නිධන්ගත තුවාල සුව කරන ගස්ලබු සහ මී පැණි ප්‍රතිකාර

542

හිඟන්නාගේ තුවාලය වගේ යැයි පවසන තුවාල වර්ග ද අපට ඇති වේ. එවැනි තුවාල සුවවීමට කල් ගත වේ. එනම් දින 30කට පමණ වැඩි කාලයක් ගත වේ. එසේ සුවවීමට කල් ගතවන තුවාල සඳහා නිධන්ගත තුවාල යැයි වෛද්‍ය විද්‍යාවේදී පවසනු ලබයි. (Cronic wounds) මෙවැනි තුවාල සුව කිරීම සඳහා ගස්ලබු සහ මී පැණි භාවිතය ඉතා සාර්ථක වී ඇත.මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේදී විද්‍යාත්මකව පරීක්‍ෂණ මගින් භාවිතයට සුදුසු යැයි තහවුරු කර තිබේ.

තුවාලයක් සුව වන අයුරු

අපගේ සිරුරේ බාහිරින් ඇතිවූ තුවාලයක් සුව වීම සිදුවන ආකාරය අදියර හතරකට වෙන්කර දැක්විය හැකිය. ලේ ගලන අවස්ථාව (Haemorrhagic) තුවාලයේ ඇති අපද්‍රව්‍ය සුද්ධ වන අවස්ථාව (Inflamation) තුවාලය හොඳ වන අවස්ථාව (Poliferation) සහ තුවාලයේ කැලැල්වලින් වැසී යන අවස්ථාව (Maturation) ලෙස එය බටහිර වෛද්‍ය විද්‍යාවේදී බෙදා වෙන් කර ඇත.

නමුත් නිධන්ගත තුවාලයකදී එහි අපද්‍රව්‍ය සුද්ධ වන අවස්ථාවෙන් ඉදිරියට ගමන් නොකරයි.

නිධන්ගත තුවාල

සිරුරේ බාහිරින් හටගත් තුවාලයක් එහි ස්වභාවය අනුව සුවවීම ගතවන කාලය වෙනස් වේ. ඉතා කුඩා තුවාලයක් සතියක් පමණ කාලයකදී සුව විය හැකිය. ඊට වඩා විශාල තුවාලයක් සති දෙකක් පමණ කාලයක් ගතවිය හැකිය. කෙසේ හෝ සාමාන්‍යයෙන් තුවාලයක් සුවවීම දින 25ත් 30ත් අතර කාලයකදී සිදු වේ. ඇතැම් තුවාල සුවවීම සෙමින් සිදුවන අතර එවිට දින 30ට වඩා වැඩි කාලයක් ගතවිය හැකිය. නමුත් නිධන්ගත තුවාල යනු එය අපද්‍රව්‍ය සුද්ධ වන අවස්ථාවෙන් ඉදිරියට ගමන් නොකර එම මට්ටමේම පැවතීමය. එවැනි තුවාල සුව කිරීම ගස්ලබු සහ මී පැණි භාවිතය මගින් ඉතා සාර්ථකව සිදුකළ හැකි බව තහවුරු වී ඇත.

ගස්ලබු ප්‍රතිකාරය

සුව නොවන තුවාලයක කුණු කැපී යන ගුණයක් ගස්ලබු වල ඇත. එහි ඇති එන්සයිමයකට (Protiolytic Enzyme) තුවාලය සුව නොවීමට බලපා ඇති කුණු විනාශ කිරීමේ හැකියාව තිබේ. එසේම ප්‍රෝටීන දිරවීමේ හැකියාවක් ද පවතී. එබැවින් ගස්ලබු ගෙඩියක් හොඳින් පිරිසිදු කර විෂ හරණයට ලක්කර එහි ඇති කිරිත් සමග හොඳින් අඹරාගෙන ගුලියක් ලෙස සාදා තුවාලයට ආලේප කරනු ලබයි. එය නිසි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරමින් සිදුකරනු ලබයි. මෙම ප්‍රතිකාරය මගින් තුවාලය වටා ඇති කුණු වී ගොස් තිබෙන මස්, විෂබීජ, තුවාලය මත බැඳී ඇති පටල ආදිය විනාශ කළ හැකිය.

මී පැණි ප්‍රතිකාරය

තුවාලයක විෂබීජ වර්ධනය වීම නතර කිරීමේ හැකියාව මී පැණිවල ඇති බව තහවුරු වී ඇත. (Bacteriostatic) එසේම එහි ඇති ආම්ලික බවද තුවාල සුවවීමට හිතකර බව හඳුනාගෙන තිබේ. තුවාලය ඉක්මනින් සුවවීම සඳහා අවශ්‍ය සෛල වර්ධනය කිරීමේ හැකියාව මී පැණිවල ඇත.

මෙම ගස්ලබු සහ මී පැණි ප්‍රතිකාරය මගින් ශ්‍රී ලංකාවේ ද රෝගීන් රැසකගේ නිධන්ගත රෝග සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමට හැකිව තිබේ. එබැවින් එය සෑම රෝහලකම ප්‍රතිකාර සඳහා භාවිත කළ හැකි නම් එය නිධන්ගත තුවාල සහිත රෝගීන්ට විශාල සහනයක් වනු ඇත. ගස්ලබු සහ මී පැණි සහිත ඖෂධ වර්ග නිපදවා බටහිර රටවල තුවාල සඳහා ප්‍රතිකාර ලෙස බහුලව යොදාගනු ලබයි.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0778899021 ඇමැතිය හැකිය.

නිධන්ගත තුවාල සුව කරන ගස්ලබු සහ මී පැණි ප්‍රතිකාර

තුවාල ප්‍රතිකාර සම්බන්ධ
පශ්චාත් උපාධිධාරී
වෛද්‍ය ගයාන් ජයකොඩි
(MBBS, MSC)
වුන්ඩි වුන්ඩ් ඉනෝවේෂන්,
තුවාල ප්‍රතිකාර මධ්‍යස්ථානය,
රද්දොළුගම.


advertistmentadvertistment
advertistmentadvertistment