්‍ය දේවල් නොකොට වහාම ඉල්ලා අස්වී යන්න කියලා. ඒ වගේම මේ වගේ දේවල් ඉදිරියට නොවෙන්න අපි ක්‍රීඩා පනත ශක්තිමත් කරන්න ඕනා. ඇමැතිතුමාට දීලා තිබෙන බලය මදි.

(ඉමිරාන් මහරුෆ් මහතා මූලාසනයට පැමිණේ)

නිමල් සිරිපාල ද සිල්වා මහතා- ඒ නිසා අපි පනත සංශෝධනය කරන්න ඕන. නැතිව අපි අඳුරේ අතපත ගාන්නේ නැතුව ක්‍රියා කරන්න ඕනා. අපිට ධන කුවේරයන් එක්කයි හැප්පෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දක්ෂ නීතිඥයන්ගෙන් උපදෙස් ගන්න ඕන. අපි මූලික ක්‍රියාදාමය ඉෂ්ඨ කරන්න ඕන. නැත්නම් උසාවිය මේක අයින් කරනවා. අපි හිතුමතේ හදිසියේ වැඩ කරන්න ගියොත් ශම්මිලාව ශක්තිමත් වෙනවා. ඒ නිසා අපි ක්‍රීඩා පනත වෙනස් කළ යුතුයි. අපි මේ පියවර අරගෙන තිබුනා නම් අතිහිටුවන්නත් පුලුවන් තහනම් කරන්නත් පුලුවන්. එහෙනම් මේ වගේ යෝජනා අවශ්‍ය වෙන්නෙත් නෑ. ඒ වගේම අපි අයිසීසි එකත් දිනා ගැනීම අවශ්‍යයි. නැතුව මෙතන හයියෙන් කෑ ගැහුවා කියලා ඇඬුවා කියලා වැඩක් වෙන්නේ නෑ. දැන් ජනාධිපතිතුමා 18 දෙනෙකුගෙන් යුතු මණ්ඩලයක් සහිත යෝාජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. මෙවැනි වැඩ පිළිවෙළකින් තමයි අපිට ක්‍රිකට් දිනවන්න පුලුවන් වෙන්නේ. මේ යෝජනාව ගෙනාව වගේම මේ ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙළටත් සහාය දෙන්න. අපි මේ වගේ තිරසාර වැඩ පිළිවෙලක් හදන්න ඕනා.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා – අපේ විනිසුරුවරුන් නීතිය හොඳින් ආරක්ෂා කරනවා. නමුත් යම් හුදෙකලා සිද්ධිවෙනවා ඒ ගැන මේ පාර්ලිමේන්තුවේ විශේෂයෙන් කතාවෙනවා. අභියාචනාධිකරණයේ සභාපති ගැන ඊයේ කතා වුණා. එය අලු යට තිබුණු ගිනිපුපුරක් වගේ. අපි ඊයේ කතා වුනු දේවල්වලින් ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය පුපුරා ගිහින් කියලයි. ඒක එහෙම නොවෙයි අපි එක් විනිසුරුවරයෙක් ගැන විතරයි කතා කළේ. අපි ඒ ගැන අනෙක් විනිසුරුවරුන්ගෙන් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ගත්තොත් එය කාගේවත් අණසකට යටත් නොවෙන ස්වාධීන අධිකරණයක්. අභියාචනාධිකරණයත් එහෙමයි. ඒ අයගේ යම් විෂමාචාරයක් තිබෙනවා නම් ඒ ගැන තීන්දු ගන්න අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ පාර්ලිමේන්තුවට බලය තිබෙනවා. දැන් ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටුමක් නෑ. එහෙම යෝජනාවක් ඇවිල්ලත් නෑ. දැන් පක්ෂ බේදයකින් තොරව පාර්ලිමේන්තුව යෝජනාවක් ගෙනත් තිබෙනවා මහජන මතය ගැන සලකා. ඒ නිසා අධිකරණයත් සමග තිබෙන ගැටුමක් නොවෙයි.

ගම්පහ දිස්ත්‍රක් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජා.ජ.බ.)- මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රශ්නය තිබෙන්නේ අද ඊයේ සිට නොවෙයි. ඒක මාෆියාවකට හසුවෙලා තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙහෙස මහන්සි වෙලා ක්‍රීඩා කරනකොට පාලකයන් මුදල් වෙනුවෙන් සහ වෙන වෙන ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ක්‍රියා කරනවා. මේ මාෆියාව නිසා රටට ක්‍රිකට් ක්‍රීඩාව සහ ජයග්‍රහණ අහිමි වෙනවා. අපි මේ අයට කෝප් කමිටුව හමුවට කැඳෙව්වහම ඒ අය ආවේ නෑ. අවස්ථා කිහිපයකදී කැඳවලා තමයි ගෙන්න ගත්තේ. සුනිල් හඳුනෙත්ති සභාපතිවරයාගේ කාලයේත් මේ අයව කැඳවනු ලැබුවා. විකාශන අයිතිය සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග ගැන වෝහාරික විගණනයක් සිදු කළා. ඒ වගේ ක්‍රිකට් ඒඩ් කියලා දෙයක් මේ අය හදාගෙන හිටියා. ඒ නිලධාරීන්ට පුලුවන් තනතුරෙන් ගියත් මුදල් එකතු කරන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අවස්ථා කිහිපයකදී පරීක්ෂණයට ලක් කළා. නමුත් ඒවා ඉදිරියට ගියේ නෑ. අනෙක පවුල් කිහිපයකට මේක නතුවෙලා තිබෙනවා. සුමතිපාල, ධර්මදාස සහ රණතුංග පවුල් තමයි මේකේ ඉන්නේ. දැන් බලන්න නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් කටින් පැන්නා මේ ගැන. විශේෂයෙන්ම ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ ක්‍රියාමාර්ග ගැන. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාට ඔය කළ පැහැදිලි කිරීම කැබිනට් එකේදී කරන්න තිබුණා. නමුත් ඒක කළේ නෑ. අනෙක ෆුට්බෝල් ෆෙඩරේෂන් එක ගැනත් ප්‍රශ්නයක් තිබෙනවානේ. ක්‍රිකට්වලට අතුරු කමිටුවක් පත් කිරීම හොඳයි ඒත් ඒ කමිටුවට විජයදාස රාජපක්ෂගේ පුතා පත් කළේ ඇයි? මුසම්මිල්ගේ පුතාව පත් කළේ ඇයි? ආයේ ධර්මදාස පවුලේ කෙනෙක්ව පත් කළා. ජයන්ත දැන් ක්‍රිකට් එකේ ඉන්නවා දැන් උපාලි ධර්මදාසව පත් කළා. අර්ජුන රණතුංග දක්ෂ ක්‍රීඩකයෙක්. එතුමාව ක්‍රිකට් පාලක මණ්ඩලයට පත් නොකර ඉන්න තිබුනා. මොකද ඔහුත් මේ පාලක මණ්ඩලයට ඡන්දේ ඉල්ලපු කෙනෙක්. ඒ නිසා මෙතන ගැටුමක් තිබෙනවා. ඒ ගැටුම නිසා පාර්ශව දෙකක් තිබෙනවා. ඇමැතිතුමා ෆයිට් කළ එක හොඳයි. නිර්භීතභාවය හොඳයි. ඔබේ අවංක ඉදිරිපත්වීම පාවිච්චි කරලා වෙනත් පාර්ශවයක් ගේමක් ගහනවා වගේ පෙනෙනවා. ඒකත් නවත්වන්න.

රොෂාන් රණසිංහ මහතා- මේ කමිටුව පත් කරද්දී මම බැලුවේ මේ රටේ සුදුසුම කෙනායි පත් කළේ. 96 ලෝක ශූරතාවය ගෙනාවේ ඔහු. මුරලිදරන්ට ප්‍රශ්නයක් ආවහම ඉදිරිපත් වුණා. විනයක් තිබුණා. ඒ වගේම දෙවැනි පෙළක් හැදුවා. නමුත් ඔහුට මේ ක්‍රිකට් ගොඩගන්න අවස්ථාවක් ලැබුනේ නෑ. මම ගොඩක් අයට කතා කළා. සිදත් වෙත්තමුණිට, රොෂාන් මහානාමට, චමින්ද වාස්ට කතා කළා. මොනද ලංකාවේ ඉන්නේ මෙච්චරයි.මේ හොර ගුලත් එක්ක බෑ කියලා ලංකාව දාලා ගිහිල්ලා. ඒ වගේම විනිසුරුවරුන් පත් කළේ මේ පරීක්ෂණයක් කරන්න ඕනා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා- අද පැවැත්වෙන මෙම විවාදය පාර්ලිමේන්තු ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සළකුණු කරන අතිශය වැදගත් විවාදයක් ලෙසට අපි දකිනවා. මුළු රටම ආදරය කරපු, අපේ රට ලෝකය ඉදිරියේ ඔසවා තබපු ක්‍රිකට් ක්‍රීඩාව පරිහානියට පත්වෙලා තිබෙන අවස්ථාවක ක්‍රිකට් ක්‍රීඩාවට අත්වුණ ඉරණම පිළිබඳව මුළු රටම පසුතැවිලි වෙන වෙලාවක පක්ෂ විපක්ෂ සියළුම මන්ත්‍රීවරුන්ගේ පොදු එකඟතාවයෙන් පැවැත්වෙන මෙම විවාදය ජාතික අවශ්‍යතාවයෙන් යුතු අවස්ථාවක් වගේම මුළු රටටම ආදර්ශයන් සපයන අවස්ථාවක් ලෙස මම දකිනවා. එදා මෙදාතුර ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දුන් ශ්‍රී ලංකාව කියන නාමය ලෝකයේ ඉහළටම ඔසවා තැබූ ක්‍රිකට් කණ්ඩායමට එදා නායකත්වය ලබා දුන් අර්ජුණ රණතුංග මගේ සහෝදරයායි. එදා ඔවුන් කුසලානය දිනාගන්න කළ කැපකිරීම් අපි දන්නවා. ඒ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට මේ තරම් උනන්දුවක් තිබුණෙ නැහැ. මුදල් ආයෝජනය කරන අය හිටියේ නැහැ. එදා ක්‍රීඩකයන් අපේ ගෙදරට ගෙන්වා ගෙන ලොකු කැපකිරීමකින් තමයි මේ ගමන ආවේ. ගාමිණි දිසානායක ඇමතිතුමා, කවදාවත් දේශපාලන මැදිහත්වීම් කළේ නැහැ. පළමුවැනි ටෙස්ට් තරඟයේ සිට ලැබූ අත්දැකීම් සමග ලෝක කුසලානය දිනාගන්නා තැනට අපේ කණ්ඩායම ගෙන එන්න අර්ජුණ රණතුංගට හැකියාව ලැබුණා. ඒ සඳහා ඔහු ලොකු කැපකිරීමක් කළා. එතුමයි මමයි දේශපාලන වශයෙන් මතවාදයන් දෙකක හිටියට ක්‍රිකට් සම්බන්ධයෙන් අර්ජුණ අයියා කතා කරපු දේවල් අද ඇත්ත වෙලා තිබෙනවා. ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව හුඟාක් අය මෙතෙන්ට ආවේ සල්ලි හම්බ කරන්න මිස ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න නෙවෙයි. ඒ නිසා කවුරු හරි ක්‍රීඩා ඇමතිවරුන්ට, දේශපාලනඥයන්ට බණිනවනම් මම එය පිළිගන්නේ නෑ. පුරවැසියෙක් විදියට විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 225 අතරින් මම මේ විවාදයට දායක වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන පුද්ගලික සබඳියාව හා කැක්කුම එක්කයි. මම ක්‍රිකට් ගැහුවා. විපක්ෂනායකතුමා රාජකීය විද්‍යාලයට ක්‍රිකට් සෙල්ලම් කරනකොට මම ආනන්දයේ ක්‍රිකට් නායකයා. වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතයේත් මම හිටියා. මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයෙක් විදියටත් වැඩ කළා. මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයා වශයෙන් ඉන්න කොට තමයි තිලංග සුමතිපාලට විරුද්ධව අයි.සි.සී. එකට ලියුම් ලිව්වේ. ඒ නිසා අදත් එතුමට එතෙන්ට යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මමත් ඒ අය එක්ක එකතුවෙලා වැඩ කළා නම් මටත් හොඳට සල්ලි හම්බ කරන්න තිබුණා. මම ඉල්ලීමක් කරනවා ගරු මූලාසනාරූඩ මන්ත්‍රීතුමනී, අද මේ සාකච්ඡාව ඉංග්‍රීසියෙන් පරිවර්ථනය කරලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට යවන්න ඕනි කියලා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මේක යවපුවම දැනගනී මේ දේශපාලන බලපෑමකට නෙමෙයි හොරකමට විරුද්ධව සියලුදෙනාම එකතු වෙලා තියෙනවා කියලා.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. බී. දිසානායක :

අයිසීසී එක පාරිශුද්ධ ආයතනයක් යැයි සිතන්නේ නෑ. ක්‍රීඩාව ගොඩ ගන්න උදව් කරන්න අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ සියලුදෙනා එකතු වෙලා යෝජනා කිරීම හොඳයි. ලෝක කුසලාන තරගාවලියේ දී අපේ රටට ලැජ්ජාවක් වුණා. අපි එහෙම විය යුතු කණ්ඩායමක් නොවෙයි.

වහාම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අතුරු තනමට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. ක්‍රීඩාව නගා සිටුවීමට වහා පියවර ගත යුතුයි. ඉදිරියේ දී ලංකාවේ දී ක්‍රිකට් තරගාවලි පැවැත්වෙනවා. රටට ලැබිය යුතු ආදායම අහිමි වී යාවි.

ක්‍රීඩකයන් පුහුණු කරන හොඳ වැඩපිළිවෙළක් නෑ. වෙනත් වැඩවලට සල්ලි වියදම් කිරීමට ක්‍රිකට් ආයතනය ක්‍රියා කරනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (සජබ) :

ලංකාවේ ක්‍රිකට් හදනවාට වඩා මුදල් ඉපැයීමටයි පාලක මණ්ඩලයට අවශ්‍යය. ඒ නිසා දක්ෂ පරිපාලකයන්ට ඇතුල්විය හැකි ලෙස ක්‍රිකට් පනත වෙනස් කළ යුතුයි.

පාලක මණ්ඩලයට බුකි කාරයෝ, සූදු කාරයෝ ඇවිත් මුදල් හම්බ කළා. ක්‍රිකට් දියුණු කරන්න මොවුන්ට වුවමනාව තිබුණේ නෑ.

ගමේ කොල්ලාට ජාතික කණ්ඩායමට එන්න අවශ්‍ය පාර තනලා නෑ. ඕනම දක්ෂ අයෙකුට එන්න අවශ්‍ය ඉඩ ලබාදිය යුතුයි.

අර්බුදයට ලක්ව ඇති ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට එක පාලක මණ්ඩලයක් ඉවත් කර තව කණ්ඩායමක් පත් කරලා කරන්න බැහැ. පැහැදිලි වැඩපිළිවෙළක් මුලින්ම සකස් කළ යුතුයි. එය නිසි ආකාරයට ක්‍රියාත්මක කරන්න හොඳ පරිපාලනයක් අවශ්‍යයි. ඒ වගේම අඩුපාඩු සෙවිය යුතුයි. අද ක්‍රිකට් කණ්ඩායමට දෙවන පෙළක් අවශ්‍යයි.

පවුල් දෙකතුනක් මේ ක්‍රිකට් පාලක මණ්ඩලය පාලනය කළේ. මේ පවුල් තුනෙන් පිට දක්ෂ පරිපාලකයන් ඉන්නවා. අරමුණ හරියට හදාගෙන නීති වෙනස් කළ යුතුයි.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර :

ක්‍රිකට් ආයතනය කඩා වැටීම අද ඊයේ ඇති වූවක් නොවෙයි. කාලයක සිට ක්‍රමිකව ඇති වූවක්. පරිපාලනයට දේශපාලනය ගෙන ආයුතු නෑ. ක්‍රීඩකයන්ට චෝදනා නොකර පරිපාලනය ගැන පමණක් කතා කළ යුතුයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන :

අපේ රටේ වංචාව, දූෂණය තියෙන්නේ ක්‍රීඩාවේ පමණක් නොවෙයි. මුළු රටේම සෑම අංශයකම හොරකම දූෂණය නැති තැනක් නෑ.

හොරකමට යොදා ගන්නා මුදල් යායුතු වන්නේ පාසල් ක්‍රීඩා නැංවීමටයි. ක්‍රිකට් භාණ්ඩ ගන්නවත් පාසල් දරුවන්ට මුදල් නෑ. මේ මුදල් පාලකයන් හොරා කනවා. හොඳ ක්‍රීඩකයන් නගරයට වඩා ගමෙන් බිහිවෙන්නේ. ඒ නිසා ගමේ දරුවාගේ ක්‍රීඩාව වර්ධනය කිරීමට හැමෝම අවධානය යොමු කළ යුතුයි.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් (ද්‍රජාසං) :

රට විනාශ වූ ආකාරයටම දැන් ක්‍රිකට් ක්‍රීඩාවත් විනාශ වෙලා. මේ ගැන කතා කිරීම විහිළුවක්. මේ පාලක මණ්ඩලය එනවිට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂයි.

නාමල් ඇමැතිකමින් ගියත් ඔවුන්ගේ නිලධාරීන් තමයි අමාත්‍යාංශය පාලනය කළේ.

අද රටේ බදු ගහලා ජනතාව දැඩි පීඩාවට පත් කරන්න යනවා. රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්න උද්ඝෝෂණ කරනවා. ආණ්ඩුවට එන විරෝධය වහන්න ක්‍රිකට් අර්බුදය එනවාද කියන සැකයක් අපට තියෙනවා.

පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ) :

මේ යෝජනාව වැදගත්. නීතිය වෙනස් කරගන්න පස්සේ පුළුවන්. ක්‍රීඩා පනත මගින් අවශ්‍ය සංශෝධන කර ගනිමු.

අලුත් ක්‍රීඩා ව්‍යවස්ථාවක් මාසයක් තුළදී ගෙන ආ යුතුයි. දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා ඇමැති අයිසීසීයට දැනුම් දුන්නා ක්‍රිකට්වල දූෂණ තියෙනවා. අලුත් ව්‍යවස්ථාවක් ගේන්න කියලා. ඒකට අවසර ලැබුණා. අපිත් මේ විදියට ක්‍රියාත්මක විය යුතුයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

පහුගිය අගෝස්තු මාස 24 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන දවසක විවාදයක් තිබුණා. ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන. එදා ආණ්ඩු පක්ෂය විපක්ෂය මන්ත්‍රීවරු පනහක් විතර කතා කරා. ඒ පනස් දෙනාගේම මතය වුණේ දූෂිතයි කියලා. ඇමතිවරයාට සම්පූර්ණ බලතල තියෙනවා කමිටුවක් පත් කරන්න. එතුමා අතුරු පාලක මණ්ඩලයක් පත් කරා, ඊට පස්සේ මොකද වුනේ?

මේ අයින් කරපු දූෂිත නිලධාරීන් අධිකරණයට ගියා. අධිකරණය දැනගන්න ඕන අගෝස්තු මස 24 වන දින දවසක විවාදයක් පාර්ලිමේන්තුවේ තිබුණු බව. මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන පනත් ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ විනිසුරුවන්ට. පූර්ව නිගමනයක් තියෙනවා අධිකරණය දන්නවා කියලා පාර්ලිමේන්තු විවාද ගැන. බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තු විවාද ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒගොල්ලො දැනගන්න ඕන ඔප්පු කරන්න දෙයක් නෑ. පනත් ගැන අවබෝධයක් තියෙන්න ඕන. පාර්ලිමේන්තු විවාද ගැන අවබෝධයක් තියෙන්න ඕන විනිසුරුවන්ට. විනිසුරුවරයාට වගකීමක් තිබ්බා ඇමතිවරයාව ගෙන්නලා අහන්න. දැන් උසාවියට ගියේ කවුද? මෙතුමා අස්කරපු නිලධාරීන්. අපි දවසක විවාදයක් පැවැත්තුවා මේගොල්ලන්ගේ වැඩ ගැන. මොකක්ද අධිකරණය කෙරුවෙ ? මෙතුමාට එන්න කියන්නෙ නැතුව මෙතුමා පත්කරපු කමිටුව අහෝසි කරා. දැන් අද මොකද වෙලා තියෙන්නෙ? අද බඩු අදිනවා. මෙතුමා කිව්වා ඩොලර් ලක්ෂ විස්සක චෙක් එකක් ගැන. මම ක්‍රීඩා ඇමති කාලේ දාපු ළමයි තාම එතන ඉන්නවා. මට අද කතා කරලා කිව්වා ලොරි පිටින් බඩු අදිනවා කියලා. එදා පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ විවාදයෙන් පස්සේ ජනාධිපතිතුමා කිව්වා මටත් ඕන මේක වෙනස් කරන්න කියලා. ඒක මන් පිළිගන්නවා. වුවමනාවක් තිබ්බා අලුත් පනතක් ගේන්න. නමුත් මං හිතන්නේ අවට ඉන්න කිහිප දෙනෙක් ප්‍රශ්නේ දුරදිග යන්න ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිතයි කියලා ලංකාවේ හැම කෙනෙක්ම දන්නවා. ඒක අධිකරණයක් දැනගන්න ඕන. ඒ වගේම මම කියනවා සම්පුර්ණ විස්තර ගරු අග්‍ර විනිශ්චකාරතුමාට යවන්න.

පත් කළ මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත (ශ්‍රීලපොපෙ) :

පවතින නීති රාමුව තුළ ජනාධිපති ගිහින් ක්‍රිකට් ආයතනයේ ඡන්දය ඉල්ලුවත් දිනන්න බෑ. ඒ නිසා පවතින නීති වෙනස් විය යුතුයි. ක්‍රමවේදය වෙනස් විය යුතුයි.

අපේ බෙදීමක් අවශ්‍ය නෑ. ආණ්ඩුව වට්ටලා ඉදිරියට යන්න අවස්ථාවක් නොවෙයි. ආණ්ඩුව අපි හදාගෙන තියෙන්නේ ආර්ථික ප්‍රශ්න විසඳලා ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් ලබාදීමට. එහෙම නැතිව මේ පක්‍ෂවලින් නැවත ඡන්දය ඉල්ලන්නවත් මේ ඉන්න නායකයන් නැවත ජනාධිපති කරවන්නවත් නොවේ. ජනතාව වෙනුවෙන් පමණයි අපි පෙනී සිටින්නේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ

ශ්‍රී ලංකා ක්‍රිකට් පාසල් මට්ටමේ සිට සංවර්ධනය කරන්න. ක්‍රිකට් කණ්ඩායම දියුණු මට්ටමට ගෙන ඒමයි ක්‍රිකට් ආයතනයේ වගකීම. එහෙම නැතිව බිලියන ගණන් ලාභ ලැබීම නොවෙයි. ලංකාවේ කිසිම තණනිල්ලක් ඉන්දියාවේ තණතිලිවලට සමාන නෑ. අපේ අයට ඉන්දියාවේ මෙන් තණතිලිවල පුහුණු කළ යුතුව තිබුණා. එහෙම කිසිවක් සිදුවී නෑ. ටීම් එකේ 15ක්වත් හරියට තීරණය කරගන්න බැරිවුණා. 15 දෙනා තෝරගන්න බැරිනම් පුහුණුකරුවන්ට ඩොලර් 20,000 දීලා මොකටද? ක්‍රිකට් ආයතනයයි තේරීම් කමිටුවයි මේ සිදුවන දේවල්වලට වගකිව යුතුයි.

පාර්ලිමේන්තුව නැවත අද (10දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment