විසුරුවා ඇති පළාත් සභාවල ඇතැම් ආණ්ඩුකාරවරු හා නිලධාරීන් ඉහගෙනම කාලා

172

විදුලි – ජල බිල් හා ගෑසුත් පළාත් සභා අරමුදලින් අරන්

විසුරුවාහැර තිබෙන පළාත් සභාවල ඇතැම් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්, ඔවුන්ට රජයෙන් ලබාදී තිබෙන ිනිවාසවල විදුලි බිල, ජල බිල පමණක් නොව ඉවුම් පිහුම් සඳහා භාවිත කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට ද පළාත් සභා අරමුදල් වැය කරන බව රජයේ විගණනයේදී තහවුරු වී තිබේ.

ඌව පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා, පළාත් ලේකම් සහ අනෙකුත් ආයතන ප්‍රධානීන් 2019 සිට 2022 ඔක්තෝබර් මාසය දක්වා කාලයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර 76 ක් සඳහා රුපියල් එක්ලක්ෂ හැටතුන් දහස් නවසිය අනූවක මුදලක් පළාත් සභා අරමුදලින් ගෙවා ඇත.

රජයෙන් අදාළ නිලධාරීන් වෙත නිවසක් නොමිලේ ලබාදී තිබුණත් එහි උපකරණ, විදුලි බිල, ජල හා අනෙකුත් සියලු දේවල් අතින් මුදල් ගෙවා මිලදී ගත යුතුය. එසේ වුණත් රජයේ මැති ඇමැතිවරුන් මෙන් විදුලි, ජල හා ගෑස් සිලින්ඩර පවා රජයේ මුදල්වලින් ලබාගැනීමට ඇතැම් ආණ්ඩුකාරවරුන්, පළාත් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් කටයුතු කර ඇතැයි ද විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව ඌව පළාත් සභාව පමණක් 2019 වසරේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර 14 ක් සඳහා රුපියල් 25104 ක්, 2020 වසරේ සිලින්ඩර 18 ක් සඳහා රුපියල් 28,404 ක මුදලක් ද, 2021 සිලින්ඩර 30 ක් සඳහා රුපියල් 58,838 ක් ද, 2020 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලයේදී සිලින්ඩර 14 ක් සඳහා රුපියල් 51,644 ක මුදලක් ද ගෙවා ඇත.

එම පළාත් සභාවට 2019 වසරේ විදුලි බිල් රුපියල් දෙලක්ෂ විසිඑක්දහස් අටසිය විසිදෙකක් ද, 2020 වසරේදී රුපියල් හයලක්ෂ තිස්එක් දහස් හාරසිය තිස්හයක් ද, 2021 දී රුපියල් පන්ලක්ෂ අනූඑක්දහස් පන්සිය හැත්තෑතුනක් ද, 2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලයේදී රුපියල් තුන්ලක්ෂ දහසය දහස් හැටඑකක් ද රජයේ මුදලින් ගෙවා දමා ඇත. ඒ අනුව එම වසර හතරේදී විදුලි බිල් ලෙස රජයේ මුදල් දාහත්ලක්ෂ හැට දහස් අටසිය අනූදෙකක මුදලක් වැයකර ඇත. ජල බිල්පත් ගෙවීම් ද ඒ ආකාරයටම සිදුකර ඇතැයි විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment