පාර්ලිමේන්තු එළියේ ගුටි කෙළියක්

629

සුජිත් මට පහර දුන්නා – ඩයනා

ඇය මට ගහන කොට වැළැක්වුවා – සුජිත්

සීසීටීවීවලින් ඇත්ත සොයාගන්න – කිරිඇල්ල

සමගි ජනබලවේගය මන්ත්‍රී සුජිත් පෙරේරා මහතා පාර්ලිමේන්තු පුස්තකාලය අසල ඇති විදුලි සෝපානය ආසන්නයේදී තමාට පහරදුන් බවට රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ඊයේ (20දා) මැතිසබයේදී කීවාය.

ඇය එම කරුණ කියනවිට මේ පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට නවත්වන ලෙස අගමැතිවරයා ඉල්ලීමක් කළේය.

ඩයනා ගමගේ මහත්මිය එහිදී මෙසේ කීවාය.

මම දැන් පුස්තකාලයේ විදුලි සෝපානය අසලට යනවිට කාන්තා හිංසනයක් සිදු වුණා. සුජිත් පෙරේරා කියන සජබ මන්ත්‍රීවරයා මට පහර දුන්නා. මේ පල්ලෙහා ලයිබ්‍රිය ඉදිරිපිටදී දැනට පැය එකහමාරකට පමණ පෙරදියි. මේ ගැන මට කථානායකතුමා මගින් පරීක්‍ෂණයක් කරන්න ඕනෑ. මම මේ මන්ත්‍රීවරයාට විරුද්ධව පියවරක් ගන්නවා. මේ සජබයේ මන්ත්‍රීවරුන්ට කාන්තාවන් සමග ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකට පහර දෙන්න පුළුවන් නම් මොන කාන්තාවන් ගැන ද සජබය කතා කරන්නේ. කාන්තා මන්ත්‍රීවරියක් වන මට මේ පාර්ලිමේන්තුව තුළ පහර දෙනවා නම් වෙන මොන කතා ද මේ ගැන අනිවාර්යයෙන් පරීක්‍ෂණයක් කරන්න ඕනෑ. මම මේකට විරුද්ධව පාරට බහිනවා.

අගමැති – මේ කියන බරපතළ කාරණාව ගැන කරුණු කියන්න විනාඩි 10කට පාර්ලිමේන්තුව අත්හිටුවන්න. මේ වගේ දෙයක් කවදාවත් වෙලා නෑ.

අනතුරුව විනාඩි 10කින් පසුව නැවත සභාව රැස්වූ අතර එහිදී විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා කියාසිටියේ පහරදීමක් කළ බවට කියන චෝදනාව ප්‍රතික්‍ෂේප කරන බවය.

පරුෂ වචනයෙන් බැණ වැදී එම සිදුවීම ආරම්භ කළේ කවුරුන් දැයි කියා වීඩියෝ දර්ශන ඔස්සේ සොයා බලන ලෙස ද ඔහු කීය.

එහිදී සුජිත් සංජය පෙරේරා මහතා – මෙහෙම කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ. පාර්ලිමේන්තුවෙන් පිටව යනවිට එතුමිය ඉතාමත් අසභ්‍ය වචනයෙන් අපේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා සමග විවාදයක් ඇතිකර ගෙන තිබුණා. ඉතින් ඒ වෙලාවේ මම කිව්වේ කරුණාකරලා මේ වගේ දේවල් කරන්න එපා කියලා. නමුත් එතුමිය ඒක ඇහුවේ නෑ. ඊට පස්සේ එතුමිය මට පහර දෙන්න උත්සාහ කළා. ඒ වෙලාවේ ඒ පහරදීම වැළැක්වීමට මා කටයුතු කළා. මේ ගැන සීසීටීවී බලලා පරීක්‍ෂණයක් කරන්න.

සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් කරන බව මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක පැවසීය.

රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා හා ඩයනා ගමගේ අතර පරුෂ වචනයෙන් බැණවැදීමක් සිදුව ඇති අතර ඩයනා ගමගේ මන්ත්‍රීවරිය රෝහණ බණ්ඩාර මහතාට කලිසම ගලවනවා කියමින් දිගින් දිගටම බැණ වදිද්දී සුජිත් සංජය මන්ත්‍රීවරයා ඇයට එලෙස කියන්න එපා කියද්දී මෙම සිද්ධිය වී ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවක සඳහන්ව තිබිණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment