දැරියට අතවර කළ අය අවුරුදු 07ක් හිරේ

370

අවුරුදු නවයක් වයසැති දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුවෙකු වරදකරු කරමින් පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් අවුරුදු හතක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් පෙරේදා (07දා) නියම කළේය.

බණ්ඩාරගම, කිදෙල්පිටිය, හිරණ පාරේ පදිංචි වීරසේන පතිරණගේ සෝමසිරි නමැති 69 හැවිරිදි පුද්ගලයකු හට මෙසේ දඬුවම් නියම කෙරිණි.

සිර දඬුවමට අමතරව රුපියල් 2500 ක දඩයක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

විත්තිකරු 2014 නොවැම්බර් මස 29 හෝ ඊට ආසන්න දිනක එවකට නව හැවිරිදි බාලවයස්කාර දැරියක සිය නිවසට කැටුව ගොස් බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්කි ගොනුකිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ 2 ආ වගන්තිය යටතේ සැකකරුට එරෙහිව අධිචෝදනා නගා තිබුණි.

එල්ලවී තිබූ චෝදනා දෙකකට නිදොස් කොට නිදහස් කළ විනිසුරුවරයා තුන්වන චෝදනාව යටතේ සැකකරුට දඬුවම් නියම කළේය.

නව හැවිරිදි වියේ පසුවූ වින්දිත දැරිය, සීයා කෙනෙක් වන් සැකකරුව විශ්වාස කොට නිවසට ගොස් සිටියදී සිදුවූ බරපතළ ලිංගික අපයෝජනයෙන් ඇය දැඩි මානසික පීඩාවට පත්වන්නට ඇති බවත් සමාජයට පණිවුඩයක් ගෙන දෙන ආකාරයේ උපරිම දඬුවමක් ලබාදෙන ලෙසත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ අකලංක බාලපටබැඳි මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සැකකරුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ඉල්ලා සිටියාය.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment