සේවක විරෝධය අතරේ පොලිස් රැකවල් මැද මගනැගුම ලොක්කෝ ගෙදර යති

192

මාස තුනක් තිස්සේ මගනැගුම සේවකයන් කළ උද්ඝෝෂණයකින් පසු මගනැගුම සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂවරයාට තනතුරු අතහැර පොලිස් ආරක්ෂාව මැද ආයතනයෙන් පිටවී යෑමට සිදුවීමේ පුවතක් පෑලියගොඩ මගනැගුම කාර්යාලයෙන් වාර්තා වේ.

පෑලියගොඩ නුගේපාරේ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ මගනැගුම ප්‍රධාන කාර්යාලයේ සේවකයන්ගේ හඬට කන්නොදී තම හිතුමතේ ආයතනයේ පාලනය ගෙනගිය සභාපතිට සහ විධායක අධ්‍යක්ෂට ඉවත්වන ලෙස ඉල්ලා ආයතනයේ වෘත්තීය සමිති නියෝජිතයන් සහ සේවක සේවිකාවන් හයසියයක් පමණ ඊයේ (02 දා) උදෑසන සිදුකළ විරෝධතාවෙන් පසු සිය නිල කාමරවලට කොටුවී සිටි ඔවුන් දෙදෙනා පෑලියගොඩ පොලිසියේ ආරක්ෂාව මැද පිටතට රැගෙන විත් ආයතනයෙන් පිටතට යෑමට සලස්වා ඇත.

නව වසරේ මුලින්ම සේවයට පැමිණි සේවකයන් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව කිරිබත් පිළිගන්වා වැඩ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර එදින උදෑසන ආයතනයේ ප්‍රධාන පිවිසුම් දොරටුවේ තිබූ දැන්වීම් පුවරුවකින් රියැදුරන්ට නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස දන්වා තිබීම නිසා මෙම විරෝධතාව හටගෙන ඇත.

සේවක උද්ඝෝෂණය ඉතා උණුසුම් වූ බැවින් සභාපතිවරයා සහ විධායක අධ්‍යක්ෂවරයා සිය කාර්යාලවලින් ඉවත් කිරීමට පොලිසියට මැදිහත් වීමට සිදුවිය. පොලිස් ආරක්ෂාව මැද මඳ වේලාවකින් ඔවුන් නිලකාමරවලින් පිටතට පැමිණ වාහනවලට ගොඩවූ අතර සේවකයෝ රතිඤ්ඤා දල්වමින් සතුට පළ කළහ.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. වයි. ක්‍රිෂාන්ත සහ සහකාර පොලිස් අධිකාරි මහින්ද විල්ලෝරාරච්චි යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තත්ත්වය පාලනය කිරීමට මගනැගුම භූමියට පැමිණ සිටියහ.

වෘත්තීය සමිති පහක් මෙම ආයතනයේ ක්‍රියාත්මකව ඇතැයි ද වසර 18ක දීර්ඝ ඉතිහාසයක් ඇති ආයතනයක් මාර්ග සංවර්ධනය ගැන දැනුමක් නොමැති, දේශපාලන පත්වීම් මත ඉහළ පුටුවලට පත්වූ ඉහළ නිලධාරීන්ගේ අභිමතය පරිදි කඩා බිඳ දැමීමට ඉඩ නොදෙන බව ද සේවකයෝ පවසති. ඉතාම පහත් අන්දමින් මාස දෙකහමාරකට අධික කාලයක් ආයතනයේ පාලනය ගෙනගිය මෙම නිලධාරීන් දෙදෙනා දිනපතා සේවකයන් දහදෙනකු පමණ සේවයෙන් නෙරපා හැරිය බව ද වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් ඇති නිලධාරීන් දෙදෙනකු මේ සඳහා එවන ලෙස ඔවූහු විෂයභාර ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිති.
කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment