පුටින්ගේ අරක්කැමියා වූ කුලී හමුදාවේ නායකයා

3014

කලකට පෙර ශාන්ත පීටස්බර්ග් නුවර හොට් ඩෝග් විකුණන පුද්ගලයෙක් විය. ඔහු එවක ජනප්‍රිය පුද්ගලයෙක් වූයේ නම් නැත. නමුත් අද ලෝකයම ඔහු ගැන කතා කරයි. ඒ 62 හැවිරිදි පුද්ගලයා අන් කවරෙකුවත් නොව මහා බලවත් රුසියානු ජනපතිට අභියෝග කළ වැග්නර් ප්‍රධානියා වන යෙව්ගනි ප්‍රිගොෂින් වේ. ප්‍රිගෝෂින් සෝවියට් යුගයේදී වංචා සහ සොරකම් සම්බන්ධයෙන් වරදකරු වීමෙන් පසු දශකයකට ආසන්න කාලයක් සිරගතව සිටි අයෙකි. 1990 ගණන්වල ක්ෂණික ආහාර සමාගමක් ආරම්භ කළ අතර එය ක්‍රමයෙන් සාර්ථක විය. පසුකාලීනව ඔහු රුසියානු ජනාධිපතිවරයාට සමීප අභ්‍යන්තර කවයක කොටසක් බවට පත්වී ඔහුගේ ප්‍රබල හිතවතෙක් විය. වැග්නර් ආරම්භ සඳහා රුසියානු ජනපතිවරයාගේ පූර්ණ අනුමැතිය හා සහයෝගය ප්‍රිගොෂින්ට ලැබී තිබිණි. ප්‍රධාන යුක්‍රේන නගර කිහිපයක් අල්ලා ගැනීමට නායකත්වය දීමෙන් පසු රුසියානු කුලී හේවා කණ්ඩායම රුසියාවේ මහජන ප්‍රසාදය දිනා ගත්තේය.

පුටින්ගේ අරක්කැමියා වූ කුලී හමුදාවේ නායකයා

2006දී පුටින් හා ජෝජ් බුෂ් සමග යෙව්ගනි ප්‍රිගොෂින්

යුක්‍රේන යුද්ධය අතරතුර, නිත්‍ය රුසියානු හමුදා දැඩි ලෙස විනාශයට පත් වූ අතර නින්දා සහගත පසුබෑම්වලදී භූමි ප්‍රදේශය අහිමි වීම නිසා වැග්නර් වැඩි වැඩියෙන් ජයග්‍රහණ ලබා ගන්නා විට යෙව්ගනි ප්‍රිගොෂින් වීරයෙක් විය. ප්‍රිගොෂින් කුලී හේවායින් බඳවා ගැනීම සඳහා රුසියානු බන්ධනාගාරවලට ගිය අතර, වැග්නර් සමග එක්වී මාස හයක් යුක්‍රේනයේ මෙහෙයුම්වලට සහභාගි වුවහොත් සමාව දෙන බවට පොරොන්දු විය. පසුගිය මැයි මාසයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රිගොෂින් පැවසුවේ තමා සිරකරුවන් 50,000ක් බඳවාගෙන ඇති බවත්, ඔවුන්ගෙන් 10,000ක් පමණ යුක්‍රේනයේදී මරණයට පත්වූ බවය.

පුටින්ගේ අරක්කැමියා වූ කුලී හමුදාවේ නායකයා

ඇත්තෙන්ම වැග්නර් කණ්ඩායම රුසියාවේ රහසිගතම සංවිධානයන්ගෙන් එකකි. එවැනි සංවිධානයක් නිල වශයෙන් නොපවතින අතර, කුලී හේවායෙකු ලෙස සේවය කිරීම රුසියානු සහ ජාත්‍යන්තර නීතියට පටහැනි ය. නමුත්, පසුගිය වසර හත තුළ ක්‍රියාකාරීන් 10,000ක් පමණ වැග්නර් වෙතින් අවම වශයෙන් එක් කොන්ත්‍රාත්තුවක්වත් ගෙන ඇති බව විශ්වාස කෙරේ. ඒ යුක්‍රේන ප්‍රථමවය. වැග්නර් කණ්ඩායම ප්‍රථම වරට හඳුනාගනු ලැබුවේ, 2014 වසරේ නැගෙනහිර යුක්රේන ගැටුමේදී රුසියානු හිතවාදී බෙදුම්වාදීන්ට පිටුබලය දෙමින් සිටිය දී ය. යුක්‍රේන ආක්‍රමණයේ මුල් දිනවල දී කාර්කිව් වෙත යවන ලද වැග්නර් කුලී හේවායෙකුට මසක වේතනය ලෙස ඩොලර් 2,100 ලැබී තිබිණි. “මම මාසයක් වැඩ කළාට ඩොලර් 2,100ක් අරගෙන අපි ආපහු රුසියාවට ආවා,” ඔහු බීබීසී පවසා තිබිණි. පසුගිය කාලය පුරා වැග්නර් කණ්ඩායම අප්‍රිකානු සහ මැද පෙරදිග කලාප රැසක මෙහෙයුම් සිදුකර තිබේ. ඒ අතරට සිරියාව, ලිබියාව සහ මාලි ඇතුළු අප්‍රිකානු රටවල් 6 ක් අයත් වේ. මාලි රාජ්‍යයේදී පුද්ගලයන් 500 දෙනෙක් ඝාතනය කළ බවට ද වැග්නර් කණ්ඩායමට චෝදනා එල්ල වී තිබුණි. 2022 පෙබරවාරියේ ඇරඹි රුසියානු යුක්‍රේන යුද්ධයට වැග්නර් හේවායින් සෘජුව සම්බන්ධ වූ අතර බක්මුත් නගරය අල්ලා ගැනීමට මාස 11 ක් පැවති මෙහෙයුමේ පෙරමුණ ගත්තේ ද ඔවුන්ය. මේ නිසා රුසියානු හමුදාවලට දක්ෂතාව පරයමින් කුලී හේවායින්ගේ හැකියාව ලොවට ප්‍රදර්ශනය වීම දෙපාර්ශ්වය අතර ප්‍රශ්න කළේය. එය අවසානයේ එය කැරැල්ලක් බවට පරිවර්තනය විය. පසුගිය කාලයේ යෙව්ගනි ප්‍රිගොෂින් රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින්ට කෙතරම් සමීපව වූවාද කිවහොත් ඔහු “පුටින්ගේ අරක්කැමියා” යන අන්වර්ථ නාමය ලබා ගත්තේය. නමුත් දැන් ඒ මිතුරුකම වෛරයක් බවට පත්ව තිබේ. බක්මුත් සටන යනු හිටපු අරක්කැමියා සහ රුසියාවේ නායකයා අතර මුලින්ම ඉරිතැලීම් ඇති වීමට පටන් ගත් අවස්ථාවයි.

ප්‍රිගොෂින් පුටින්ගේ අභ්‍යන්තර කවයට ඇතුළු වූ බවට පළමු ලකුණ දක්නට ලැබුනේ 2000 දශකයේ මුල් භාගයේදීය. ඒ කාලයේ ශාන්ත පීටර්ස්බර්ග් නිව් හෙවන්නම් ඉහළ මට්ටමේ අවන්හලේදී ජනපති පුටින් නිතිපතා සත්කාර ලැබුවේය. මෙහි අයිතිකරු ප්‍රිගොෂින්ය. ඝාතන ප්‍රයත්න ගැන නිරන්තරව බියෙන් පසුවන ජනපති පුටින්, ප්‍රිගොෂින් විසින් ඔහු ඉදිරියේ තැබූ ආහාර වේල සතුටින් අනුභව කළේය. විදේශ නායකයන් රුසියාවට පැමිණි පසු පුටින් ඔවුන් රැගෙන ගියේ මේ අවන්හල වෙතය. හිටපු අමෙරිකානු ජනපති ජෝර්ජ් බුෂ්ද 2006 දී මේ අවන්හලෙන් සත්කාර ලබා ඇත. “පුටින් – හැමෝම දන්නා පරිදි නිරන්තරයෙන්ම සැකයෙන් කටයුතු කරයි. විශේෂයෙන්ම ආහාර සහ බීම ගැනයි. හිටපු ඔත්තු සේවා නිලධාරියා හොඳින් වටහාගෙන ඇති පරිදි, කෙනෙකුට වස දීමට පහසුම ක්‍රමය කෑමවලට වස දැමීමයි. පුටින් සමඟ ඇති මිත්‍රත්වය ප්‍රිගෝෂින් ඉතා ධනවත් මිනිසෙකු බවට පත් කළ අතර ලාභදායී ආහාර සැපයුම් කොන්ත්‍රාත්තු සහ ව්‍යාපාරික අවස්ථාවන්ට හේතු විය. නමුත් වැඩි කල් නොගොස් ඔහු පුටින්ගේ යුද්ධ වෙනුවෙන් ද සටන් කළේය. මේ හරහා වැග්නර් බිහිවිය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment