ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවකයෙක් වැසිකිළිය තුළ මියගිහින්

221

ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක් තුළ එහි සේවකයෙකු මියගොස් සිටියදී සොයාගත් බව ගම්පොල පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ කලාප කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකවරයෙකු ලෙස සේවය කළ දෙවුන්දර පල්ලියගුරුගේ චන්දිමාල් ගුරුගේ නමැති 44 හැවිරිදි අයෙකි.

දෙදරු පියකු වූ ඔහු ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෙරේදා (13) දින රාජකාරි සඳහා පැමිණ සිටි මොහු පෙරවරු 10 පමණ සිට කිසිවකුත් දැක නොමැති නිසා වරින් වර කීපදෙනෙකු මොහු සොයා තිබූ බව පොලිසිය පවසයි. ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදුන්නද ඒ සඳහා ද කිසිදු ප්‍රතිචාරයක් නොලද නිසා ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතාගේ උපදෙස් මත මොහු සෙවීම ආරම්භ කර තිබුණි. ඒ අනුව පිරිසක් පස්වරු 4ට පමණ කාර්යාලය ඇතුළේ තිබෙන වැසිකිළියේ දොර හැර බලන විට ඒ තුළම මොහු බිම වැටී

මියගොස් සිටි බව දැක තිබේ. පසුව මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දී ඇත. ගම්පොල ස්ථානීය විශේෂ අපරාධ ඒකකය (සොකෝ) හා ගම්පොල හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදුකොට රාත්‍රියේදීම සිරුර ගම්පොල රෝහල වෙත රැගෙන යන ලදී. මෙහි පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින සිදු කිරීමට නියමිත තිබුණි. මියගිය චන්දිමාල් ගුරුගේ හට කුඩා ගැහැණු දරුවන් දෙදෙනකු සිටින අතර බිරිඳ කලාප කාර්යාලය වෙත පැමිණ පොලිසිය වෙත හා මරණ පරීක්ෂකවරයා වෙත කටඋත්තරයක් ලබා දෙමින් පැවසුවේ සැමියාට පසුගිය දිනවල දියවැඩියා රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා ප්‍රතිකාර ගෙන පසුව නතර කළ බවයි. වෙනත් රෝගයක් නොමැති බවත් ඇය පැවසුවාය. ගම්පොල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 63617 කිත්සිරි, 86522 ජයසිංහ, පොලිස් කොස්තාපල් 82711 රුචිර ශ්‍රී, 43180 රාජපක්ෂ, ස්ථානීය පරීක්ෂණ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බන්දුල, පොලිස් සැරයන් 21001 බන්දුල රත්නායක යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

ගම්පොළ -සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment