කතන්දරේ ඉවර වෙන්නේ කොතැනින්ද?

1214

ශ්‍රී ලංකාව දුෂ්කරතාවයට පත්වූ මෑතකාලීන යුගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් කරන ලද මෙහෙවරට වැඩි යමක් ඉන්දියාව විසින් ලංකාවට කරනු ලැබ ඇතැයි ඉන්දීය විදේශ ඇමැති එස්. ජෙයිශංකර් සමුළුවකදී පවසා ඇත. මෝදිගේ ඉන්දියාව සහ නැගී එන බලය නමැති මෙම සමුළුව පසුගියදා ඉන්දියාවේදී පැවැත්විණ. විදේශ ඇමැති ජෙයිශංකර්ගේ ප්‍රකාශය පිළිබඳ අපගේ මතය මෙසේය; ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙයට අවුරුදු හත් ලක්ෂයකට පෙර භූගෝලීය වශයෙන් වෙන් විය. මේ කියන කාලයේදී මනුෂ්‍ය වර්ගයා ලොව පහළ වී නැත. කිසියම් මිනිස් වර්ගයක් එකල මෙලොව වී නම් ඒ ගැන අප කිසිවක් දන්නේ ද නැත. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් වෙන් වුවද මේ දෙරට අතර සංස්කෘතික සහ මානසික සම්බන්ධතාවයක් තිබේ. ඉන් පළමුවැන්න නම් මහින්දාගමනයයි. මහින්දාගමනය යනු ධර්මාශෝක රජතුමා විසින් තමන් සතුව තිබූ විශාලතම දාර්ශනික තෑග්ග මෙහි එවීමේ අවස්ථාවය. මේ දාර්ශනික තෑග්ග යනු බුදු දහමය.

මේ රට දේශපාලන වශයෙන්ද ආධ්‍යාත්මික වශයෙන්ද ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත්කරන ලද්දේ බුදු දහම විසිනි. මෙහිදී රාවණ පුවතට පක්ෂපාත දාර්ශනික කණ්ඩායම් අප සමග මිනී මරා ගැනීමට සූදානම් වනවා ඇත. මෙයට අවුරුදු හත් අට දහසකට පෙර හෝ දහ දොළොස් දහසකට පෙර තිබූ රාවණ යුගයේදී මේ රටේ සමාජය දාර්ශනික වූ බවත් සභ්‍ය වූ බවත් අපට පහරදීමට එන දාමරිකයන් කියනවා ඇත. රාවණ කතාව යනු 50% හට පනහේ කතාවකි. ලංකාවතාර සූත්‍රය නමැති බෞද්ධ සූත්‍රයට අනුව බුදුන් වහන්සේ සමනල කන්දට වැඩම කළ අවස්ථාවේදී රාවණ රජු ධර්ම ශ්‍රවණය සඳහා ශ්‍රී පාද කන්දට පැමිණ ඇත. එහෙත් එදා එසේ බණ දෙසූ බුදුවරයා ගෞතම බුදුරජාණන් වහන්සේම ද නොඑසේ නම් අටවිසි බුදුවරුන්ගෙන් එක් බුදුරජාණන් වහන්සේ කෙනකුද යන්න හරිආකාරව පැහැදිලි නැත. එසේම රාවණ රජුගේ ද රජ පරම්පරාවක් තිබූ බැවින් එදා ධර්ම ශ්‍රවණය කරන ලද්දේ කවර රාවණ කෙනෙක් දැයි හරිආකාරව හඳුනාගෙන නැත. එහෙත් අප්‍රමාණ බලවේගයක් ලෙස විශ්වාස කරන රාවණ රජු පිළිබඳ විශ්වාසයක් ශ්‍රී ලංකාවේ විසූ බුද්ධිමත් ඉතිහාසඥයන් වූ එච්.සී.පී. බෙල් සහ මහාචාර්ය සෙනරත් පරණවිතාන තුළ තිබුණේ නැත.

එබැවින් අප ඉන්දියාව සමග සම්බන්ධකම් පටන්ගන්නේ ගෞතම බුදු සමයේ සිටය. එදා සිට ඉන්දියාව අපේ වැඩිමහල් සහෝදරයා හා සමවිය. අපට අමාරු වුණ හැම අවස්ථාවකදීම ඉන්දියාවේ පිහිට අපට අවශ්‍ය විය. එසේම අප හොඳින් සිටින හැම අවස්ථාවකම කොටින්ට සපෝට් එක දී අපට කෙළවෙනු බලා සිටීමට ද ඉන්දියාවට අවශ්‍ය විය. එවැනි බාල්දියක් පෙරළා අප අමාරුවේ වැටෙන විට වහා පැන අපට සපෝට් කිරීම ඉන්දියාවේ සිරිත විය. මේ නිසා ඉන්දියාව අපට ගැහුවත් අප සිපගත්තත් ඔවුන් අපේ හැම අමාරුවකදීම අප වෙනුවෙන් පෙනී සිටිය යුතු යැයි අදහසක් අප තුළ තිබේ. ඒ අනුව ඉන්දියාව හැම විටකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වඩා හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට වඩා හෝ අපට උදව් කළ යුතුමය.

පෙර සඳහන් කළේ ද්විපාර්ශ්වික කතන්දරයකි. මෙතැන් සිට අප සාකච්ඡා කරන්නේ වෙනත් කතන්දර දෙකකි. ඉන් පළමුවැන්න නම් මංගල ගමනට සැරසුණු මනාලියට පැරණි පෙම්වතා ඇසිඩ් ගැසීමය. දෙවැන්න නම් විවාහ වී පැය 24 ක් ගතවෙද්දීම කොස්තාපල් මනාලියකට කිසියම් පුද්ගලයකු විසින් මන්නයෙන් කෙටීමය. මේ රටේ ජනයා කිසිම පාලනයක් නැති කාලකණ්ණි ස්වභාවයකට පත්ව සිටිති. මේ සඳහා ඇති හොඳම මෑතකාලීන සාක්ෂිය වන්නේ අරගලය නොව එම අරගලයේදී ජනයා හැසිරුණු ආකාරය ය. ඒ හැසිරීම තුළ විශාල ම්ලේච්ඡත්වයක් විය. ගෙවල් ගිනි තැබීම, රජයේ දේපල විනාශ කිරීම, මිනී මැරීම වැනි කාරණාවලට ජනයා තුළ ඇති අවශ්‍යතාව එමගින් පැහැදිලි විය. අප දියුණුව කරා යන්නට නම් භෞතික උන්නතිය මෙන්ම ආධ්‍යාත්මික උන්නතිය ද අවශ්‍යය.

ආගමික යුද්ධ හෝ ජාතිවාදී යුද්ධ අතිකිරීම මගින් සිදුවන්නේ අපායේ උන්නතිය ඇතිවීම පමණි. වැලිගම පදිංචි අවුරුදු 26 ක තරුණියක් ප්‍රදේශවාසි තරුණයෙක් සමග වසර එකහමාරක ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගියාය. එම සම්බන්ධය අතරමගදී නතර වූ අතර තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විය. මේ අතර තරුණිය විවාහයකට සූදානම් වූ අතර එය පසුගිය 27 දා පැවැත්වීමට නියමිතව තිබිණ. එදින පාන්දර 3 ට පමණ තරුණියගේ පැරණි පෙම්වතා ඇගේ නිවසේ ඇය නිදන කාමරයට ගොස් ඇයට ඇසිඩ් ගසන ලද්දේය. තරුණියගේ මුහුණ, බෙල්ල සහ පිට කොන්ද ඇසිඩ් නිසා පිලිස්සී තිබේ. විවාහය පිළිබඳ කතන්දරය මෙතැනින් අවසන් වන අතර තරුණිය දැනට සිටින්නේ ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු වස් මාතර මහ රෝහලේය. මේ වනවිට තරුණයා අත්අඩංගුවට පත්ව සිටී. ඔහු පිළිබඳ පරීක්ෂණවල කොටසක් වශයෙන් ඔහු මානසික වෛද්‍යවරයකු වෙත යොමු කිරීමේදී එබඳු ව්‍යාධියකින් පෙළෙන බව ඔප්පු වුවහොත් ඇසිඩ් ගැසීමේ වරදට දඬුවම් නොලබා ඔහුගේ මනෝ විකාරයට බෙහෙත් දීම පමණක් සිදුවනවා ඇත. මෙය ඉතා භයානක තත්ත්වයකි. අපරාධකරුවකුට දඬුවම් නොලබා බේරීමට ලැබෙන මහඟු අවස්ථාවකි. පොලිස් තූර්යවාදක කණ්ඩායමේ සේවය කරන කොස්තාපල් යුවලක් පෙම්කොට ඉකුත් 25 දා විවාහ වූහ. ඔවුන් ගෙදර පැමිණි පසු කොස්තාපල්ගේ ඥාති සහෝදරයා විසින් කොස්තාපල් බිරිඳට මන්නයකින් කොටා ඇත. සැකකරු දැනටමත් අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් ඔහු ද මනෝ විකාරකාරයකු යැයි ඔප්පු වුවහොත් මන්න පහර කෑ තරුණියට කළ අපරාධය වෙනුවෙන් ඒ තරම් ලොකු වන්දියක් ගෙවීමට ඔහුට සිදුවන්නේ නැත.

මේ තත්ත්වය මේ රටේ මේ මොහොතේදී පවතින ප්‍රශ්න කිහිපයකටම ආදේශ කළ හැකිය. පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු මනෝ ව්‍යාධියකින් පෙළෙන බව ඔප්පු වුවහොත් ඔහුට නිදහස් විය හැකිය. නතාෂා එදිරිසූරිය පිළිබඳ තත්ත්වය ද එයමය. රාජ්‍ය නායකයාගේ සිට හැම දෙනාටම තිත්ත කුණුහරුපෙන් බණිමින් වීඩියෝ නිකුත් කළ රාජාංගනේ දඩෝරියා නමැති භික්ෂු ප්‍රතිරූපකයා රුපියල් කෝටි 8 ක මුදල් අවභාවිත කළ බවට වාර්තා වී තිබේ. මේ ප්‍රතිරූපකයා ද මානසික රෝගියකු බව ඔප්පු වුණොත් කතන්දරේ එතැනින් ඉවරය.

advertistmentadvertistment
advertistmentadvertistment