වාලච්චේනේ යන්ත්‍ර සූත්‍ර හා ගස්කොළනුත් විකුණාගෙන කාලා

381

මිලියන 150 කට අධික වංචාවක් – හිටපු සභාපතිගෙන් චෝදනා

වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව තුළ පැවැති යන්ත්‍ර සූත්‍ර හා භූමියේ තිබූ වටිනා ගස් වර්ග කපා අලෙවි කිරීම තුළින් රුපියල් මිලියන 150 කට අධික වංචාවක් සිදුව ඇතැයි වාලච්චේන කඩදාසි කම්හලේ හිටපු සභාපති දේශමාන්‍ය මංගල ඩී. සෙනරත් මහතා පවසයි.

වාලච්චේනේ යන්ත්‍ර සූත්‍ර හා ගස්කොළනුත් විකුණාගෙන කාලා

වසර 50 කට පමණ පෙර ජර්මානු ඉංජිනේරුවන් විසින් ස්ථාපනය කරන ලද මෙම කර්මාන්ත ශාලාවේ ඇතැම් යන්ත (GSM 150) අලුත්වැඩියාව සඳහා ගලවා ගෙනගොස් ඇතත් ඒවා නැවත ගෙනැවිත් ඇති බවට දැකගන්නට නැතැයි ද සෙනරත් මහතා කියා සිටී.

වාලච්චේන අධිකරණය මගින් කර්මාන්ත ශාලාවට නිදහස් කරන ලද මෝටර් 115 ක් මෙම භූමියේ තිබේ ද යන්න සැක සහිත බවත්, කර්මාන්ත ශාලා භූමියේ ඇති හින්දු කෝවිල පිටුපස තිබූ තේක්ක ගස් ද කපාගෙන ගොස් ඇති බවත් ඔහු කියයි. මෙම ගස්වල මුල් පවා ගලවාගෙන ගස්, තිබූ ආකාරයවත් සොයා ගැනීමට නොහැකි සේ භූමිය සකසා ඇතැයි ද ඔහු කීය.

මෙම කර්මාන්ත ශාලාවේ ඉතිහාසය දැනගැනීමට අවශ්‍ය නම් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. යෝගේෂ්වරන් මහතාගෙන් විමසිය හැකි බව ද, ඔහු පාර්ලිමේන්තුවේ සිටි කාලයේදී මෙම කර්මාන්තශාලාව දියුණු කිරීමට දැඩි උනන්දුවකින් කටයුතු කළ බව ද සෙනරත් මහතා පැවසීය.

තමා මෙම කර්මාන්ත ශාලාවේ නිසි බලධාරියාව සිටි කාලයේ මෙහි යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කර ධාරිතාව ඉහළ නැංවීමට කටයුතු කළ බවත්, තමා කිසිදු වැටුපක් හෝ දීමනාවක් නොමැතිව සේවය කළ බවත් ඔහු කීය.

ජර්මනියේ ඉංජිනේරුවන් අවස්ථා තුනකදී මෙරටට පැමිණ අලුත්වැඩියා කළ VOITH යන්ත්‍රය ඉන්පසු වසර 25 ක් පමණ ක්‍රියාත්මක කළ හැකිව තිබුණත් වසර 14 කට පසුව ගොඩගත් එම යන්ත්‍රය විනාශ කිරීම කනගාටුවක් බව ද ඔහු කීය.

මෙම කර්මාන්ත ශාලාවේ හදවත වැනි ජලවාශ්ප බොයිලේරුව අලුත්වැඩියා කිරීම සඳහා ටෙන්ඩර් දමා මිලියන 28 ක් වැය කිරීමට අදහස් කර තිබුණත් ශ්‍රී ලාංකිකයකු විසින් මිලියන 11 කට අලුත්වැඩියා කළ බව ද සෙනරත් මහතා පැවසීය.

ඇතැමුන් තමාට චෝදනා කළ ද එහි නිසි බලධාරියා ලෙස කටයුතු කළ සමයේ ආයතනයේ සම්පත් ආරක්ෂා කරමින් (එක බිම් අඟලක් කිසිවකුට විකිණුවේ නොමැති නමුත් පෞද්ගලික දුරකථන සමාගමකට කුලුනක් ස්ථාපිත කිරීමට ඉඩ ලබාදෙමින් ආයතනයට රුපියල් 25000 ක මාසික ආදායමක් හිමිවේ.) නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවීම තුළ ආදායම හා අලාභය අවම කොට ලාභ ලබන තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් සෑම අවස්ථාවකම කටයුතු කළ බව ද ඔහු කීය. මෑත කාලයේ රට හමුවේ පැවැති අභියෝග ජය ගනිමින් රට ගොඩනඟන්න වත්මන් ජනාධිපතිවරයාට හැකියාව ලැබී තිබෙන්නේ නම් වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සංවර්ධනය කර ඒ ඉඩම් භමියේම සංචාරක ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කොට රැකියා අවස්ථා 2000 ක් ලබාදීමට ජනාධිපතිවරයාගේ සම්පූර්ණ සහාය ලැබෙන බවට මා විශ්වාස කරනවා යයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment