දුන් පොරොන්දු ප්‍රමාදයි :බදු සංශෝධනය නොකළොත් බරපතළ වෘත්තීය තීරණ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ආණ්ඩුවට ගොරවයි

98

මෙම මාසය තුළදී බදු ප්‍රතිපත්තියේ සංශෝධනයක් සිදු කරන බවට රජය වෘත්තීය සමිති එකමුතුවට ලබාදුන් පොරොන්දුව තවදුරටත් ප්‍රමාද කිරීමෙන් විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරුන් සහ විවිධ ක්‍ෂේත්‍රයන් හි වෘත්තීයවේදීන් ස්ථිරවම රට හැර යෑමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

රටට සහ වෘත්තීයවේදීන්ට ගැලපෙන බදු සංශෝධනයක් මේ මසදී සිදුකරන බවට රජය වෘත්තිය සමිති එකමුතුවට පොරොන්දු ලබාදුන්නද දින 15ක් ගතවූ තැනත් ඒ පිළිබඳව තීරණයක් හෝ ප්‍රකාශ නොකිරීම කනගාටුදායක තත්ත්වයක් බවද පෙරේදා (14 දා) පැවති වෘත්තිය සමිති එකමුතුවේ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී වෛද්‍යවරයා පැවසීය.

රජය මෙම තීරණය නොගැනීම තුළ රටට මානව සම්පත කළමනාකරණය සම්බන්ධයෙන් නැවත හැරවිය නොහැකි විශාල හානියක් සිදුවෙමින් පවතින බවත් එය වෛද්‍ය ක්‍ෂේත්‍රය තුළ ඉතා බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි ද කියා සිටියේය.

මෙරට වෘත්තියවේදීන් සහ සියලු ක්‍ෂේත්‍රයන් හි මානව සම්පත රැක ගනිමින් අදාළ බදු සංශෝධනය සිදුකිරීමට ජනපතිවරයා සහ රජය වහා පියවර නොගන්නේ නම් එළැඹෙන සතියේ දී බරපතළ වෘත්තීය තීරණ ගැනීමට ක්‍රියාකරන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment