රසකැවිලි පෙට්ටි අස්සේ කෝටි 10 ක අයිස් ගෙනත් – චෙන්නායි – ශ්‍රී ලංකා කුඩු මගඩියේ රහස් එළියට

235

ඉන්දියාවේ චෙන්නායි නගරය සහ ශ්‍රී ලංකාව අතර කටුනායක ගුවන්තොටුපළ හරහා සිදුවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල හෙළිකරගත් පොලිස් විශේෂ කාර්ය බළකාය රුපියල් කෝටි 10 කට අධික වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ප්‍රවාහන ජාලයේ ප්‍රධානීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහන ජාලයට සම්බන්ධ කාන්තාවක් සහ මුස්ලිම් ජාතිකයකු ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිට තිස් වතාවකට ආසන්න වාර ගණනකදී කටුනායක ගුවන්තොටුපළ හරහා අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොග පිටින් මෙරට ගෙනැවිත් ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

කටුනායක ගුවන්තොටුපළේ සේවය කරන සංවිධානාත්මක කණ්ඩායමක් ද මෙම මහා ජාවාරම පිටුපස සිටින බව විශේෂ කාර්ය බළකාය පවසයි.

චොකලට් පෙට්ටිවල අසුරා මෙම අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9 ම චෙන්නායි නගරයේ සිට කටුනායක ගුවන් තොටුපළ හරහා ගුවන් මගින් මොවුන් ගෙනැවිත් ඇත්තේ ඉකුත් 29 වැනිදා බව ද අනාවරණය වී ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන නන්දසේන සහ ඩුබායි නිපුන යන අයට අයත් ඒවා බව ද මේ වනවිට හෙළිවී ඇත.

නන්දසේන නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් ඉදිකළ බවට සැකකරන සුවිසල් නිවාස 2 ක්, වත්තල සහ ගණේමුල්ල ප්‍රදේශවලින් විශේෂ කාර්ය බළකාය සොයාගෙන තිබේ.

එම නිවාස දෙක නීති විරෝධී වත්කම් ඉපැයීමේ විශේෂ ඒකකය වෙත භාරදී ඇති අතර, ඒවා ඉදිරියේදී රජයට පවරාගැනීමට කටයුතු කරන බවද පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ මෙහෙයුම් සහ පාතාල මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර සහ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වාට ලැබුණු ඔත්තුවකට අනුව මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය අතුරින් කිලෝ 05 ක් සොයාගෙන ඇත්තේ පෙරේදා (2 දා ) රාත්‍රී කාලයේදීය.

අතිසුඛෝපභෝගී මෝටර් රථයක යමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, ඔහු සතුව තිබී රුපියල් කෝටි 06 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත සීදුව ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි සිංහල කාන්තාවක් සහ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බළකාය හෝටල් කාමරයේ තිබී අයිස් කිලෝග්‍රෑම් 4 ක් සොයාගන්නා ලදී. කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් සැකකරුට (අයිස් තොගය) භාරදී ඇත්තේ මෙම යුවළ බව හෙළිවිය.

එම යුවළ ඉකුත් 29 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිට අයිස් මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කටුනායක ගුවන්තොටුපළ හරහා මෙරටට පැමිණ තිබූ බව අනාවරණය විය.

මෙම කාන්තාව මුස්ලිම් ජාතිකයාගේ අනියම් බිරිඳ වන අතර මොවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර පරීක්‍ෂා කිරීමේදී ඉන්දියාවේ චෙන්නායි නගරය වෙත තිස්වතාවකට ආසන්න වාර ගණනක් ගොස් නැවත මෙරටට පැමිණ ඇති බව හෙළිවිය.

මොවුන් එන සෑම වතාවකදීම අයිස් සහ හෙරොයින් රැගෙවිත් ඇති බව ද විමර්ශන වලින් අනාවරණය වී තිබිණි.

මෙම ජාවාරම්කරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී ඇත.

මීට දින කීපයකට උඩදී මහබාගේ හන්දියේදී වැල්ලේ සාරංගගේ මස්සිනාට වෙඩි තබා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව භාරදී තිබුණේ ද ඩුබායි නිපුන විසින් බව හෙළිවී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් මුල්කරගෙන ඇතිවූ ආරවුලක් මත එම ඝාතනය ද සිදුකර තිබූ බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.
හේමන්ත රන්දුණු – ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment