දඹුලු ගියත් මෙතෙක් නොදුටු වළගම්බාවන්ගේ රහස් කරත්ත පාරේ මැණික්දෙනට

955
වළගම්බා රජුගේ රහස් කරත්ත පාර

දඹුලු ගියෙමු. ඒ මෙරට විශාලතම ලෙන් විහාර සංකීර්ණය වන දඹුලු ලෙන් විහාර නැරඹීමට නොවේ. දඹුලු ලෙන් විහාර ඔබ කුඩා කල සිටම දැක ඇති බව සිතමි. එහෙයින් මෙවර අපේ දඹුලු සංචාරයේ ඉලක්කය වූයේ බොහෝ දෙනෙක්ගේ ඇස නොගැටෙන වැදගත් ස්ථාන කරා ඔබව කැන්දාගෙන යෑමයි. ඒ අරමුණින් ඇරඹි ගමනේ ඓතිහාසික අතින් වැදගත් ස්ථානයකට දැන් අපි ළඟා වෙමින් සිටිමු. මේ මැණික්දෙන පුරා විද්‍යා රක්ෂිතයයි. වෘක්ෂලතා වනෝද්‍යානයක් ලෙසද ප්‍රකට මැණික්දෙනට අප පැමිණියේ දඹුල්ල මහනුවර මාර්ගයේ දඹුල්ල දෙසින් කිලෝ මීටර් අටක් පැමිණ පන්නම්පිටිය මංසන්ධියෙන් ගලේවෙල දක්වා ඇති හරස් මාර්ගයෙනි. එම මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ ගමන්ගන්නා විට මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතය නම් වන නාම පුවරුව අසලින් ඇති ගුරු පාර අවසන් වන්නේ මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතයේ පිවිසුම් දොරටුව අසලිනි.

සියවස් ගණනාවක අතීතයක් දක්වා දිවෙන මැණික්දෙන බැලූ බැල්මට දිස් වන්නේ මහා වෘක්ෂලතාවලින් ගහණය වූ මනාව සැකසූ වනෝද්‍යානයක් ලෙසිනි. උද්‍යානයට පිවිසෙත්ම වියළි කලාපීය සදාහරිත වනාන්තරයකදී විඳිය නොහැකි සෞම්‍ය ගුණයකින් ගත සිත වෙලා ගනී. නිහඬ නිස්කලංක බව රජයන පරිසරයක තබන පියවරක් පාසා සැනකින් සොබාදහම් මාතාව ඔබව පෙර නොවූ විරූ අද්දැකීමකට කැන්දාගෙන යනු දැනේ. මැණික්දෙනට තැබූ පළමු පියවර කිහිපයේදීම එහි වන මහා වෘක්ෂලතා ගොමු අතරේදී ඒ හැඟීම දැණිනි. එය වූ කලී අවට පරිසරයෙන් වෙනස් වන මැණික්දෙන අනන්‍යතාවයි. පිවිසුමේ සිට වම් පසට දිවෙන ගුරු පාරට සමාන්තරව දකුණු පසින් ඇති ප්‍රාකාරය, කෙනෙක් ඇතුළුවෙත්ම එහි වන අතීත ශ්‍රී විභූතියක කතාව නිහඬව කියා පායි. ගඩොලින් නිමවා ඇති මේ ප්‍රාකාරය වර්තමානයේදී පුරාවිද්‍යාඥයින් විසින් සංරක්ෂණය කර තිබේ. දඹුල්ලේ සංචාරය කරන්නන්ගේ ඇස නොගැටෙන මේ පරිසරයේ ඇත්තේ රසවත් ඓතිහාසික වැදගත් කමකි. මැණික්දෙනේ අතීතය ලිඛිත සාක්ෂි අනුව තෙවන සහ සිව්වන සියවස අතර කාලය දක්වා බැඳී තිබේ. මහසෙන් රජුගෙන් පසු රාජ්‍යත්වයට පත්වන කිත්සිරි මෙවන් රජු මේ භූමිය වටිනා ස්ථානයක් කිරීමේ මූලාරම්භකයාය.

දළදා පෙරහැර ආරම්භ කිරීමට රාජ අනුග්‍රහය ලබා දීමෙන් බුදු සසුනට අනුපමේය සේවයක් කළ නරේන්ද්‍රයාණෝ ලෙස එතුමෝ සම්භාවනාවට පාත්‍ර වන්නාහ. මැණික්දෙන ආගමික මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකටව ඇත්තේ ක්‍රි. ව. 555 ත් 573 අතර එතුමාගේ රාජ්‍ය සමයේය. එවකට මැණික්දෙනේ පැවති විභූතිමත් බව පෞරාණික නටබුන්ව අප ඉදිරියේ අදටත් ඇත. ඒ අතර පුරාවිද්‍යා රක්ෂිතයේ ප්‍රාකාරයෙන් ඇතුළුවෙත්ම වම් පසින් ඉපැරණි ස්ථූපයක් දැකගත හැකිය. ගඩොලින් නිම වූ එය වර්තමානයේදී ස්ථූපයේ හතරැස් කොටුව තෙක් සංරක්ෂණය කර තිබේ. ඉන්පසුව ඔබට ඓතිහාසික බවින්ද ශාන්ත සොබාවෙන්ද අඩුවක් නැති බෝධි ඝරය දැකගත හැකිය. එම ඉදිකිරීමෙන් පසු ඔබ පිවිසෙන්නේ කළු ගල් කුලුනින් කරන ලද ධර්ම ශාලාවකට ය. ධර්ම ශාලාවේ පාදම සහ කළු ගල් කුලුනු පමණක් ඉතිරිව ඇති එම ඉදිකිරීම එදා කෙතරම් විශිෂ්ට ශක්තිමත් නිර්මාණක් ලෙස පැවතියේදැයි සිතීමට අපහසු නැත. මෙහි වන භික්ෂු ආරාම, උපෝසථාගාරය වැනි නටබුන්ව ගිය ඉදිකිරීම් අපේ අතීත ඉදිකිරීම් ක්‍ෂේත්‍රය පිළිබඳ සිතට ගෙනෙන්නේ චමත්කාර ජනක සිතිවිල්ලකි. මැණික්දෙනෙන් මෙතෙක් හමුව ඇති ලිඛිත සාක්ෂි අතර ටැම් ලිපියක් එහි ස්ථාපිත කර තිබේ. ක්‍රි. ව. 8 ත් 9 වන සියවසත් අතර කාලයේ මධ්‍යකාලීන සිංහල අක්ෂරවලින් සමන්විත එම ලිපියේ මැණික්දෙනට ප්‍රභූවරුන්ගෙන් ලැබුණු අනුග්‍රහය පිළිබඳ කියවේ. කොබයතෙළෙහි වාසය කරන සෙන්ගෙ බිරිඳ රන් කළං පහක් වැය කොට මිලදී ගත් බුත්ගමු විහාරයේ පැළ පහක මහදෙනඋළු නම් කුඹුර එම විහාරයේ සලාක බත සඳහා පූජා කළ බව එම ලිපියේ සඳහන්ය.

එවකට මැණික්දෙන රාජ අනුග්‍රහය ලබමින් සියලු අංගවලින් සමන්විත භික්ෂු ආරාම සංකීර්ණයක් ලෙස පැවති බව පහසුවෙන් හඳුනා ගත දසුන් මෙහි තිබේ.

එම ඉසුරුමත් අතීතයෙන් තවත් සියවස් ගණනකට පසු පොලොන්නරුව යුගයේදී මැණික්දෙන පොලොන්නරුව රාජධානියේ මුරපොළකි. විජයබා රජු සමයේදී මෙම ස්ථානය එලෙස භාවිත කර ඇති බවට සාක්ෂි ඇතැයි මේ බිම පිළිබඳ අධ්‍යනය කරන්නන් සඳහන් කරයි. නමුත් මේ පුරාවිද්‍යා භූමිය වර්තමානයේ සුප්‍රසිද්ධ වීමට ආසන්න හේතුව මෙරට වැඩ සිටි අවසන් මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහරහතන් වහන්සේය. වර්තමානයේදී මැණික්දෙන එනමින් ප්‍රචලිතව ඇත්තේ අරන්කැලේ වැඩ විසූ මලියදේව රහතන් වහන්සේ පරිනිර්වානයේන් පසු උන්වහන්සේගේ දේහය මැණික්වලින් සෑදු දෙනක තබා මෙම පූජනීය බිමේ මිහිදන් කළ නිසාය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම අතීතය සාක්ෂාත් කර ගැනීමට අක්කර හතක භූමියක් කැණිම් සිදුකර තිබේ. නමුත් මැණික්දෙන රක්ෂිතයට අයත් මුළු බිම් ප්‍රමාණය අක්කර 48 කි. එම විසල් බිම්කඩේ විරාජමාන අතීතයකට අයත් විශාල සාක්ෂි ප්‍රමාණයක් තවමත් ඇත්තේ මිහිදන්වය.

දඹුලු ගියත් මෙතෙක් නොදුටු වළගම්බාවන්ගේ රහස් කරත්ත පාරේ මැණික්දෙනට
ලැවන්ඩිෂ් කන්ටි්‍ර රිසෝට් හෝටලයේ කළමනාකාර රවීන්ද්‍ර ගුණසේකර

පුරාවිද්‍යා රක්ෂිතය තරම්ම වැදගත් ජෛව විවිධත්ව වටිනාකමක් ද මැණික්දෙන සතුව පවතී. නේක වෘක්ෂලතාවලින් සැදුණේ වූ මේ බිම උද්භිත විද්‍යාඥයන්ට අනුව නම් මේ කලාපයට තිබෙන වටිනා පාරිසරික සම්පතකි. ආචාර්ය මැග්ඩන් ජයසූරීය නම් උද්භීද විද්‍යාඥයෙක් අනූව දශකයේදී සිදු කළ පර්යේෂණවලට අනුව මෙම භූමියෙන් වෘක්ෂලතා වර්ග 500 ක් පමණ සොයාගෙන තිබේ. මැණික්දෙනේ විසල් වනස්පති වියන යටින් ඇවිද යන ඕනෑම කෙනෙකුට මේ වන උයනේ වටිනාකම හොඳින් දැනේ. විහඟුන්ගේ ගීතිකා අසමින් විටෙක දැඩි නිහැඬියාවක ගිලෙමින්ද එය බිඳ දමන උරැහැයියන්ගේ කරච්චලය අස්සෙන්ද අපි ඒ වනස්පතිගේ ඇකයෙහි ඇති ලෝකෝත්තර සුවය ගෙනෙන ඉදිකිරීම් බලමින් බොහෝ වේලා ගත කළෙමු.

මැණික්දෙන දැක ගැනීමෙන් පසු ඒ ආසන්නයේ ඇති තවත් විශ්මිත නිර්මාණයක් ඇති පරිසරයකට ළඟා වුණෙමු. ගල් ඇන්ද නමින් ගම්මුන් අතර ප්‍රකට එම ස්ථානයේ ඇති භූගෝලීය පිහිටීම විශ්මය දනවනසුලුය. අප දුටුවේ වෑකන්ඩියක් මත දිවෙන පාරක් මෙන් උස් බැම්මක් මත දිවෙන බොරළු පාරකි. එම පාරට සමාන්තරව දෙපස අඩි විස්සක් තිහක් පමණ උසකින් යුතු මහා ගල් කුළු එක පෙළට මුර භටයන් සේ නැඟී හිඳින්නේය. එම පාරේ ගමන් කරමින් දෙපස බලන විට එම ගල් කුළුවල මුහුණත පෘෂ්ඨය සමමිතික හැඩයක් ගන්නා බව දිස් වන්නේය. දඹුලු රජ මහ විහාරය තෙක් කිලෝ මීටර් අතරක් පමණ දිගු මේ මාවතේ දෙපස මෙවැනි වූ මහා ගල් කුළු දැකගත හැකිය. ඒ අතර සුමට ගල් පෘෂ්ඨයක් මත පිහිටි අසාමාන්‍ය හැඩයකින් යුතු ගල් කුලක් දැකගත හැකිය. බිත්තරයක හැඩය ගත් එය අංශක හැටක තරම් කෝණයකින් පොළව දෙසට ඇලව බිත්තරයක් සිටුවූවාක් මෙන් සුමට ගල් පෘෂ්ඨය මත පිහිටා ඇති අයුරු පුදුමාකාරය. පොළව දෙසට ආනතව එය නොපෙරළී තිබෙන්නේ කිනම් තාක්ෂණයක් මතදැයි සිතා ගැනීමට අසීරුය. ඇතැම් විට මේ ගල් කුළ මත කිසියම් නිර්මාණයක් කරන්නට හැඩතලයක් ගනිමින් සිටියදී එම කාලයේ පැමිණි ආක්‍රමණයක් හෝ රාජ්‍යයේ බිඳ වැටීමක් නිසා එම කාර්යය අතරමග නවතා දමන්නට සිදුවන්නට ඇත. නමුත් මේ අපූරු ගල් කුළු කවරකාරයේ නිර්මාණයක්දැයි නිසි අර්ථකථනයක් ලබා දීම අපට කළ හැකි නොවේ. නමුත් අපේ ඉතිහාසයේ මහා කළු ගල් කුළු මෙලෙක් කර හැඩ තල නිර්මාණය කිරීමේ තාක්ෂණයක් පැවති බව අමතක කළ යුතුද නොවේ. ඒ කුමක් වෙතත් බැලූ බැල්මටම මෙය සොබාධර්මයේ පිහිටීමක් නොව මිනිස් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් බව නම් ඉඳුරාම කිව හැකිය. ගම්මුන් අතර නම් මේ ගල් ඇන්ද පිළිබඳ විවිධ කතා ගෙතී තිබේ. ඇතැමුන්ට අනුව එය තවමත් තහවුරු නොවූ රාවණ රජ යුගයේ නිර්මාණය වූවකි. වෙනත් ස්ථානයක සිට ගෙනවුත් මේ ගල් කුළු එහි සිටුවන්නට ඇතැයි පැරැන්ණන්ගේ සිට එන මතයක් ඔවුන් අතර තිබේ. වඩාත් ආකර්ෂණීය මතය වන්නේ වළගම්බා රජුත් මේ අපූරු ගල් ඇන්ද පාරත් අතර බැඳි කතාවයි. එම මතයට අනුව ගල් කුළුවලින් මැදිව ආරක්ෂා වූ මේ මාවත භාවිතා කර ඇත්තේ වළගම්බා රජු විසිනි. අශ්ව කරත්ත ගමන් කළ හැකි ප්‍රමාණයේ මාවතක් වන මෙම මාර්ගයෙන් ක්‍රි. පූ 103 ත් 77 අතර කාලයේ රජ කළ වළගම්බා රජු දඹුලු ලෙන් විහාරය කරා ආ ගිය බව කියැවේ. මෙරට විශාලතම ලෙන් විහාරය වන දඹුලු ලෙන් විහාරය කරවා ඇත්තේ වළගම්බා රජු සමයේ නිසා එම මතය වඩා ආකර්ෂණීය වේ.

වළගම්බාවුන්ගේ ඒ රහස් කරත්ත පාර දැක එන විට සන්ධ්‍යා කාලය එළඹෙමින් තිබිණි. විඩාව නිවා ගැනීමට වැව් දියේ පහස ලැබීම මේ ප්‍රදේශයට එන කාටත් අරුමයක් නොවේ. අප ඒ අදහස කියන විට අපේ මග පෙන්වන්නා වූ රවීන්ද්‍ර මහතා කීවේ “නෑ අපි දිය ඇල්ලකින් නාමු” කියායි. තැනිතලා වියළි කලාපයේ දිය ඇළි? මා සිතුවේ එය විහිළුවක් කියාය. නමුත් දඹුල්ල පාරේ සිට කිලෝ මීටර් අටක් පමණ කළුවුන්දෑව ප්‍රදේශයේ ගම ඇතුළට ගමන් කළ අප “හෝ” හඬින් වතුර වැටෙන ස්ථානයකට පැමිණියෙමු. ඉන් මීටර් සියයක් පමණ එපිටින් වූයේ සීතල ජල දහරා ගලා හැලෙන දිය දහරකි. නයා කුඹුර කන්දේ උල්පත් ජලයෙන් පෝෂණය වන එය පහළට ගලා ඒමේදී වැසි සමයේ කුඩා දිය ඇල්ලක වෙස් ගනී. තද සීතලකින් යුතු එම දිය දහර දඹුල්ල වැනි ප්‍රදේශයකදී අත් විඳීම චමත්කාර ජනක එකකි.

ජීවිතයේ බොහෝ වතාවක් දඹුල්ලේ සංචාරය කර ඇතිමුත් කන්ඩලමත් දඹුලු විහාරයත් ඉබ්බන්කටුවත් හැරෙන්නට මීට පෙර මෙවැනි වටිනා තැන් සොයා යෑමට අපොහොසත් වීමු. එම අඩුව පුරවමින් අප ඇස නොගැටුණු මේ වටිනා තැන් කරා යෑමට අපට මග පෙන්වමින් උපකාර කළේ දඹුල්ල ලැවන්ඩිෂ් කන්ටි්‍ර රිසෝට් හෝටලයේ කළමනාකාර රවීන්ද්‍ර මහතාය. ඔහු අපේ ඉතිහාසයත් උරුමයත් පිළිබඳ ඇල්මක් ඇති ගවේෂකයෙකි. හෝටලයේ සිට කිලෝ මීටර් අටක වපසරියක් පුරා විහිදී ඇති මේ වටිනා ස්ථාන පිළිබඳ ස්වකීය නවාතැනට පැමිණෙන සංචාරකයන් දැනුවත් කර ඒවා නැරඹීමට මග පෙන්වීමේ කාර්යද ඔහු තම සේවාවට අමතරව කරන යහපත් කාර්යයකි. දුරකථන අංක 0753556071 ඔස්සේ ඔහු සමග සම්බන්ධ වීමෙන් මේ ස්ථානයන් ගැන දැනුවත් වීමේ හැකියාව ඔබට තිබේ. නමුත් මේ තාක් සංචාරකයන්ගේ අවධානයත් සම්පූර්ණයෙන් ගිලිහී පැවති මේ උරුමයන් කරා ඔබ පියවර තැබිය යුත්තේ එහි ඔබේ පා සලකුණු පමණක් ඉතිරි කර මතකය පමණක් රැගෙන ඒමට පමණි.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment