ශ්‍රී ලංකාවේ මූල්‍ය පාලනයේ සහ කළමනාකරණයේ දුර්වලතා රැසක් – IMF කොන්දේසි සිහිකරයි

495

වාර්තාව ගැන රජය ගැඹුරින් සිතනවා – මුදල් රාජ්‍ය ඇමැති

ශ්‍රී ලංකාව තවදුරටත් දැඩි ආර්ථික, සමාජීය සහ පාලන අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඉකුත්දා මෙරට තුළ සිදුකළ සංචාරයෙන් පසු නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛත්වය ලබාදී ඉටුකළ යුතු කරුණු රැසක්ද පෙන්වා දෙමින් මෙම විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබේ. මෙරට මූල්‍ය පාලනයේ සහ කළමනාකරණයේ දුර්වලතා රැසක් ද මෙම වාර්තාව මගින් පෙන්වා දී තිබීම විශේෂත්වයකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට අනුමත කළ අමෙරිකානු ඩොලර් බිලියන 3 ක විස්තීර්ණ අරමුදල් පහසුකමේ පළමු වාරිකය සම්බන්ධයෙන් වූ ඇගයීම් කටයුතු සඳහා එහි නියෝජිත පිරිස පසුගිය 14 දා දිවයිනට පැමිණියහ. ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සමාලෝචනය සඳහා එම නියෝජිත පිරිස දින 12 ක් මෙරට රැඳී සිටිමින් පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එම සාකච්ඡා අවසානයේ ඉකුත් 27 දා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූහ.

එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් ප්‍රධානී පීටර් බෘවර් සඳහන් කළේ, මෙරට ආදායම් එක්රැස් කිරීමේ හිඟයක් පවතින අතර විස්තීරණ ණය මුදලේ දෙවැනි වාරිකය නිකුත් කිරීම ගැන නිශ්චිත කාලරාමුවක් නොමැති බවය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය ලබාදීම සහ පාලනයේ විශ්ලේෂණාත්මක ඇගයීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති මෙම නව වාර්තාවේ මෙරට මූල්‍ය පාලනයේ සහ කළමනාකරණයේ දුර්වලතා රැසක් පෙන්වා දී තිබේ. එහි දක්වා ඇති ප්‍රධාන දුර්වලතාව වන්නේ අයවැය මඟින් ඇස්තමේන්තු කර ඇති ආදායම් එක්රැස් කිරීමට නොහැකි වීමයි.

එමෙන්ම වියදම් සීමාවන්ද ඉක්මවා යෑම හේතුවෙන් අයවැය පිළිබඳ විශ්වාසනීයත්වය බිඳවැටෙන බවද එම වාර්තාව මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.

2014 වසරේ සිට සෑම වසරකම මෙරට ආදායම් ඉලක්ක සැබෑ ආදායම් එක්රැස්කිරීමට වඩා සියයට 16.9 ක ඉහළ සාමාන්‍යයකින් යුක්ත වන බව මෙම වාර්තාවේ සඳහන් වේ. එසේම 2019, 2020 සහ 2022 වර්ෂවල අයවැයෙන් ඇස්තමේන්තුගත වියදම සියයට 6.3 ක සාමාන්‍යයකින් ඉක්මවා ඇති බවද මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත.

මෙලෙස අයවැය පරතරයේ ඉලක්ක සපුරාගත නොහැකිවීම දැවැන්ත ණය හිඟයකට හේතු වී ඇති බව මූල්‍ය අරමුදලේ වාර්තාවේ දැක්වේ.

අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ අයවැය විශ්වාසනීයත්වයකින් තොරවීම දූෂණ අවදානම ඉහළ නංවා ඇති අතර එම විශ්වාසනීයත්වය ඉහළ නැංවීම සඳහා නිසි ආදායම් පුරෝකතනයක් සිදුකළ හැකි මධ්‍යකාලීන මූල්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවය.

දැනට නිකුත්ව ඇති අයිඑම්එෆ් වාර්තාව ගැන රජය ගැඹුරු අධ්‍යයනයක් සිදුකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ශ්‍රී ලංකාව මුහුණ පා සිටි ආර්ථික අර්බුදය විසඳීම සඳහා වන වැඩපිළිවෙළකට රට අවතීර්ණ වී ඇති අවස්ථාවේ ලබාදුන් මෙම අයිඑම්එෆ් වාර්තාවේ ගැඹුරු කරුණු රැසක් පවතින බව ද මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය කියයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment