රෝමයේ “වියා ජුලියා” (Via Giulia) වීදියෙන් ඇසෙන දුමින්දගේ පිරිත් හඬ

80

දකුණු ලක බළපිටියේ ඉපිද, අද ඉතාලියේ රෝම අගනුවර දිවිගෙවමින් “ලියනාඩෝ ඩාවින්සි”, “මයිකල් ආන්ජලෝ” වැනි ලොව අග්‍රගණ්‍ය හා කීර්තිමත්ම කලාකරුවන්ගේ අල්ලාප සල්ලාපයේ නිරන්තර පහස ලැබූ රෝම අගනුවර “වියා ජුලියා” – (Via Giulia) කලා වීදියේ තම මූර්ති කලාගාරය පවත්වාගෙන යන අජන්ත දුමින්ද ජයසූරිය නම්

ශ්‍රී ලාංකික කලාකරුගේ කතාව අපි මීට ටික දිනකට ඉහතදී ඔබට කීවෙමු. රෝමය පමණක් නොව, ලක්සන්බර්ග්, ජර්මනිය, පැරිසිය (ප්‍රංශය) ඇතුළු යුරෝපා කොමිසමේ රටවල් 27 ක කලාලෝලීන්ගේ නිරන්තර ඇස ගැටෙන දුමින්ද, ඔහුගේ කලාගාරය මෙන්ම ඔහුගේ කලාකෘති රසවින්දින්නෝ “වියා ජුලියා” වීදියේ ද පහස ලබන්නෝය.

බළපිටියේ ඉපිද, හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධව සූපවේදියකු ලෙස කටයුතු කරමින් සිටි අජන්ත, කොරියාවේ රැකියාවට යන්නේ සූපවේදී රැකියාව තවදුරටත් ඉගෙන ශ්‍රී ලංකාවේ එවන් කර්මාන්තයක් කිරීමේ බලාපොරොත්තුවෙන් මිස කිසිදා තමන් අත ගසාවත් නැති මූර්ති කලාවක් හෝ චිත්‍ර කලාවක් කරන්නට නොවේ. නමුත් දෛවය ඔහු ඉතාලියට කැඳවාගෙන යන අතර, අවසන ඔහු මූර්ති කලාකරුවකු බවට පත්වන්නේ ඒ පිළිබඳව ජර්මනියේ සහ ඉතාලියේදී එම කලාවට අයත් උසස් අධ්‍යාපන ආයතන තුළ මනාව ශිල්පය උගෙන ගනිමිනි. නොපසුබට උත්සාහයෙන් යුතුව තම අරමුණ ජයගත් කෙනෙක් හැටියට පමණක් නොව, ඒ උත්සාහය තුළින් තම යසස වඩවාගත් නිර්මාණවේදියකු ලෙස අද අජන්ත දුමින්ද ජයසූරිය මේ ලොව හිනිපෙත්තේ වැජඹෙන කලාකාරයෙක් බවට පත්කරන්නේ ඔහු කියන පරිදි ඔහුගේ දෛවය වෙනස් කළ ඉතාලි ජාතික තම බිරිඳ “සාරා කෝර්ති ජයසූරිය” විසිනි.

ඇයගේ මැදිහත් වීමෙන් 2011 වසරේදී පැරිසියේ Trier Academy and Beaux Arts සහ Fine Art Academy ආයතනයට ඇතුළුවන දුමින්ද මහාචාර්ය “පිලිප් සෙනේ” (Philippe Seene) යටතේ මූර්ති ශිල්පය සියුම් ලෙස අධ්‍යයනයේ යෙදෙමින් මූර්ති කලාවේ බොහෝ දෑ උගත්තේය.

රෝමයේ “වියා ජුලියා” (Via Giulia) වීදියෙන් ඇසෙන දුමින්දගේ පිරිත් හඬ

තමන්ගේ ආරකින්ම පේපර් (කඩදාසි) හා ප්ලාස්ටර් ඔෆ් පැරිස් (පැරිස් බදාම), තිරිඟු පිටි, ගම් හා තෙල් මිශ්‍රිත මූර්ති ශිල්පය සිදුකරමින් යුරෝපය පුරා අජන්ත දුමින්ද නම් නාමය ප්‍රචලිත කරගන්නේ යුරෝපා සංගමය ඇතුළු රටවල් රැසක සිදුකරන ලද මූර්ති ප්‍රදර්ශන තුළිනි. නන්නාඳුන රටවලට ගොස් අධ්‍යාපනය හදාරා අද මූර්ති කලාවේ ලොව බබලන තරුවක් බවට පත්වීම පසුපස තිබූ සාධක දෙක තම බිරිඳ “සාරා” සහ “බුදුදහම” බව දුමින්ද නිහතමානීව පවසයි.

“මම හිතන්නේ මේ ලෝකේ සතුටින්ම ඉන්න කෙනා මමයි කියල. මේ සේරටම මුල බුදු දහම. මට වරදින හැම වෙලේම මම බුදුන්ගේ පිහිට පැතුවා, අදටත් ඒ පිහිට පතනවා. ඒවගේම ඒ පිහිට මට ලැබෙනවා. ලැබිල තියනවා. අදටත් මගේ රෝමයේ වැඩපළේ සහ ස්ටුඩියෝ එකේ පිරිත් දානවා. බුදුන්ට, සීවලී හාමුදුරුවන්ට, සතර වරම් දෙවිවරුන්ට නමස්කාර කරනවා. බුදුපිළිම තියල වඳිනවා. පිරිත් නූල්, පිරිත් පැන් තියනවා. කොරෝනා කාලය ඉතාලියට ඉතා නරක කාලයක් වුණා. නමුත් මගේ ආරක්ෂාව ලැබුණේ පිරිත් වලින් හා පිරිත් පැන්වලින්. මගේ වැඩපළේ සහ ස්ටුඩියෝ එකේ තියන පිරිත් පැන් මම බොහෝ දෙනාට කොවිඩ් කාලයේ බොන්න දුන්නා. ඒ වගේම අදටත් “වියා ජුලියා” වීදියේ පිරිත් හඬ ඇහෙනවනම් ඒ මගේ ස්ටුඩියෝ එකේ විතරයි. හැමදාම ඒ පිරිත් සජ්ජායනය මගේ ස්ටුඩියෝ එකෙන් ඇහෙනවා. මම නැති වුණත් “යුරෝපා කොමිසමේ” සේවය කරන ඉතාලි ජාතික මගේ බිරිඳ සවසට පිරිත් දානවා. පහන් පත්තු කරනවා. ඒ නිසා වියා ජුලියා වීදියටම බුදුන්ගේ ආශීර්වාදය ලැබෙනවා. මට ඒක ලොකු ආඩම්බරයක්.” දුමින්ද පවසයි.

“මම මස්, මාළු හෝ කිසිම මාංශමය ආහාරයක් ගන්නේ නෑ. මත්ද්‍රව්‍ය, දුම්වැටි පාවිච්චි කරන්නේ නෑ. ඒ පිහිට මට තියනවා. මගේ බිරිඳත් එහෙම තමයි. මම නැති වුණත් අදත්, හැමදාමත් එයා බුදුන්ට පහන් තියනවා, පිරිත් දානවා. මම තනිකරම නිර්මාණ කරන්නේ, ජීවිතය ජයගත්තේ ආධ්‍යාත්මික ශක්තියෙන්, බුදුන්ගේ ශක්තියෙන්.” දුමින්ද කියයි.

රෝමයේ “වියා ජුලියා” (Via Giulia) වීදියෙන් ඇසෙන දුමින්දගේ පිරිත් හඬ

මේ වන විට ඔහු හා බිරිඳ එකතුව ප්‍රදර්ශන 20 කට වැඩි ගණනක් හා නිර්මාණ 200 කට වැඩි ගණනක් සිදුකර ඇති යුරෝපා සංගම් මූලස්ථානය, ඇතුළු ස්ථාන ගණනාවක ඔහු ඔහුගේ අතින් නිමවුණු මූර්ති ප්‍රදර්ශන පවත්වා ඇත. ඒ කෙසේ වෙතත් රෝමයේ “වියා ජුලියා” වීදියේ ඇති “දුමින්ද” කලාගාරයේ නිරන්තරයෙන් අජන්ත දුමින්දගේ කලා කෘති දිනපතා ප්‍රදර්ශනය කෙරෙන අතර, ඊට යාබද කාමරයේ ඇති වැඩපළේ ඔහු විසින් නිරන්තරයෙන් මූර්ති කලාව කරගෙන යනු ලබයි.

මේ දිනවල කෙටි සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණ සිටින දුමින්ද ජයසූරිය, ලබන සතියේ නැවත රෝමයේ පිහිටි තම කලාගාරය වෙත පිටත්ව යෑමට නියමිතව සිටින අතර ඉකුත්දා බළපිටිය තම නිවසේදී සිල් මෑණිවරුන් 25 ස් නමකගේ සහභාගිත්වයෙන් දානමය පින්කමක් හා සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පවත්වන ලද අතර, ගෙවී ගිය පොසොන් හා ඇසළ පුන් පොහෝ දෙදිනම

කොස්ගොඩ ආරණ්‍යයේදී සීල සමාදම් වීමටද දුමින්ද අමතක නොකළේය. මේ දිනවල මෙම කලාකරු පිළිබඳව පුවත්පත් විශේෂාංග හා රූපවහිනී සාකච්ඡා ද දැකගත හැකිය. ඔහු මෙරටින් පිටව යන්නට මත්තෙන් 077-6410611 අංකයෙන් ඔහුව ඇමතිය හැකිය. එසේම, @duminda.moods යන instagram මගින් හෝ ajanthadumindajayasuriya මුහුණු පොත ඔස්සේද දුමින්දව සම්බන්ධ කරගත හැකිය.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment