අරගලයේ සටන්කාමීන් ගෝඨාභය හමුවී කියූ කතාවක්…!

1024

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය තනතුරු භාරගෙන ආණ්ඩුවක් සාදා රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්නැයි පාර්ලිමේන්තුව හමුවේ විවෘත අභියෝගයක් කර වැඩි කලක් ගියේ නැත. අභියෝගය භාරගන්නට කිසිවකුත් සූදානම් වූයේ නැත. ඒ මෙම රට අද වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීම පෙනෙන තත්ත්වයට වඩා බොහෝ සේ දුෂ්කර බව මේ රටේ දේශපාලනය කරන බොහෝ දෙනෙක් දැන සිටි නිසාය.

පාර්ලිමේන්තුවේ එකදු ආසනයක්වත් නොමැතිව සිටි රනිල් වික්‍රමසිංහ භාරගත්තේ කිසිවකුත් භාර ගන්නට උත්සුක නොවූ එම අභියෝගයයි.

රනිල් වික්‍රමසිංහ අභියෝගය භාර ගත්දා පටන් ඔහුට පැමිණි බාධක හිරිහැර නම් අඩුවක් නොවීය. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඇතැමුන්ගෙන්, ප්‍රධාන විපක්ෂය වන සජබෙන්, ජනතා විමුක්ති පෙරමුණෙන්, අරගල භූමියෙන් පැමිණි විවේචන හා අභියෝග කෙළවරක් නොවීය. එහෙත් ඒ සියල්ල හමුවේ රනිල් වික්‍රමසිංහ නොසැලී සිටියේ ජාත්‍යන්තරයේ සහයෝගය ගෙන තමන්ට මේ තත්ත්වයෙන් රට ගොඩ ගැනීම මහා කජ්ජක් නොවන බවට ඔහු තුළ තිබූ අපිරිමිත විශ්වාසය නිසාය.

ඒ විශ්වාසය සුළුපටු නොවීය. විශ්වාසය මත පදනම් වූ බලවත් රටවල් හා ජත්‍යන්තර මූල්‍ය ආයතන ආධාර උපකාර හා අතහිත ලබා දෙන්නට ප්‍රබල කොන්දේසියක් ඉදිරිපත් කරනු ලැබීය.

“ඉස්සරවෙලා දේශපාලන ස්ථාවරත්වය තහවුරු කරන්න. ඉන් පසුව අපි ආධාර කරන්නම්…”

● රනිල්ගෙ මිතුරෙක් දුරකථනයෙන් දිරිදෙයි…

අගමැති රනිල්ට ලොකුම අභියෝගය වූයේ රට තුළ, පාර්ලිමේන්තුවේ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කර ගැනීමයි.

මේ අතර පසුගිය සතියේ අගමැති රනිල්ට සිය පැරණි මිතුරකුගෙන් දුරකථන ඇමතුමක් පැමිණියේය. මිතුරා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ය.

“මේ වෙලාවේ ශ්‍රී ලංකාව පත් වෙලා තිබෙන ආර්ථික අර්බුදය ගැන අපිට හරිම කනගාටුයි. ඒ අසීරු අවස්ථාවේ නොසැලී මේ අභියෝගයට මුහුණ දෙන්න ඉදිරිපත් වීම ගැන මම ඔබට සුභපතනවා. ඒ වගේම අපට හැකි අයුරින් අපිත් ඔබට උදව් කරන්න උත්සහ කරනවා.” බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පැහැදිලිව කීවේය.

බ්‍රිතාන්‍ය අගමැති මෙසේ අගමැති රනිල්ට කතා කරන අවස්ථාවේ ඔහු සිටියේ ඉකුත් අඟහරුවාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතාබහ කිරීමට කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ඒ වන විට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව සකස් කරන ලද විශේෂ කරුණු ඇතුළත් 21 සංශෝධනය කෙටුම්පත් කර එහි පිටපත් මහනායක හිමිවරුන්ට පවා ලබාදී අවසන්ව තිබිණි. ආණ්ඩු පක්ෂයේ අදාළ ප්‍රධානීන්ටත් මෙම සංශෝධනයේ කෙටුම්පත් ලබා දී හමාර කර තිබිණි. එහෙයින් වූ එදා පැවැති සාකච්ඡාව බොහෝ දෙනකුට වඩාත් පහසු එකක් විය.

සාකච්ඡාවට සහභාගි වන්නට පෙර ආණ්ඩු පක්ෂයේ ඇතැම් කණ්ඩායම් තුළ මෙම විසිවන සංශෝධනය ගැන යම් යම් විචිකිච්චාවක් නැතිව තිබිණි.

“මේ වෙලාවේ රටේ මතුවී තිබෙන්නේ ආර්ථික ප්‍රශ්නයක්. දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. රට මුහුණ දෙන ප්‍රශ්නය තමයි ඩොලර් නැතිකම. විදේශ සංචිත නැති නිසා අපිට අද ඩීසල් නෑ. පෙට්‍රල් නෑ. ලාම්පුතෙල් නෑ. ගෑස් නෑ. ඖෂධ ටික නෑ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගේන්න විදිහක් නෑ.

ඒ ඔක්කොම ප්‍රශ්න එහෙමම තියාගෙන අගමැතිතුමාගේ කණ්ඩායම අද විසිඑක් වෙනි සංශෝධනයක් ගෙනල්ලා රටේ දේශපාලන බලය තමන් වටා ගොනු කරගන්න හදනවා එකම දේශපාලන පක්ෂයකවත් මන්ත්‍රීවරයකුගේ සහයක් නොමැතිව. පොහොට්ටුවේ නිර්මාතෘවරයාගේ දේශපාලන අනාගතය අඳුරු කරලා පොහොට්ටුවේ සහයෝගය මේ සංශෝධනයට ගන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකට කොහොමද අපි සහයෝගය දෙන්නේ.” විශේෂයෙන්ම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර මේ සම්බන්ධයෙන් ලොකු විරෝධතාවයක් ගොඩනැඟී තිබුණි.

එදා මෙහෙම සාකච්ඡාවක් පැවතියේ එම පසුබිම තිබියදී ය.

සාකච්ඡාවට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ද පැමිණ සිටියහ. එම නිසා පළමුව කතාබහ වූයේ අග්‍රාමාත්‍ය ධුරයේ බලතල වැඩි වීම සම්බන්ධවයි. ඉතා දීර්ඝව කතා බහට ලක් වූ කාරණාවක් වූ අතර මේ සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට බොහෝ යෝජනා ද තිබෙන බව පෙනෙන්නට විය.

● 21 සංශෝධනයට ආණ්ඩුවත් බෙදිලා…

“මේ විදිහට එක එක්කෙනා යෝජනා ඉදිරිපත් කරමින් කතා කරනවාට වඩා ඔබට පුළුවන් යෝජනා විදිහට අපිට ලිඛිතව භාරදෙන්න. ඊළඟ බ්‍රහස්පතින්ද අපි රැස් වෙනකොට ඕගොල්ලන්ගේ යෝජනා අරන් ආවොත් තමයි හොඳ.” ජනාධිපති මන්ත්‍රීවරුන්ට කීවේය.

ආණ්ඩු පක්ෂයේ මේ විශේෂ කණ්ඩායම් රැස්වීමට අමතරව එදින කැබිනට් මණ්ඩල රැස්වීමක් ද පැවැත්විණි.

පසුගිය සතිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද දේශපාලන විපිරියාස රැසක් සහිත සතියක් විය. මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡා වට කිහිපයක්ම මේ සතියෙත් පැවැත්විණි.

ඔවුන්ගේ සාකච්ඡාවලට නතු වූ බරපතළම මාතෘකාව වූයේ පක්ෂයේ නායකයන්ගේ හෝ මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා සහ තවත් උප සභාපතිවරයකු වන මහින්ද අමරවීර රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යධුර දෙකක වගකීම් භාර ගැනීමයි. ඔවුන් එය සැලකුවේ පක්ෂයේ මතයට විරුද්ධව ගොස් ගනු ලැබූ අවස්ථාවාදී තීන්දුවක් කියාය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට පසුගිය සතියේ ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන ඉහත කී ඇමැතිවරුන් දෙදෙනා කැඳවූ අවස්ථා තිබුණේ එකක් දෙකක් නොවේ.

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරත් පදිංචිව සිටින්නේ යාබද නිල නිවාස දෙකකය. කොටින්ම කිව්වොත් තම නිවසේ දයාසිරි ජයසේකර සිය බිරිඳ සමග හයියෙන් වචන හුවමාරුවක් ගියත් ශ්‍රීලනිප නායක සිරිසේන මහතා සිටියේ එය ඉතා හොඳින් ශ්‍රවණය වන ආසන්නයකය.

ඒ අතර මේ දෙදෙනාගේ මිත්‍රත්වයට හවුල් වන්නට එතනට නිතර නිතර යන එන අයෙක්ද විය. ඒ තිලංග සුමතිපාල පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් වෙනුවෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා තීන්දු තීරණවල මූලාරම්භය සිදුව තිබුණේ මේ තිදෙනාගේ සාකච්ඡාවලට අනුකූලව බව පැහැදිලි විය.

මේ අතර ශ්‍රී ල නි ප මහ ලේකම් ජයසිරි ජයසේකර පසුගියදා මාධ්‍ය හමුවේ විශේෂ අනාවරණයක් කළේය. ඒ වූ කලී පක්ෂයේ තීන්දුවට පිටතින් ගොස් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ආණ්ඩුවේ තනතුරු ලබා ගත් නිසා පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගනු ලැබූ තීන්දුවක් මත ඒ දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරුනු ලැබූ සියලු තනතුරුවලින් නෙරපා හරින ලද බවයි.

“පක්ෂයේ විනය කඩ කළ නිසා අපි ශාන්ත බණ්ඩාරටයි සුරේන් රාඝවන්ටයි විරුද්ධව ගත්තේ මේ තීන්දුවම තමයි. මෙතෙන්දී අපට ශාන්තලාට එක විදිහකටත් මේ දෙන්නාට එක විදිහකටත් සලකන්න බෑ. ඒකයි මේ දෙන්නගේ තනතුරු ගලවන්න තීරණය කළේ” දයාසිරි පැහැදිලිව කීවේය.

● මෛත්‍රීට එරෙහිව නිමල් නඩුමගට…

ඊට අමතරව එම දඬුවමට අදාළ ලියැකියවිලිද පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන අත්සන් කර යවා තිබුණි.

එහෙත් ප්‍රශ්නය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14දෙනාගෙන් බහුතරයක් දෙනා රජය සමග එකතු වී වගකීම් දරා කටයුතු කිරීමට එකඟත්වය පළ කර තිබීමයි. එසේ එකඟත්වයක් නැති අය අතර වූයේ මෛත්‍රීපාල, දයාසිරි, දුෂ්‍යන්ත හා ශාන් විජයලාල් පමණි. සියඹලාපිටිය ස්වාධීනව සිටියේය. අනිත් සියලු දෙනා සිටියේ නිමල් සිරිපාල හා අමරවීර ගත් තීන්දුව සමගය.

මේ අතර නිමල් සිරිපාල ද සිල්වා නම් ජ්‍යෙෂ්ඨ නීතිඥයාද තවත් පොටක් ඔස්සේ ක්‍රියාත්මක වන්නට විය. ඔහු තම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑමට සූදානම් වෙමින් සිටියේය. ඊට ලොකු හේතුවක් ද තිබිණි.

මෛත්‍රිපාල සිරිසේන විසින් ඒ දෙදෙනාට, ඔවුන් තනතුරුවලින් නෙරපා හැරියේ යැයි කියා යවන ලද ලිපියේ එම තීන්දුව මධ්‍යම කාරක සභාව විසින් ගත් තීන්දුවක් බවට සටහන් කර තිබිණි. එහෙත් නිමල් සිරිපාල ද සිල්වා හට ලැබී තිබුණු තොරතුරුවලට අනුව එවන් කරුණක් සම්බන්ධයෙන් කතාකරන්නට මධ්‍යම කාරක සභාවක් ශ්‍රීලනිප නායකයා එම අදාළ කාලය තුළ කැඳවා තිබී නැත.

● ඉදිරි මැතිවරණවල ජවිපෙ – පෙරටු එකට!

මෑත කාලීනව රටේ ඇතිවූ ආර්ථික දේශපාලන අර්බුද මත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් හැටියට ඉස්මතු විය. බෙදී වෙන් වී ආණ්ඩු පක්ෂයටත් බෙදී වෙන්වී කැඩී බිඳී අබලන්ව ගොස් තිබූ සාම්ප්‍රදායික විපක්ෂයටත් ප්‍රබලම අභියෝගය එල්ල කරමින් ජනතා විමුක්ති පෙරමුණ සමාජය තුළ තහවුරු වූයේ අලුත් තරුණ ඡන්දවල හා අලුතින් සිතන පතන තරුණ කොටස්වල ආකර්ශනය සියයට සීයක්ම තමන් වෙත රඳවා ගනිමිනි.

ඒත් ජනතා විමුක්ති පෙරමුණට ප්‍රභලම හිරිහැරයක් වූයේය. ආණ්ඩුවට විරුද්ධව නිර්පාක්ෂික අරගලය නමින් සමාජය තුළ ක්‍රියාත්මක වී තිබූ බලවේගයේ කේන්ද්‍රය මෙහෙයවමින් පෙරටුගාමීන්ගේ නූල් සූත්තර මත ක්‍රියාත්මක වූ අන්තරයේ ආධිපත්‍යයයි.

ඒ එක පැත්තකි. පසුගිය ඓතිහාසික මැයි නව වැනිදා ඛේදවාචකයෙන් පසු වූ ජවිපෙට එරෙහිව තවත් සමාජ බලපෑමක් ක්‍රියාත්මක විය.

නම වැනිදා උදේ ගෝල්ෆේස් පිටියේ සිදුවූ අවාසනාවන්ත ඛේදවාචකයෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දක්වමින් රටපුරා ක්‍රියාත්මක වූ පලිගැනීම් ක්‍රියාන්විතය ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීමෙන් සිදු වූවක් බවට රටේ ලොකු ප්‍රචාරයක් ඇතිවිය. සැබැවින්ම පිට පළාත්වල ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනිතැබීම් වලට හා දේපල සුනුවිසුණු කිරීම්වලට ජවිපෙ ක්‍රියාකාරිකයන් සම්බන්ධ බවට සතර අතින් නැගුනු චෝදනා සුළුපටු නොවීය. ඒවා තහවුරු වූයේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත නිදහස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින්, තමන් ප්‍රාදේශීය වශයෙන් සිටින නායකයන් සංවිධානය කර යම් යම් ප්‍රතිචාර දැක්වීම්වලට සහභාගි වන්නැයි ඉල්ලීමක් කළ බව ප්‍රසිද්ධියේ පිළිගෙන තිබීමයි.

මේ තත්ත්වය මත ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් දිනක් සාදාගෙන ආ හොඳ නම පලුදු වී ගියේ යැයි කීවොත් නිවැරැදිය. බරපතළ පාඩුව සිදුවූයේ තුන්වෙනි බලවේගයක් ලෙස සමාජ විශ්වාසය දිනා ගනිමින් මේ අරගලකාරී තත්ත්වය තුළ ඔවුන් පැමිණි දේශපාලන ඉදිරි ගමනටය.

මේ සියලු කාරණා ගැන සිතා බැලූ දෙපාර්ශ්වයේ නායකයෝ දෙගොල්ලන්ගේම ඉදිරි ගමන සඳහා එක මාවතක් තෝරා ගන්නට කල්පනා කළා වන්නට ඇත. මේ රටේ අලුතෙන් හිතන නිර්මාණශීලී තරුණ පරපුරේ ඡන්ද ගොඩවල් දෙකකට බෙදෙන්නට නොදී තනි ගොඩකට ඒකරාශී කරගෙන පසුව වගකීම් බෙදා ගැනීම වඩාත් ඥාණාන්විත බව ඔවුන් සිතන්නට ඇත. ඉදිරියේදී එන මැතිවරණවලට එසේ නව වාමාංශික කඳවුරක් ඔස්සේ මුහුණ දීම ඔවුන්ගේ පැත්තෙන් ගතහොත් වඩාත් ඥාණාන්විත බව දේශපාලන නිරීක්ෂකයන්ගේ ද පිළිගැනීම බව පැහැදිලිය.

මේ සඳහා පාර්ශ්වයන් දෙක අතර ඉතා අර්ථපූර්ණ සාර්ථක සාකච්ඡාවක් පසුගිය බදාදා කොළඹදී සිදුවිය.

කවුරුන් කෙසේ කීවත් පසුගිය සතිය වන විට හරීන්ගේ හා මනුෂ ගේ නික්ම යෑමේ පාඩුව සමගි ජන බලවේගයට ඉතා තදින් දැනෙන්නට වී තිබිණි. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ මාධ්‍ය මෙහෙයුම් සියල්ල පසුගිය කාලයේ ඉතා සාර්ථකව සිදු වූයේ හරීන්ගේ හා මනුෂගේ මෙහෙයවීමෙනි. හරීන් හා මනුෂ පක්ෂයෙන් නික්ම යෑමත් සමග ඔවුන්ගේ මුළු මාධ්‍ය ක්‍රියාන්විතයම බිඳ වැටී ගියේය. පක්ෂයේ ක්‍රියාකාරකම් සියල්ල එළිපිට මාධ්‍යවලට නිකුත්කිරීමේ සිට, මාධ්‍ය මෙහෙයුම පැවැත්වීම, මාධ්‍ය සාකච්ඡාවලට දේශකයන් හා කථිකයන් පුහුණු කිරීම හා ඒවා සංවිධානය කිරීම, රූපවාහිනි සංවාදවලට කථිකයන් යැවීම හා ඔවුන්ට අදාළ තොරතුරු ලබා දීම යනාදී සියලු මාධ්‍ය මෙහෙයුම් අකර්මණ්‍ය විය. වෙන එකක් තබා පුවත්පත්වල දේශපාලන ගොසිප් තීරු සඳහා ඇතුළාන්තයේ රසබර තොරතුරු බෙදා හදා දුන් රහසිගත ක්‍රියාන්විතයේ පිළිසරණත් පක්ෂයට අහිමිවිය.

මේ නිසා පක්ෂය ඇතුළාන්තයේ පසුගිය සතියේ බරපතළ මාධ්‍ය අඩුපාඩු රැසක්ම ඇති වී තිබෙන බව නායකකාරකාදීන්ගේ ද කතාබහට ලක්වූ කරුණක් විය.

● ගෝල්ෆේස් හඬට ජනපති කන්දෙයි…

ගෝල්ෆේස් පිටියේ අරගලයට දැන් මාස 2කට කිට්ටුය. ජවිපය, පෙරටුගාමී පක්ෂය, මුස්ලිම් දේශපාලනඥයන්ගේ කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන, දෙමළ ඩයස්පොරාවේ කොටස් මෙහි සක්‍රියව නිදහසේ වැඩ කරන බව පැහැදිලිවම පෙනී ගියත් බොහෝ දෙනා හැඳින්වූයේ එය නිර්පාක්ෂික අරගලයක් කියාය. නම කෙසේ වෙතත් ඔවුන්ගේ සටන්කාමීත්වයේ යම් යම් සාධනීය ලක්ෂණ තිබිණි. ඒ නිසා කිසිවකුත් එය විවේචන කළේ වත් ඉවත් කරන්නට කල්පනා කළේ වත් නැත. මැයි නම වෙනිදා සිදුවූ ඛේදවාචකයට අමතරව ඊට කිසිවෙක් අතවර කළේද නැත.

එහෙත් ප්‍රශ්නය වූයේ ඔවුන්ගේ හඬට රජය ප්‍රමුඛ සාධනීය කණ්ඩායම්වල කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොවීම ය.

පසුගිය දිනවල ඔවුන්ගේ එම හඬට යම්කිසි වටිනාකමක් ලබාදීම සඳහා මේ රටේ පිළිගත් වෘත්තිකයෝ පිරිසක් ඉදිරිපත්ව සිටියහ. මේ ආකාරයෙන් රට ආගාධයට තල්ලු වී යෑම වැළැක්වීම සඳහා ගෝල්ෆේස් අරගලකරුවන් සමඟත් රජය සමඟත් ජනාධිපතිවරයා සමගත් හොඳ ප්‍රබුද්ධ සංවාදයක් ගොඩනැඟීම සඳහා මේ වෘත්තිකයෝ පියවර ගත්තේ ඒ නිසාය. මේ රටේ ප්‍රකටම විශේෂඥ වෛද්‍යවරයෙක් වන අසෝක ජයසේන, නීතිවේදී වේරගල ඇතුළු උගතුන් පිරිසක් මෙන්ම ගිහි පැවිදි බුද්ධිමතුන් පිරිසක් ද මෙම පුරෝගාමී මෙහෙවරෙහි යෙදී සිටියහ. ඔවුන් මෙම අරගලයේ ඇතුළාන්තය ගැන හොඳින් අධ්‍යයනය කර හොඳ අවබෝධයක සිටියහ. එමෙන්ම ඔවුන් හා හොඳ සංවාදයක ද නිරතව සිටියහ. “සාකච්ඡා එපා. ගෝඨා ගෝ හෝම්” කියා දැඩි ස්ථාවරයක සිටි අරගලයේ පිරිස ජනාධිපතිතුමා හා සාකච්ඡා මේසයට රැගෙන එන්නට මේ වෘත්තීයවේදීන්ට හැකි වූයේ එම සංවාදය නිසාය.

මේ සංවාදය සිදුවූයේ පසුගිය පළවෙනි බදාදා උදය වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී ය. සාකච්ඡාවට අරගලයේ පිරිස එන්නට පෙර වෘත්තීයවේදීන් පිරිස වේලාසනින්ම ජනාධිපති මන්දිරයට පැමිණ සිටියහ. ඔවුන් මෙම උත්සහය ගැන එතන සිටි නිලධාරීන් හා අදහස් හුවමාරු කරගෙන තිබුණේ මෙසේය.

“ඇත්තම කියනවා නම් පාර්ලිමේන්තුව ඇතුළෙත් ඉන් පිටතත් අද මේ සිද්ධවෙන දේවල් එකක්වත් රටේ තිබෙන හැබෑ අර්බුදයට විසඳුම් කියා හිතන්න බෑ. කට්ටියක් දඟලනවා තියන බලය රැකගන්න, තව කට්ටියක් දඟලනව බලය අරගන්න. ඒ අතරේ තමන්ගේ අරමුණුවලට ළං වෙන්න පාර කපා ගන්න තමන්ට ඕන විදිහට ව්‍යවස්ථාව හදාගන්න දඟලන පිරිසකුත් ඉන්නවා. අපි අරගලයේ පිරිසත් එක්ක සාකච්ඡා කළේ ජනාධිපතිතුමා එළවීම නෙවෙයි විසඳුම. එතුමා ලවා රටට අවශ්‍ය දේ කර ගැනීමයි කියලා. ඒක නිසා ඔබතුමාලත් එයාලගේ අදහස්වලට සංවේදී වෙලා කට්ටියම එකතු වෙලා රටට අවශ්‍ය විසඳුම හොයාගන්න සාකච්ඡා කරමු.

විටියල කවිධජ හාමුදුරුවෝ හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඥාණසර හිමියෝ සමග අරගලයේ තරුණ පිරිස නිසි වේලාවට ජනාධිපති මන්දිරයට පැමිණියහ.

“ජනාධිපතිවරයා ද ඊට සහභාගි වීමෙන් පසුව සියල්ලටම පෙර කළේ සහභාගිවූවන් තනි තනිව හඳුනා ගැනීමය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම මෝස්තර නිරූපිකාවන්, කලාකරුවන්, වෛද්‍යවරුන් ඉංජිනේරුවන්, නීතිඥයන් වැනි වූ විවිධ වෘත්තිකයන් එතන සිටියහ.

අරගල භූමිය තුළ විවිධ අරමුණු තියෙන අය ඉන්නවා. තමන්ගේ කණ්ඩායම තමන්ගේ නායකයා බලයට ගේන්න වැඩ කරන හාමුදුරුවොත් ඉන්නවා. ඒ සියල්ල අතරින් රට වෙනුවෙන් යමක් කරන්න හිතන, උනන්දු වෙන අය තමයි අපි මෙතනට ගේන්න උත්සාහ කළේ. උත්සාහය සාර්ථකයි සාකච්ඡාවත් සාර්ථක කරගමු…” වෘත්තිකයෝ පැහැදිලි කළහ.

“ඔබතුමා ඇත්තටම අවංකව වැඩ කළා. විප්ලවයක් වගේ සමහර වෙනස්කම් කළා. සම්ප්‍රදායෙන් බැහැර වෙලා අලුත් දෙවල් නිර්මාණාත්මකව කරන්න හැදුවා. එහෙම අදහස තියෙන කෙනෙක් හැටියට ඔබතුමාට මේ තරුණ පිරිසගේ අදහස්වලට ඇහුන්කන් දෙන්න අමාරු වෙන එකක් නෑ…” පාතේගම හිමියෝ කීහ.

“ඇත්තටම අපිට ඕන වුණේ මේ අදහස් දහරාවන් දෙක යා කරන පාලමක් වෙන්න”… නීතිවේදියෙක් කීවේය. ඉන්පසුව අරගලයෙන් පැමිණි තරුණ ගැහැනු ළමයෙක් ආවේගශීලීව කතා කරන්නට වූවාය.

“ඔබතුමාලා රට සංවර්ධනය කරනවා කියලා මෙච්චර කලක් කරලා තියෙන්නේම මේ රට ණය කරන එක. ඔබතුමාලා අපි විතරක් නෙවෙයි. අපට ලැබෙන්න ඉන්න දරු පරපුර පවා පරම්පරා ගාණක් ලෝකෙට ණය කරලා. ඇයි අපට මෙහෙම කරේ. ඇයි රටකට මෙහෙම කළේ. මොකක්ද එහෙම කරන්න තියෙන අයිතිය…” ජනාධිපතිවරයා උත්තර නොදී ඇයගේ අදහස් එකින් එක වෙනම සටහන් කර ගනිමින් සිටියේය.

“මෙහෙම නෙවෙයි ජනාධිපතිතුමා. හංගල කතා කරන්න දෙයක් අපිට නෑ. අපි විවෘත සංවාදයක් විදිහට මේ අදහස් දැක්වීම කරගෙන යමු… තරුණ නීතිවේදියෙක් කීවේය.

“මේ තරුණ අයගේ අදහස්වලට සවන් දුන්නාම මට හිතෙන දේ තමයි මගේ හිතේ තියෙන දේ ඔයාලා කතා කරනවා කියලා. මම කරන්න ගියෙත් ඔය ටිකම තමයි. ජාතික ආර්ථිකය ශක්තිමත් කරලා මේ රට ණය නොගන්නා රටක් බවට පත් කරන්න මට ඕනේ වුණේ. මම යම් උත්සාහයක් ගත්තා. යම් යම් තැන්වලදී හිර වුණා. ඒ හිරවුන තැන් මොනවද කියලා ඔබ බලන්න. අන්න ඒ හිර වුණ තැන් වට කරන්න… ඕගොල්ලො කියනව ණය අරන් වැඩියි කියලා. ඒක ඇත්ත. මමත් පිළිගන්නවා. ඒක නිසා තමයි මම මගේ කාලය තුළ ණය නොගෙන හිටියේ. ඒ වෙලාවේ සමහරු මට දොස් කිව්වේ ඇයි අයි. එම්. එෆ්. ගිහින් ණය ගන්නේ නැත්තෙ කියලා… අන්තිමට බැරිම තැන තමයි මමත් ණය ගන්න තැනට තල්ලු වුණේ…” ජනාධිපතිවරයා මෙසේ සැලකිය යුතු වේලාවක් අදහස් පැහැදිලි කළේය. තරුණ පිරිස සමහරු ජනාධිපතිවරයාගේ අදහස් වලට විරෝධය පළ කරමින් උණුසුම්ව කතා කළ අතර තවත් සමහරු එකඟත්වය පළ කළෝය.

“ගෝල්ෆේස් පිටියට පහරදෙන්න සෙනඟ රැස් කරලා පොළඹවපු මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි..”

“මේ සාකච්ඡාවේදී අන්තවාදී වෙන්නේ නැතුව මේක ඵලදායකව පවත්වාගෙන යන්න උත්සහ කරමු. සිද්ධ වුණු දේ අපි අනුමත කරන්නේ නෑ තමයි. හැබැයි සෙනඟ රැස් කරල රැස්වීමක් තියලා දේශපාලනය කරන්න එතුමාට අයිතියක් තියනවා. ඕගොල්ලන් අරගල පිටියේ පාවිච්චි කරන්නේ ඒ අයිතිය.” ජනාධිපතිවරයා ඇතැම් විට දැඩි අදහස් ප්‍රකාශ කළේය. ඉතා සුළුතරයක් සංවේදීව ආවේගාත්මක තර්ක ගෙන ආවත් වැඩි දෙනෙක් සාකච්ඡාව බුද්ධිමය තලයක තබා ගන්නට උත්සාහ කළහ.

“වැරදිකරුවන්ට දඬුවම් දෙන එක අධිකරණයේ වැඩක්. කිසිම තැනකදී මම අධිකරණයේ වැඩවලට ඇඟිලි ගහලා නෑ. ඒ වගේම තමයි මම කරන්න හැදූ හරිත කෘෂිකර්මය. මට ඕන වුණේ වස විසෙන් තොර ආහාර වේලක් රටේ ජනතාවට දෙන්න. රට තුළ දේශීය ආහාර නිෂ්පාදනය වැඩි කරල පිටරටට ඇදිලා යන මුදල් අඩු කරගන්න. රටට අවශ්‍ය කාබනික කෘෂිකර්මය හඳුන්වලා දීලා තෙල් පොහොර සඳහා පිටරටට ඇදී යන ධනස්කන්ධය නතර කරනවා වගේම මගේ ජනතාවට වස විස කන්න නොදෙන්න. කවුරු හරි කියන්න බලන්න ඒක නරකද..?

● නාස්තියට හේතුව ජනපති පහදයි…

ජනාධිපති මෙහිදී පෙන්නුම් කළ ඉවසීම හා අවධානය ඉතා සුවිශේෂී විය.

කොපමණ ඉවසීමකින් කතා කළත් එක්කෙනෙක් දෙන්නෙක්ගේ අදහස් දැක්වීම් ආවේගශීලීත්වයෙන් මිදුනේම නැත.

“අද අපට මෙතෙන්ට ආවමත් හැමතැනම දක්නට ලැබුණේ සම්පත් නාස්තිය හා දූෂණය. ජනාධිපති මන්දිරයේ හැමතැනම අනවශ්‍ය වියදම්. එක්කෙනෙකුට මේ තරම් සැපට ඉන්න මහජන මුදල් මේ තරම් නාස්ති කළ යුතුද රටක්…”

ඒ කතාවට ජනාධිපති ඉතා ඉවසිලිවන්තව හිනාවී අපූරු උත්තරයක් දුන්නේ ය.

“ජනාධිපති වගේ එක් පුද්ගලයෙක් නඩත්තු කරන්න රටක් මේ වගේ මන්දිරයක් නඩත්තු කරමින් වැය කරන මුදල අපරාධයක් විදිහට දැකපු නිසා තමයි මම මගේ මිරිහානේ පුංචි ගෙදරට වෙලා ජීවත් වුණේ. —ඒකෙ දොර මම රටේ මුදල් වියදම් කළේ නෑ. කෝ ඉතිං ඔයගොල්ලො මට එතන නිදහසේ සාමකාමීව ඉන්න ඉඩ දුන්නේ නැහැනේ. එතන වට කරලා ගල් ගහලා කුඩු කරලා ගිනි තියලා විනාශයක් කළා. ඒකනෙ මේ ඔක්කොටම මුල”

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමඟ කළ මෙම සාකච්ඡාව පොදුවේ ගත්කල සාර්ථක සාධනීය එකක් විය. සාකච්ඡාව සංවිධානය කළ උගතුන්, වියතුන් එමඟින් සතුටට පත් වූවා සේම ජනාධිපතිවරයා ද ඔවුන්ට ස්තූති කළේය.

අවසානයේ මෙම සාකච්ඡාව පිළිබඳ තොරතුරු මාධ්‍යයට හා රටට කියන්නේ කෙසේද කියා ජනාධිපති මාධ්‍ය ඒකකය හා අරගලකරුවන් අතරද පොදු එකඟතාවක් ඇති විය. අරගලයේ සිට මෙම පොදු සාකච්ඡාව සඳහා සහභාගි වූ කිසිවෙකුගේත් නම් ගම් හා මුහුණු කිසිවෙකුටත් හෙළි නොකරන්නට දෙපාර්ශ්වයම එකඟ වූහ.

“අපි මෙයාට මොනව කිව්වත් මෑන්ගේ අදහස් නම් පට්ට අවංකයි කියලා හිතනවා මචං… සාකච්ඡාව අවසන් වී බැහැරට යන එක් තරුණයෙක් තරුණියකට එසේ කියනු ජනාධිපති මාධ්‍ය අංශයට සම්බන්ධ එක් අයෙකුට ඇසී තිබිණි.

සාකච්ඡාව අවශ්‍ය පරිදි තවදුරටත් අදියරෙන් අදියරය ඉදිරියට ගෙන යන්නට ක්‍රියාකරන බව හමුව සංවිධානය කළ වෘත්තීයවේදීන් පවසා තිබිණ.

● ඒ කතා එහෙමයි මේ කතා මෙහෙමයි

ගිය සතියෙ අපේ දේශපාලන කතිකාව උණුසුම් කරන තවත් අලුත් කතාබහක් ඇති විය. ඒ වූ කලී දුමින්ද සිල්වා නිදහස් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ලබාදුන් ජනාධිපති සමාව ආපස්සට හරවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබූ තීන්දුව ක්‍රියාත්මක වීමයි. ජනාධිපතිවරයා දුමින්ද සිල්වාට සමාව ලබාදී ඇත්තේ නිවැරදි ක්‍රමවේද අනුගමනය කර නොවේ යැයි කියා මතයක් රට තුළ තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට බලපාන්නට ඇත්තේ ඒ විය හැකියි.

කෙසේ වෙතත් පසුගිය සතියේ දුමින්ද සිල්වාට නැවත බන්ධනාගාරගත වන්නට සිදුවිය.

ඒ අතර බන්ධනාගාරගතව ඉන්න තවත් දේශපාලන සිර සිරකරුවකු ගැන තවත් තැනක මෙසේ කතා බහක් ඇති විය. ඔහු ද සිල්වා වාසගමට නෑකම් ඇති තවත් අයෙකු වන රන්ජන් රාමනායක ය.

සාගල රත්නායක හා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අගමැති රනිල් හමුවී ඔවුන් දෙදෙනා සිරගතව සිටින රන්ජන් රාමනායක මුණ ගැසීමට යන බව කීහ.

“ඔව් රන්ජන්ව බලන්න යන්න. එයාව නිදහස් කරගන්න අපට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා හොයලා බලන්න.” අගමැති ඔවුන්ට දුන්නේ එවැනි පණිවුඩයකි.

අගමැතිගේ පණිවුඩයත් රැගෙන ඔවුන් දෙපළ අඟහරුවාදා රන්ජන් රාමනායක මුණ ගැසීමට වැලිකඩ බන්ධනාගාරය වෙත ගියහ. සිරකරුවන් අමුත්තන් මුණ ගැසෙන ස්ථානය වෙත ගොස් සිටියදී ඔවුන් අසලට පැමිණි බන්ධනාගාර නිලධාරියෙකු කීවේ “සර්ලට ටිකක් වෙලා ඉන්න වෙයි. එතුමා ලැහැස්ති වෙලා එන්න ටික වෙලාවක් ගතවෙනවා.” යනුවෙනි.

ජනප්‍රිය නළුවෙකු වන රන්ජන් අග්‍රාමාත්‍ය ලේකම් හා සාගල මුණ ගැසීමට පැමිණියේ ද නළුවෙකු මෙන් රැවුල කොණ්ඩය බූ ගා පිළිවෙළකට සැරසීය.

“රන්ජන් තාම නළුවා වගේ ඉන්නවා නේද? හිරකාරයෙක් කියලා පේන්නේ නෑ.” සාගල කියද්දී රන්ජන් ඔවුන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

“මම උපාධියට ලැහැස්ති වෙනවා නේ ඇමැතිතුමා. මෙයාලා ඒකට මට ලැප්ටොප් එකක් දීලා තිබුණා අධ්‍යයන වැඩවලට කියලා. මම කෝල් ගන්නවා කියලා ඒක නැවත අරගත්තා.” රන්ජන් අග්‍රාමාත්‍ය ලේකම්වරයා හමුවේ කීවේය.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් සමඟ සාකච්ඡා කළ අතර ඔවුන් දැනුම්දුන්නේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය පහසුකම් සියල්ල ලබාදීමට කටයුතු කරන බවටය. පැය භාගයක පමණ කාලයක් ඔවුන් සුහදව කතා බහ කළ අතර සාගල රන්ජන්ට කීවේ ජනාධිපති සමාව ගැන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බවයි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment