ඇප ලැබී දවස් පහෙන් කංජිපානි පනී – හින්දු පුවත්පත හෙළි කරයි

297

සෝදිසියෙන් ඉන්නැයි තමිල්නාඩු වෙරළබඩ පොලිසිවලට දන්වයි

කුප්‍රකට පාතාල කල්ලි නායක ‘කංජිපානි ඉම්රාන්’ ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට ඇතුළු වී ඇති බව හින්දු පුවත්පත අනාවරණය කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ‘කංජිපානි ඉම්රාන් ’ රාමේෂ්වරම් වෙත ඇතුළු වූ බවට තමිල්නාඩු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. තමිල්නාඩුවේ වෙරළබඩ දිස්ත්‍රික්කවල පොලිසිවලට මේ පිළිබඳව සෝදිසියෙන් සිටින ලෙස ද නිවේදන නිකුත් කර තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කංජිපානි ඉම්රාන්ට ඇප ලබා දී තිබුණේ පසුගිය දෙසැම්බර් 20 වැනිදාය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව පොලිස් නිලධාරියකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. කෙසේ වෙතත් පසුව පොලිසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනා ආපසු හරවා දණ්ඩ නීති සංග්‍රහය යටතේ මේ පාතාල නායකයාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

මිනීමැරුම් සහ සාපරාධී බිය ගැන්වීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අවශ්‍යව සිටි කංජිපානි ඉම්රාන් 2019 වසරේ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන දිවයිනට පිටුවහල් කරන ලදී. මොහුගේ සැබෑ නම මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් වේ.

හින්දු පුවත්පත පවසන්නේ කංජිපානි දෙසැම්බර් 25 වැනිදා මුහුදු මාර්ගයෙන් රාමනාතපුරම් දිස්ත්‍රික්කය වෙත ගොස් ඇති බවය. ඇප ලැබී දවස් 5න් කංජිපානි ඉන්දියාවට ගොස් තිබේ. මොහු ඇප ලබා අධිකරණයෙන් පිටව ගොස් කෙළින්ම තලෙයිමන්නාරමට ගොස් ඇති අතර එහිදී ඔහුගේ සහචරයින් විසින් ඉන්දියාවට යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment