ලයිට් බිලට කරන්ට් වදී

583

රුසියානු යුක්‍රේන යුද්ධය ඇරඹීමත් සමග අප රට තුළ ද පසුගිය කාලයේ මතු වූයේ ඉතාමත් අවුල්සහගත තත්ත්වයකි. ලෝක තෙල්, ගෑස්, ගල් අඟුරු මිල ගණන් ඉහළ යෑම මත එකල අප රටේ පැය 13ක විදුලි කප්පාදුවක් සිදු විණ. මේ විදුලි කප්පාදුව මාස ගණනක් ඇදී ගොස් මහා අරගලයක් වූ අයුරු අපට තවමත් අමතක නොමැත. කෙසේ හෝ එහෙන් මෙහෙන් ගේම ගසා එම තත්ත්වයෙන් නැවත නැගිටින විට පත්වී සිටි පාලකයන් මෙන්ම විදුලි බල මණ්ඩලය ද එක්වී මේ වසර තුළ දෙවරක් විදුලි බිල වැඩි කොට අවසන්ය. එහෙත් පැය විසි හතරේම විදුලිය තිබෙනවා නේදැයි කියා හිත හදාගෙන බිල ගෙවායන අතරේ ඊයේ නැවත වරක් විදුලි බිල වැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ වූ කලී සුළුපටු ගණනකින් නොව සියයට 18 කිනි.

එහිදී අප පාවිච්චි කරන විදුලි ඒකකවලට සාපේක්ෂව ස්ථාවර ගාස්තුවද ඉහළ යයි. බස්වල කෝච්චියේ එල්ලී ගොස් ගන්නා මාසික වැටුපෙන් වැඩි මුදලක් මේ වන විටත් ජනතාවට වැයවන්නේ බිල් ගෙවාදැමීමට විය යුතුය. ඒ අතරේ නැවත වතාවක් කරනු ලබන මෙම වැඩි කිරීමෙන් ජනතාව හොම්බෙන් ගොස් ගෙම්බන් බවට පත්වේ. ගෙම්බකු රත්වන හැළියකට දමා තැම්බුවහොත් ඌ වැඩිවන උෂ්ණත්වයට අනුව සිය ශරීර උෂ්ණත්වයද මාරු කර ගනිමින් දිවි බේරා ගැනීමට පෙළඹේ. අපද පසුගිය කාලයේ පටන් කළේ පැමිණෙන දුක් පැණි රසයි යන සිතිවිල්ලෙන් විටින් විට පත්වන ආණ්ඩුවල පාප කඳවලට දෙකට නැවී සාප කිරීමය. එහෙත් මෙහි පැණි රහක් නම් පේනතෙක් මානයක නැත. අපේ රටේ සියයට අනූනවයකටම මේ වන විට විදුලිය ලබා දී අවසන්ය. එසේ නම් මේ නවතම වැඩි කිරීම කොළඹ සිට ඈත දුගී පැල්පත් දක්වා විදුලි බිලට බලපාන කාරණාවකි. මේ වසරේ දෙවරක් තුළ විදුලි බිල වැඩි කර දැන් මේ වැඩි කරනුයේ තුන්වෙනි වතාවට අනීතිකවය. දැනටද අහස උසට නැග තිබෙන විදුලි බිල පාලනය කර ගැනීමට ආණ්ඩුව හෝ මණ්ඩලයට කිසිදු තාත්ෂණික හෝ වෙනයම් උපාය මාර්ගයක් සොයා ගැනීමට නොහැකි වී ඇත. එකී නොහැකියාවේ ප්‍රතිඵලය ජනතාව පීඩාවට නැවත නැවත ලක් කරයි.

කෙසේවෙතත් මේ ආකාරයෙන් බිල වැඩි කරනවා වෙනුවට ජල විදුලි උත්පාදනය වඩාත් කාර්යක්ෂම කිරීම හෝ හිරු එලිය වැනි ස්වභාවික ශක්තීන් මගින් බලශක්තිය නිපදවීමක් හෝ අඩු වියදම් බලාගාර ඉදිකිරීමට මණ්ඩලයට වෙලාවක් නැත. ඒ නිසා මණ්ඩලය කරනුයේ වැඩි මිලට විදුලිය පෞද්ගලික බලාගාරවලින් මිලදී ගෙන බෙදා හැරීමය. මේ හේතුව නිසා ඇති වන අලාභය පාරිභෝගිකයා ගේ ඔළුවටම කඩා පාත් කරනවා හැරෙන්නට විෂය භාර ඇමැතිවරයා හෝ ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැතිවීම කනගාටුවට කරුණකි.

දිගින් දිගටම මෙලෙස බිල වැඩි වෙන්නේ නම් දැන් ජනතාව කළ යුත්තේ රෑට එක් බල්බයක් දමා ගෙන මද අඳුරේ සිටීමය. නැත්නම් විදුලි පංකා, ශීතකරණ, රයිස් කුකර්, ඉස්ත්‍රික්ක ඇතුළු මෙකී නොකී විදුලි උපකරණ දෙස රවමින් හිත හදා ගැනීමය. එහෙත් විදුලි බලය නොමැතිව රටකට පවතින්නටද නොහැකිය. එබැවින් මේ උභතෝකෝටික ප්‍රශ්නවලට පිළිතුරක් අවශ්‍යම මොහොතකි. ඒ සඳහා රට බලශක්තියෙන් සම්පූර්ණ කිරීමට දර්ශනයක් ඇති නායක කාරකාදීන් පත් වීම අනිවාර්ය කරුණකි. එපමණක් ද නොව ඒ ඒ ආයතනයන්හි විෂයන්ට ගැළපෙන සහ දක්ෂතා ඇතිවුන් පත් වීම විය යුතුය. බල ශක්තිය ඉතිරිකර ගැනීම ද අත්‍යවශ්‍ය කාරණයකි. ආණ්ඩුව තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගන්නා සේ ජනතාවටද තම වියදම් සහ බිල් ගෙවීම් ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීමට සහන කාලයක් අවශ්‍යය.

advertistmentadvertistment
advertistmentadvertistment