නොරොච්චෝලේ නතර කළ යන්ත්‍රය 7දා යළි පණ ගන්වයි

72

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ නතර කර තිබෙන දෙවැනි යන්ත්‍රයද ලබන 07 වැනිදා සිට ක්‍රියාත්මක කර ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක් ලබාදීමට කටයුතු කරන බව එම බලාගාර ඉංජිනේරුවෝ පවසති.

දැනට බලාගාරයේ යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක කර ඉන් නිපදවන මෙගාවොට් 540 ක් ජාතික පද්ධතියට එක්කර තිබෙන අතර අනික් යන්ත්‍රයද 07 වැනිදා ක්‍රියාත්මක කර ඉන් නිපදවන මෙගාවොට් 270 ක ප්‍රමාණයද ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතය. මෙමගින් නිපදවන මෙගාවොට් 90 ක් බලාගාරයේ අවශ්‍යතා සඳහා රඳවා ගනී.

බලාගාරයේ යන්ත්‍ර දෙක සඳහා ජනවාරි 08 වැනිදා තෙක් ගල්අඟුරු සංචිත පවතින අතර ජනවාරි 05 වැනිදා බලාගාරයට ලැබෙන මෙටි්‍රක් ටොන් 60,000 ක ප්‍රමාණය ගොඩබෑමෙන් පසු නතර කර තිබෙන යන්ත්‍රයද ක්‍රියාත්මක කිරීමට බලාගාර ඉංජිනේරුවෝ කටයුතු කරමින් සිටිති.

යන්ත්‍ර තුනට දිනකට ගල් අඟුරු මෙටි්‍රක් ටොන් 7500 ක් අවශ්‍ය අතර 05 වැනිදා පැමිණෙන නැවෙන් දිනකට මෙටි්‍රක් ටොන් 12,000ට වැඩි ප්‍රමාණයක් ගොඩබාන නිසා ගල් අඟුරු යන්ත්‍රවලට දැමීමට ගැටලු මතුනොවන බවද එම ඉංජිනේරුවෝ පවසති.

ලබන අප්‍රේල් මැදවනවිට එළඹීමට නියමිත වාරකන් කාලයට පෙර ගල් අඟුරු නැව් 33 ක් ගෙන්වා ගතයුතු බවත් කී එම ඉංජිනේරුවෝ ජනවාරි 08, 12, 17 වැනි දිනවලද ගල් අඟුරු නැව් පැමිණීමට නියමිත බවත් වාරකන් කාලයට පෙර ගල් අඟුරු නැව් 02 ක් 03 ක් නොරච්චෝල බලාගාරයට ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් එම නැව් ත්‍රිකුණාමලය වරායට ගෙන්වා ගල්අඟුරු ගොඩබා නොරච්චෝල බලාගාරයට සපයා ගැනීමට අදහස් කරන බවත් පැවසූහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment