ලොව උසම සුසාන භූමියේදී අද අවසන් ගමන යන පාපන්දුවේ උසස් මිනිසා

700

බ්‍රසීලයේ ජාතික වස්තුවක් සේ සැළකෙන ලොව ප්‍රකට ප්‍රවීණ පාපන්දු ක්‍රීඩකයකු වන “පේලේ” ගේ අවසන් කටයුතු අද (03දා) ඔහු උපන් නගරය වන බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේ ‘සැන්ටොස්’ නගරයේ පිහිටි ලොව උසම සිරස් සුසාන භූමිය සේ සැළකෙන මහල් 32කින් සමන්විත “නෙක්‍රෝපෝල් එකුමෙනිකා” සුසාන භූමියේ 09 වැනි මහලේදි පේලේ ගේ අවසන් කැමැත්ත මත සිදු කිරීමට නියමිතය.

මහාන්ත්‍රයේ හටගත් පිළිකාවකින් පීඩා විඳිමින් සිටියදී ඉකුත් බ්‍රහස්පතින්දා (29දා) සිය දිවියෙන් සමුගත් 82 හැවිරිදි පේලේගේ දේහය ඊයේ (02දා) සිට සැන්ටොස් නගරයේ පිහිටි ඔහු වැඩි කාලයක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ ‘ලා බෙල්මයිරෝ ඩි සැන්ටොස්’ ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද තාවකාලික ශාලාවක් තුළ මහජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කිරීමට නියමිතව තිබූ අතර පැය 24ක කාලයක් එහි දේහය තැබීමෙන් අනතුරුව අද උදෑසන දේහය රිය පෙරහැරකින් සැන්ටොස් නගරයේ වීථි ඔස්සේ පේලේට සිදු කරන ගෞරවයක් වශයෙන් සැරිසැරීමට නියමිතය. මෙහිදී දේහය රැගත් රථ පෙරහැර පේලේ ගේ වයස අවුරුදු 100ක් වයසැති මව වාසය කරන නිවෙස ඉදිරිපසින්ද ගමන් කිරීමට නියමිතව ඇති අතර අනතුරුව පවුලේ සමීපතම ඥාතීන් පමණක් සහභාගි වන අවමඟුල් උත්සවයකදී අද දිනයේ භූමදානය කිරීමට නියමිතය. පේලේ ගේ දේහය ‘ලා බෙල්මයිරෝ ඩි සැන්ටොස්’ ක්‍රීඩාංගණයේ තැන්පත් කිරීමෙන් පසු ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනකායක් පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පේලේ සිය අවසන් කටයුතු සිදු කරන ස්ථානය තෝරා ගැනීම සඳහා දිගු කාලයක් ගත කර ඇති බවටද මේ වන විට තොරතුරු වාර්තා වී තිබේ. පේලේ ගේ දේහය තැන්පත් කර ඇති මිනී පෙට්ටිය රන් පැහැයෙන් යුතු වන බවටත් එම පෙට්ටියේ ඔහුගේ ඡායාරූප මුද්‍රණය කර ඇති බවත් නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කර තිබේ. පේලේ ගේ අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය අවසන් මොහොත දක්වාම රහසක් වශයෙන් තබා ගැනීමට සංවිධායකයන් විසින් තීරණය කර තිබීම හේතුවෙන් ඔහුගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් ලොව ප්‍රධාන මාධ්‍ය ආයතනවලට පවා බොහෝ තොරතුරු ඊයේ වන විටත් වාර්තා වී නොතිබිණි. පේලේ ගේ දේහය රැගත් මිනී පෙට්ටිය සැන්ටොස් නගරයේ ඔහුගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩාංගණයේ තැන්පත් කෙරෙනුයේ ඔහුට ස්වර්ගයේ සිට සිය ප්‍රියතම පාපන්දු ක්‍රීඩාංගණය හොඳින් දර්ශනය වීම සඳහා බව අවමඟුල් සංවිධායක කමිටුවේ සාමාජිකයෝ පවසා තිබේ.

එඩ්සන් ආරන්ටෙස් ඩෝ නසිමෙන්ටෝ නමින් උපත ලබා ලොව ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා මෙන්ම 20වැනි ශත වර්ෂයේ ක්‍රීඩකයා වශයෙන් සම්මානයෙන් පිදුම් ලැබූ පේලේ ගේ පියා වන ජොයාඕ රාමෝස් ඩෝ නසිමෙන්ටෝ ද බ්‍රසීලයේ ප්‍රකට පාපන්දු සමාජවලට ක්‍රීඩා කළ ජනප්‍රිය ක්‍රීඩකයකු වූ අතර ඔහුව හැඳින්වීමට යෙදු අන්වර්ථ නාමය වූයේ “ඩොන්ඩිනෝ” ය. ඩොන්ඩිනෝ පේලේ ගේ පාපන්දු දිවියේ මුල් පුහුණුකරු මෙන්ම මගපෙන්වන්නා ද විය. පේලේ ගේ මව වන සෙලෙස්ටෙ ආරන්ටෙස් සිය 100 වැනි ජන්ම දිනය මෑතකදී සමරා ඇත්තේ පේලේ ගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයකදීය. පේලේ එම උපන්දින උත්සවයේ සිය මව සමග පෙනී සිටි ඡායාරූප ඔහුගේ ‘ඉන්ස්ටග්‍රැම්’ සමාජ මාධ්‍ය ජාලයේ පිටුවෙහි පළ කර තිබිණි. පේලේ ගේ මවගේ මතක ශක්තිය මේ වන විට පිරිහී ගොස් ඇති නිසා ඇය තම පුත්‍රයා මියගොස් ඇති බව හෝ තවමත් නොදනී. බ්‍රසීලයේ ජාතික වස්තුවක් සේ සැළකෙන පේලේ ගේ අභාවය නිමිත්තෙන් ඉකුත් සිකුරාදා සිට ඉරිදා දක්වා දින තුනක ජාතික ශෝක දිනයක් බ්‍රසීල රජය විසින් ප්‍රකාශයට පත් කර තිබිණි. පේලේ ගේ අවසන් කටයුතු දින කිහිපයක් ප්‍රමාද කිරීමට හේතු වී ඇත්තේ බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වී සිටින ලුලා දී සිල්වා සිය ධුරයේ වැඩ භාර ගැනීමේ උත්සවය පෙරේදා (01දා) දිනයේ යෙදී තිබීම හේතුවෙනි. අද දිනයේ සිය අවසන් ගමන් යන පේලේ ගේ අභාවය බ්‍රසීල ජනතාවගේ හදවතින් කොටසක් අහිමි වීමක් ලෙස බ්‍රසීල මාධ්‍ය විසින් හඳුන්වා දී තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment