බාල පාසල් උපකරණවල පිළිකා කාරක රසායනික!

278

තවත් තොරතුරු රැසක් එළියට – පීනස, දද වැනි රෝගත්
රිජ්වේ ළමා රෝහලේ තත්ත්ව පාලන අංශයේ ප්‍රධාන වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි
නැවත නැවත භාවිතය සඳහා ආහාරපාන ඇසිරීම සඳහා භාවිතයට ගන්න ඕනේ අංක 05 සඳහන් ප්ලාස්ටික් වර්ග පමණයි

ප්‍රමිතියෙන් තොර ආනයනික පාසල් උපකරණ භාවිතයෙන් දරුවන් බරපතළ සෞඛ්‍ය අවදානමකට ලක්විය හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්ව පාලන අංශයේ ප්‍රධාන වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙරටට ආනයනය කරන ලද බාල තත්ත්වයේ පැන්සල්, පාට පැන්සල්, ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි සම්බන්ධව පවතින ගුණාත්මක භාවයේ ගැටලු පිළිබඳව දෙමාපියන්ගෙන් පැමිණිලි ලැබීමත් සමඟ මේ පිළිබඳ සොයා බැලීමේදී මෙම කරුණු අනාවරණය වූ බවයි. පසුගිය 16 දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි මහතා මේ බව පැවැසීය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවැසීය.

බාල පාසල් උපකරණවල පිළිකා කාරක රසායනික!

ආනයනික ප්‍රමිතියෙන් තොර පැන්සල් සහ පාට පැන්සල්වල මතුපිට ආලේප කරලා තියෙන වර්ණවල බැර ලෝහ අඩංගු වෙන්න පුළුවන්. දරුවන් සම්බන්ධ අන්තර්ජාතික ප්‍රමිතියක් තිබෙනවා EN71-3 කියලා. දරුවන් භාවිත කරන සෙල්ලම් බඩු වගේම පැන්සල් හා පාට පැන්සල් වැනි උපකරණවල මතුපිට වර්ණ ගැන්වීමේදී මේ ප්‍රමිතියට අනුකූල විය යුතුයි. නමුත් මේ නමක් ගමක් සඳහන් නැති බාල තත්ත්වයේ ආනයනික පැන්සල් සහ පාට පැන්සල් මේ ප්‍රමිතීන් අනුව හදනවා කියලා අපිට විශ්වාස කරන්න බෑ. ඒ නිසා මේවා භාවිතා කරන පොඩි දරුවන්ගේ සිරුරට අහිතකර බැර ලෝහ ඇතුල් වෙන්න පුළුවන්. ළමයි පැන්සල් කටේ ගහනවා. නැත්නම් හපනවා. මේක විශාල අවදානමක්.

ප්ලාස්ටික් සම්බන්ධ අන්තර්ජාතික ප්‍රමිතීන් අනුව භාවිතයට සුදුසු ප්ලාස්ටික් ශ්‍රේණිගත කර ඇති අතර ඒවා 01, 02, 04 සහ 05 ලෙස නම් කර තිබෙන බව වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි මහතා කියයි. ඒ අතුරින් ප්ලාස්ටික් වතුර බෝතල් සහ ප්ලාස්ටික් කෑම පෙට්ටි වැනි නැවත නැවත භාවිතයට ආහාරපාන ඇසිරීම සඳහා සුදුසු වන්නේ අංක 05 ලෙස සඳහන් ප්ලාස්ටික් බව පවසන වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ පිටත පතුල මත අංක 05 සඳහන් කර ඇති ඝණකමකින් යුත් ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි පමණක් දරුවන්ගේ භාවිතයට ලබාදෙන ලෙසයි.

ඇතැම් ප්ලාස්ටික් වර්ගවල බීස්ෆීනෝල් ඒ (BPA) නම් පිළිකා කාරක රසායනිකය අඩංගු වෙනවා. මෙය පිළිකා කාරකයක් වගේම දිගු කලක් මෙය අඩංගු ප්ලාස්ටික් භාජන භාවිතයේදී පීනස, හතිය සහ සම මතුපිට දද වැනි රෝග තත්ත්වයන් දරුවන්ට වැළඳෙන්න පුළුවන්. මෙම රසායනිකය අඩංගු නොමැති ප්ලාස්ටික් තමයි භාවිතයට සුදුසු ප්ලාස්ටික් හැටියට නම් කරලා තියෙන්නේ. එක් වරක් පමණක් භාවිතා කරන වතුර බෝතල්, සීත කළ බීම වර්ග වැනි විවිධ තත්ත්වයන් යටතේ වන ආහාරපාන ඇසිරීමට මෙම භාවිතයට සුදුසු ප්ලාස්ටික් වල විවිධ අංක සඳහන් කාණ්ඩ නම් කරලා තිබෙනවා. ඒ අතුරින් නැවත නැවත භාවිතය සඳහා ආහාරපාන ඇසිරීම සඳහා භාවිතයට ගන්න ඕනේ අංක 05 සඳහන් ප්ලාස්ටික් වර්ග පමණයි. ඒ නිසා පොඩි ලාභය ගැන හිතලා වෙළෙඳ පොළේ තියෙන ආනයනික ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් උපකරණ මිලදී නොගෙන ගුණත්වයකින් යුත් පිළිගත් නිෂ්පාදන මිලදී ගන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර දිවයින පුරා අලෙවි කරනු ලබන ආනයනික පාසල් උපකරණ වල අඩු ප්‍රමිතිය නිසා මේ රටේ පාසල් සිසුන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බව සිය සංවිධානය විසින් වෙළෙදපොළ තුළ සිදුකරන ලද නිරීක්‍ෂණයකින් තහවුරු වූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවැසීය. ඒ අනුව සිය සංවිධානයට නිරීක්‍ෂණය වූයේ තත්ත්වයෙන් බාල පාසල් උපකරණ චීනය වැනි රටවලින් ආනයනය කර ඉතා වැඩි ලාභයක් උපයමින් මෙන්ම තත්ත්වයෙන් උසස් පාසල් උපකරණවලට වඩා අඩු මිලක් යටතේ අලෙවි කිරීම මේ වන විට ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවයි.

පිටකොටුව ආශ්‍රිතව පාසල් උපකරණ තොග මිලට අලෙවි කරන වෙළෙඳුන් විසින් අලෙවි කරන ඉතා ආකර්ෂණීය නිමාවකින් යුත් මේ පාසල් උපකරණ නියමිත ප්‍රමිතීන්ට අනුව නිපදවනු ලබන්නේ නැති නිසා දරුවන් විශාල සෞඛ්‍ය අවදානමකට ලක්වෙනවා පමණක් නොව එය දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වයටද බලපාන බවද ඔහු කීය.

මේ වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන බාල වතුර බෝතල් සහ කෑම පෙට්ටි මෙම ප්‍රමිතීන්ට අනුකූල නැති නිසා ඒවායේ අංක සඳහන් කර නැත. එසේම ඇතැම් නිෂ්පාදන එම අංක සඳහන්ව ඇතත් ඒවා පරීක්‍ෂා කිරීමේදී පැහැදිලිව පෙනී යන කාරණය නම් ඒවා ව්‍යාජව යෙදූ අංක බවය. අදාළ නිෂ්පාදනවල ඝනත්වය දෙස බැලීමේදී ඒ බව තහවුරු වන බවද ඔහු කීය.

වෙළෙඳ උපක්‍රම ලෙස අලෙවියට තබා ඇති ඉතා ආකර්ෂණීය වතුර බෝතල් සහ කෑම පෙට්ටි 3 ක් මිලදී ගත්විට එකක් නොමිලේ ලැබෙන බව සඳහන් කර ඇත. හොදම දේ දරුවන්ට කියා උදේ හවස ප්‍රකාශ නිකත් කළද ශ්‍රී ලංකාවේ දරුවන් භාවිත කරන පාසල් උපකරරණ වල ප්‍රමිතිය නියාමනය කිරීමට කිසිදු ආයතනයක් නැත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මේ සම්බන්ධව කිසිදු ප්‍රමිතියක් හඳුන්වාදී නැති බවද ඔහු කීය.

advertistmentadvertistment
advertistmentadvertistment