ගැමි දරුවෝ වටගෙදරට උපහාර දක්වති

91

පුද්ගලයකුට උපහාර දක්වනුයේ ඔහුගෙන් කිසියම් ක්ෂේත්‍රයකට සිදු වී ඇති අතිමහත් කැපවීම හෝ සේවය අගය කිරීම වෙනුවෙනි. වර්තමානයේ පවත්වනු ලබන උපහාර පිදීම් පිළිබඳව සමාජය සැකයෙන් බලන තත්ත්වයට පත් වී ඇති අතර එසේ වී ඇත්තේ බොහෝවිට උපහාර ලැබීය යුතු අය පසෙක සිටිය දී වෙනත් අයට උපහාර පිදීම හේතුවෙනි.

රට වෙනුවෙන් උදාර සේවයක් කර ඇති විවිධ ක්ෂේත්‍රවල පිදිය යුත්තන් පිදීම වරදක් නොවේ. එහෙත් අද උපහාර දැක්වීම් දෙස සමාජය උදාසීනව බැලීමට පුරුදු වී තිබේ. එය සමාජයේ වරදක් නොවේ. බොහෝ උපහාර උත්සවවලට ජරාජීර්ණ වූ දේශපාලනය ඈඳා ගැනීම නිසා සමාජය ඒ දෙස වපර ඇසින් බැලීමට බොහෝ විට පුරුදු වී ඇත. තත්ත්වය එසේ වුවද නිර්ව්‍යාජ, අවංක, පිදිය යුත්තන් පීදීමේ උපහාර උත්සවද ඉඳහිට සංවිධානය වේ. අපගේ කථානායක සුගත් වටගෙදර මැතිඳුන්ට උපහාර පිදීමේ උත්සවය එවන්නකි. අවංකව කිවහොත් සුගත් වටගෙදර සාහිත්‍ය, කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයේ ඇගයීමට ලක්විය යුතු, එහෙත් අතහැර දමා තිබූ හෝ මඟ හැරුණු කලාකරුවෙකි.

මෙම තත්ත්වය ගැඹුරින් වටහා ගෙන ඒ පිළිබඳව සලකා බලා ඇති “ගැමි දරුවෝ” සංවිධානය තමන්ගේ සාමාජිකයෙකු වන සුගත් වටගෙදරට උපහාර පිදීමට ගත් තීරණය වෙසෙසින්ම අගය කළ යුතු වේ. උපහාර ලැබීමේ සුදුසුකම් ඕනෑවටත් වඩා තිබියදීත් හරි හැටි ඇගයීමකට ලක් නොවූ තම සාමාජිකයා වෙත උපහාර දැක්වීමට එම සංවිධානය තීරණය කිරීම කෙතරම් උදාර කටයුත්තක්ද? එම සංවිධානය මෙයට පෙර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, පරාක්‍රම නිරිඇල්ල, පුණ්‍යසේන ගුණසිංහ, රෝහණ බැද්දගේ, දයානන්ද ගුණවර්ධන, සෝමලතා සුභසිංහ, ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය හා ඩග්ලස් සිරිවර්ධන වැනි ප්‍රකට කලාකරුවන්ට බුහුමන් දක්වා තිබේ. ගැමිදරුවෝ සංවිධානය මෙවන් උපහාර පිදීමේ උත්සව සිදු කරන්නේ අතළොස්සක් වූ පිරිසක් මධ්‍යයේ නොවේ. ප්‍රේක්ෂකයන් පිරී ඉතිරී ගිය ශාලාවක වියතුන් සභා මැද ප්‍රබුද්ධ නාට්‍ය රංගගත කිරීම් මධ්‍යයේ ය. එවන් වූ පසුබිමක් මධ්‍යයේ උපහාර ලබද්දී ඉහත සඳහන් කළ කලාකරුවන් අදහාගත නොහැකි මට්ටමේ භාවාතිශය වී ඇති බව ගැමිදරුවෝ හි බොහෝ සාමාජිකයෝ පවසති.

එළඹෙන ඔක්තෝම්බර් 21 වැනි සෙනසුරාදා පස්වරු 6.00 ට කොළඹ හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේ දී සුගත් වටගෙදර උපහාර ලබන්නේ මහාචාර්ය මංගල සේනානායකගේ “සින්දුකාර කවි නළුව” වේදිකා මස්තකප්‍රාප්ත වීමට සමගාමීව ය. ලංකාවේ නාඩගම්, නූර්ති හා ටීටර්වල සංගීත විකාශය පිළිබඳ අර්ථපූර්ණ විග්‍රහයක් ඇතුළත් වන “සින්දුකාර කවි නළුව” නාට්‍ය ප්‍රේක්ෂකයන්/ රසිකයන් නැරඹියම යුතු අද්විතීය රංග කාර්යයකි.

සුගත්ට උපහාර පුද කරන “ගැමිදරුවෝ” සංවිධානය පිළිබඳවද යමක් ලිවිය යුතු ය. ගැමිදරුවෝ සංවිධානය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම් ලැබූවන් පිරිසක් මූලික වී පිහිටුවා ගත් සංවිධානයකි. මුල් කාලයේ එහි සාමාජිකත්වය පේරාදෙණි සරසවියෙන් බිහි වූ ශාස්ත්‍රධාරීන්ට පමණක් සීමා වී තිබුණ ද වර්තමානය වනවිට ස්වකීය සාමාජිකයන්ගේ දූ දරුවන් ද ඇතුළත්ව වෙනත් සරසවිවලින් බිහි වූ උපාධිධාරීන්ටද විවර වී තිබේ.

සාහිත්‍ය කලා සංස්කෘතික කටයුතු සුපෝෂණය කිරීම, අධ්‍යාපනය හදාරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අඟහිඟකම් සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යත්ව පිහිටුවීම, මිල මුදල් අපහසුතා ඇති රෝගී පිරිස් සඳහා බෙහෙත් ද්‍රව්‍ය හා උපකරණ ලබාදීම වැනි මාහැඟි සමාජ/ ආර්ථික කටයුතු ගැමිදරුවෝ සංවිධානය ඉටු කරති. ගැමිදරුවෝ සංවිධානයට මේ වනවිට අවුරුදු තිහකට වැඩි ඉතිහාසයක් තිබේ. මෙම කාල පරාසයේ දී ඔවුන් ශාස්ත්‍රීය සඟරා කිහිපයක්ද එළිදක්වා තිබේ. සුහද හමු, චාරිකා මෙන්ම මාසිකව හමුවී සංවිධානයේ අරමුණු මුදුන් පත්කර ගැනීම හා පවත්නා සමාජ, ආර්ථික, දේශපාලන වටපිටාව පිළිබඳවද සෘජුව මැදිහත් වෙමින් රට වෙනුවෙන් කර ඇති කාර්ය භාර්ය අපමණ ය. සරසවි ඇදුරන්, නීතිඥයන්, පරිපාලන ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන්, ලෝක හා දේශීය බැංකු නිලධාරීන්, පෞද්ගලික අංශයේ කටයුතු කරන්නන් මෙන්ම, සාමාන්‍ය රාජ්‍ය සේවයේ නිරතවූවන් ද ගැමිදරුවෝ සංවිධානයේ වෙති.

සුගත් වටගෙදර උපහාර ලබන්නේ එවැනි උදාර සංවිධානයකිනි. සුගත් උපදින්නේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ නාඳුගල ග්‍රාමසේවා වසමේ වටගෙදර නැමැති සුන්දර ගම්මානයේ ය. පාලටුව ගුණරතන මහා විද්‍යාලයෙන් ස්වකීය පාසල් අධ්‍යාපනය නිමකොට 1972 වසරේ දී පේරාදෙණිය සරසවියට පිවිසි සුගත් සමාජ අධ්‍යයන කවය, සිංහල සංගමය, නාට්‍ය සංගමය, ගාන්ධර්ව සභාව යන පේරාදෙණි සරසවියේ සමිති සාමගම්වල නිලතල දරමින් සරසවි ශිෂ්‍ය අවධියේ දීම සංස්කෘතික, කලා ප්‍රබෝධය වෙනුවෙන් විවිධ වූ අර්ථපූර්ණ ක්‍රියාකාරකම්වල නිරත වූ ශිෂ්‍යයෙකි. පේරාදෙණිය සරසවියේ දී සුගත් නාට්‍ය දෙකක් නිෂ්පාදනය කළේ ය. 1973 දී “කාන්තාරයේ දිය උල්පත්” සහ 1975 දී “හෙට උපදින රංකැටියා” නම් වූ එම නාට්‍ය ද්වය සරසවියේ අභ්‍යන්තර නාට්‍ය තරග සඳහා පේරාදෙණිය සරසවියේ සුඛාවතී නාට්‍ය ශාලාවේ වේදිකාගත වූවා අපට මතක ය. පසු කලෙක රටේ ප්‍රවීන පරිපාලන නිලධාරියකු වූ අශෝක පීරිස් මහතා ඇතුළු සරසවි සගයන් රංග කාර්ය සඳහා දායක වූ මෙම වේදිකා නාට්‍යවල සංගීත නිර්මාණය විශ්වවිද්‍යාලයේම මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහතා ගෙනි.

1976 වර්ෂයේ දී පැවති ශිෂ්‍ය නාට්‍ය තරගයට ඉදිරිපත් කළ නාට්‍ය 15ක් අතරින් දෙවැනි ස්ථානයට පත් අපගේ සමකාලීන සගයකු වූ සරත් වික්‍රමරත්න නිෂ්පාදනය කළ “කතරක කෙම්බිමක්” නාට්‍යය පේරාදෙණියේ සුප්‍රකට වලේ ප්‍රදර්ශනය කළ අවස්ථාවේ දී රංගධරයන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නයක් හේතුකොට ගෙන තවත් ශිෂ්‍ය පිරිසක් විසින් හූ සංග්‍රහයක් එල්ල කරන ලදී. එයට මැදිහත් වූවන්ට එම නාට්‍යයේ නළුවෝ ගුටි පූජාවක් දී තිබුණි. මේ පිළිබඳව ප්‍රවීන නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන් විසින් පේරාදෙණියේ “වල” පිළිබඳව ලියැවුණු ලේඛනයක ද සඳහන් කොට ඇත. පේරාදෙණි සරසවියේ සමකාලීනයකු වු සුගත් ගැන ලියැවෙද්දී අතීත රසබර සරසවි මතක වැල නොකැඩී ගලා එතත් සුගත් ගැන තව ලියන්නට ඕනෑ නිසා එම මතකවලට තිත තබමි.

විශ්වවිද්‍යාලයෙන් පිට වූ සුගත්ට ලේක්හවුසියේ සරසවිය පුවත්පතේ රැකියාව ලැබුණු අතර ඔහුට ලියන්නට ලැබුණේ නාට්‍යකරුවන් ගැන ය. මේ හරහා නාට්‍යකරුවන් සමඟ මනා සබඳතාවක් ගොඩනගා ගැනීමට ඔහුට හැකි විය. නාට්‍ය මෙන්ම සිනමාව පිළිබඳව ලිපි රචනා කරමින් සුගත් මේ වනවිට සුගත් වටගෙදර නාමය ප්‍රචලිත කරගෙන තිබුණි. එය ඔහුට පසුකාලීනව ඔහුගේ ඉදිරි වැඩකටයුතු කර ගැනීමට පිටිවහලක් විය. කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ ඉඩම්, ඉඩම් සංවර්ධන සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශය මගින් පළකළ “ඉසුර” සඟරාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සංස්කාරක තනතුර හෙබවීමට සුගත් ඒ දක්වා ලබා තිබූ පරිචය මහෝපකාරී විය. එවකට ප්‍රබල අමාත්‍යවරයකු වූ ගාමිනී දිසානායක සුගත්ට එම තනතුර ප්‍රදානය කළේ සුගත්ගේ තිබූ දක්ෂතා නිසා ය. මා දන්නා තරමින් සුගත් යු.එන්.පී. කාරයෙක් නොවේ. ඉසුරේ වැඩ කරද්දී සුගත්ට බොහෝ කලා ශිල්පීන්ගේ ඇසුර ලැබුණි. සනත් ගුණතිලක, ජයලත් මනෝරත්න, සුනිල් එදිරිසිංහ, ඇරැව්වල නන්දමිත්‍ර, කේ.එම්.එයි. ස්වර්ණසිංහ ඉන් කිහිප දෙනෙකි. ඉසුරේ වැඩ කරගෙන ඉන්න අතරතුර චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ සුගත්ට ජාතික රූපවාහිනියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැඩසටහන්) තනතුර සඳහා ආරාධනාවක් ලැබුණි. ඒ සුගත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් නිසා නොවේ. මා දන්නා තරමින් විශ්ව විද්‍යාලයේ දී සුගත් එජාපයට සම්බන්ධ සමවාදී ශිෂ්‍ය පෙරමුණේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ දේශවිමුක්ති තරුණයෝ ශිෂ්‍ය ව්‍යාපාරයේ හෝ සාමාජිකයෙක් වී හිටියේ නැත. ජාතික රූපවාහිනිය සුගත්ගේ දක්ෂතා විදහාපාන්නට කදිම තෝතැන්නක් විය.

සුගත්ගේ තිර නාට්‍ය රචනා බොහෝමයක් ජාතික රූපවාහිනියේ ප්‍රබල නාට්‍ය ලෙස එළිදැක්වූණි. එම කාලයේ සිංහල අලුත් අවුරුදු නාට්‍ය මෙන්ම නිදහස් දින උදෙසා ද සුගත් නාට්‍ය තිර රචනා ලියුවේය. නිදහසේ ස්වර්ණ ජයන්තියට 1998 වසරේ දී “නිදහස සොයා” යනුවෙන් සුගත් ප්‍රබල තිර කතා කිහිපයක් රචනා කළ අතර ඒවා නිමැයුම් ලෙස එළි දැක්වූයේ ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ සිටි දක්ෂ නිෂ්පාදකවරු මෙන්ම ඉන් පරිබාහිරවද රටේ හිටි දක්ෂ ටෙලිනාට්‍ය නිෂ්පාදකවරු මගිනි. සුගත් චිත්‍රපට තිරකතා දෙකක් ද රචනා කළේය. සාරංගා සහ දූ දරුවෝ එම චිත්‍රපට තිර කතා ය. හේමසිරි ලියනගේ මුල්වරට ප්‍රධාන චරිතයක් නිරූපනය කළේ දූ දරුවෝ චිත්‍රපටයේ ය. සුගත් ග්‍රන්ථ කිහිපයක් රචනා කළ අයෙකි. සන්නිවේදනයේ ආචාරධර්මීය පදනම, නාට්‍යාලංකරය, (නාට්‍ය කලාව ගැන සෞන්දර්යවාදී දෘෂ්ටියකින් රචිත ග්‍රන්ථයකි. සිංහල නාට්‍ය කලාවේ හරස්කඩක්, නාට්‍ය කලාවේ නූතන ප්‍රවනතා සහ නාට්‍ය ක්ෂේත්‍රය සහ වෙනත් විෂයන්ට අදාළව තවත් පොත් කිහිපයක්ද සුගත් රචනා කර තිබේ. මාතර වංශය ග්‍රන්ථය ඔහු සංස්කරණයකි. මහවැලි වංශය ග්‍රන්ථය සංස්කරණය කළ සංස්කාරක මණ්ඩලයේද සුගත් සාමාජිකයෙකි.

ඔහු එතෙක් දක්ෂතා දැක් වූ සාහිත්‍ය කලා මාධ්‍යයට පරිබාහිරව යමින් ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී එහි අසූපස් වැනි සංවත්සරය වෙනුවෙන් 2016 වර්ෂයේ දී මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කළ ජනතා පරමාධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය හා සර්වජන ඡන්ද බලය පිළිබඳව විෂය ප්‍රාමාණික උගතුන් රැසකගේ ශාස්ත්‍රීය ලිපි ඇතුළත් මාහැඟි ග්‍රන්ථ සංස්කරණය කළේද සුගත් වටගෙදර විසිනි.

සුගත් සරසවිය චිත්‍රපට උලෙළ හා කතෝලික සිනමා පර්ෂදයේ ඕ.සී.අයි.සී. චිත්‍රපට විනිශ්චය මණ්ඩලවල කටයුතු කර ඇති අතර 1979 වර්ෂයේ සිට ජාතික තරුණ සේවා සභාවේ යොවුන් නාට්‍ය තරගාවලි කිහිපයකම විනිශ්චය මණ්ඩල සභිකයෙක් ලෙස ද කටයුතු කර ඇත. සාහිත්‍ය අනු මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම සාහිත්‍ය විනිශ්චය මණ්ඩල සාමාජිකයෙක් ලෙස ද කටයුතු කර ඇති සුගත් දක්ෂ ඡායාරූප ශිල්පියෙක් මෙන්ම දක්ෂ චිත්‍ර ශිල්පියෙකු ද වේ. විශ්වවිද්‍යාලයේ දී මෙන්ම ලේක්හවුසියේ දී ඔහුගේ එම කුසලතාවලට ඉඩ හසර ලැබී තිබුණි. එසේම පේරාදෙණිය සරසවියෙන් පිට වූ පසුව ස්වකීය අනාගත මංපෙත් හා නිම්වළලු පුළුල් කරගනු වස් විවිධ විෂයන් යටතේ පශ්චාත් උපාධි හා ඩිප්ලෝමා කිහිපයක් හිමිකර ගන්නා ලද අතර තත් විෂයන් පිළිබඳව විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකි. එයට අමතරව සන්නිවේදනය පිළිබඳව පුහුණුකරුවකු මෙන්ම දේශකයකු ලෙසද සුගත් තවමත් කටයුතු කරති. ප්‍රමාණයෙන් කුඩා වූ සිරුරකට හිමිකම් පෑවද අප කථානායකයාණෝ ඔහු අනුදත් ස්වකීය විෂය ක්ෂේත්‍රය තුළ පෑ දස්කම් සුවිසල් ය. ඔහු කිසිවිටෙකත් තමා පිළිබඳව අත්තුක්කංසනය හෝ තවකෙකු වෙත පරවම්භනයෙහි නොයෙදුනෙකි. එහෙයින් විවිධ වූ කුසලතාවලින් සපිරි මෙවැන්නෙක් සඳහා උපහාර පිදීම අගය කළ යුත්තේ නොවේද?

අද (21 දා සෙනසුරාදා) සන්ධ්‍යාවේ කොළඹ ලුම්බිණි රංග ශාලාවේදී මහාචාර්ය මංගල සේනානායකගේ “සින්දුකාර කවි නළුව” වේදිකාගත වන මධ්‍යයේ ගැමිදරුවෝ වෙතින් උපහාර ලබන සුගත් වටගෙදරට දීර්ඝායු මෙන්ම ජය සතුට පතමි.

සරත් වික්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment