රාමසාන් සමයේ දියවැඩියා රෝගීන් උපවාස කළ යුත්තේ මෙහෙමයි

143

මුස්ලිම් බැතිමතුන් අතිමහත් බැතියෙන් සමරණ රාමසාන් උත්සව සමය මේ වනවිට උදා වී ඇත. ඒ අනුව ඔවුහු රාමසාන් උපවාසයේ යෙදෙමින් එම උත්සවය සමරනු ලබති.

මෙම උත්සව සමයේදී මුස්ලිම් ජනතාව දිනකට එක්වරක් පමණක් ආහාර ගනිමින් සිය උපවාසයේ යෙදී සිටිති. මෙහිදී එම උපවාසයේ යෙදෙන බැතිමතුනට තම සෞඛ්‍යය රැකගනිමින් එහි නිරත වීමට මුස්ලිම් ආගමේ අනුමැතිය ලබා දී ඇති බව මුස්ලිම් ආගමික නායකයෝ පවසති. එනිසා රෝගී පුද්ගලයන්ට, ගැබිනි මව්වරුන්ට, කිරිදෙන මවුවරුනට, කුඩා දරුවනට මානසික රෝගීව සිටින අයට සහ සිහිකල්පනාව මද අයට මෙම රාමසාන් උපවාසය අත්‍යවශ්‍ය කිරීමක් කුරාණය මගින් සිදුකර නොමැති බව ද ආගමික නායකයෝ පවසති.

මේ අනුව දියවැඩියා රෝගයෙන් පෙළෙන මුස්ලිම් බැතිමතුන් ද රාමසාන් උපවාසයේ යෙදෙන විට තම රෝගය පාලනය වන අයුරින් එහි නිරතවීමට අවධානය යොමු කළ යුතුය. එවිට දියවැඩියා රෝගය උපවාසයේ යෙදීමට බාධාවක් ඇති නොවේ. එහිදී සිය උපවාසය ආරම්භ කිරීමේදීම තමාගේ රුධිර සීනි මට්ටම පිළිබඳව නිසි පරීක්‍ෂාවක් සිදුකර ගැනීම වැදගත්ය. ඒ අනුව රුධිර සීනි මට්ටම අඩුවීමක් හෝ වැඩිවීමක් ඇතිවිමට ඉඩ නොදී උපවාසයේ යෙදිය හැකිය.

උපවාසය නිසා රෝගී වීමකට ලක්නොවී ආහාර පාන ගැනීම පාලනය කර ගැනීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ඒ අනුව ලබාගත හැකිය. මෙම රුධිර සීනි පරීක්‍ෂාව මගින් තමාට ඇති දියවැඩියා වර්ගය හඳුනාගෙන ඒ අනුව ආහාර පාලනය සඳහා යොමුවීම පහසු වේ.

එනම් තමාට ඇත්තේ පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගයක් ද එසේත් නැතිනම් දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගයක් දැයි කියා හඳුනාගත හැකිය. එසේම තමාගේ පවතින රුධිර සීනි මට්ටම අනුව ඉන්සියුලින් ගනු ලබන මාත්‍රාව හඳුනාගත හැකිය. ඖෂධ පෙති මගින් දියවැඩියාව පාලනය කරන අයෙක් නම් මෙම කාලය තුළ ඖෂධ ගත යුතු ප්‍රමාණය ගැන වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබාගත හැකිය. ඇතැම් ඖෂධ මගින් මුත්‍රා වැඩිපුර පිට වේ. එවිට උපවාසය සමයේදී ජලය පානය සිදුකරන ආකාරය ගැන උපදෙස් ලබා ගැනීමට හැකි වේ. ඉන් වකුගඩු වැනි ඉන්ද්‍රියනට හානියක් සිදුනොවීමට අවශය පියවර ගත හැකි වේ.

විශේෂයෙන් දියවැඩියාව පළමු කාණ්ඩයේ ඇතැම් රෝගීනට ආහාර පාලනය අධික වීමෙන් කෝමා තත්ත්වයක් (Diabetes asado keto) ඇති වේ. එවැනි අයට උපවාසයේ යෙදීම එතරම් සුදුසු නැත.

එසේම දියවැඩියාව නිසා හෘදයේ යම් අකර්මන්‍ය තාවයක් පවතී නම් එය වර්ධනය වීමට ඉඩ නොදී උපවාසයේ යෙදෙන අයුරු සම්බන්ධව උපදෙස් ලබාගත හැකිය. රාමසාන් උපවාසය සමයේ ඇතැම් මිත්‍යා මත ද පවතී. එනම් උපවාස කාලයේදී තම රුධිර සීනි මට්ටම පරීක්‍ෂාකර ගැනීම සුදුසු නැතැයි කියා ඇතැම් දෙනා සිතති. එය වැරදි මතයකි. වෛද්‍ය උපදෙස් මත තම රුධිර සීනි පරීක්‍ෂාව ග්ලූකෝ මීටරයක ආධාරයෙන් වුව සිදුකර ගැනීමට අවසර ඇත. එසේම යම් පුද්ගලයකුට උපවාස සමයේදී ක්ලාන්තය දැමීමක් වැනි අපහසුතාවක් මතු වේ නම් එහිදී වෛද්‍ය උපදෙස් මත උපවාසය නතර කළ හැකිය.

උපවාස කාලය තුළ රුධිර සීනි මට්ටම වැඩි වේ නම් හෝ ඉතා දැඩිව අඩුවීමක් සිදුවේ නම් එහිදී ද වෛද්‍ය උපදෙස් අනුව උපවාසය අත්හැරිය හැකිය. රාමසාන් උපවාස සමයේදී බැතිමතුන් වැඩිපුර ආහාර ගන්නේ රාත්‍රි කාලයටය. එනිසා මෙම කාලයේදී වෛද්‍ය නිර්දේශ අනුව වැඩිපුර ඖෂධ ලබා දෙන්නේ රාත්‍රි කාලයටය.

වකුගඩු රෝග ආදිය ඇති සහ මුත්‍රා සමඟ සීනි පිටවීමට ඖෂධ ලබාදී ඇති අය උපවාසය අත්හැරිය විට ජලය වැඩිපුර පානය කළ යුතුය. උපවාස සමයේ දියවැඩියා රෝගීන් අධික වෙහෙසකර ව්‍යායාමවල යෙදීම නොකළ යුතුය. එසේම ඇවිදීම වැනි ව්‍යායාමවල යෙදීමේදී දිවා කාලයේදී සහ අව්ව පවතින අවස්ථාවලදී නොයෙදී සවස් කාලයේ ඇවිදීම කිරීම මගින් සිරුරින් පිටවන දහදිය ප්‍රමාණය අවම කර ගත හැකිය.

උපවාස සමයේදී දියවැඩියා රෝගියකුගේ රුධිර සීනි මට්ටම 300 ට අධික අගයක් හෝ 70 ට අඩු අගයක් පවතී නම් වහාම උපවාසය අත්හැරිය යුතුය.

එසේම මුත්‍රා දැවිල්ලක්, මුත්‍රා ආසාදනයක් ඇතිවීම, ක්ලාන්ත බවක්, උණ සහිත බවක් හට ගනී නම් උපවාසය නතර කර ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. දියවැඩියා රෝගීන් උපවාස සමයේදී තම ආහාර රටාව වෙනස් නොකළ යුතුය. ආහාර ගනු ලබන මොහොතේදී සමබල ආහාර වේලක් ගැනීමට අවධානය යොමු කළ යුතුය. එහිදී කැඳ වර්ග වැඩිපුර ගැනීම නොකළ යුතුය. පැණි රස ආහාර වර්ග ගැනීම සීමා කළ යුතුය.

රාමසාන් උපවාස සමය අවසන් වූ පසු ද තම ආහාර පාලනය සිදුකළ යුතුය. ඇතැම් රෝගීන් සිතන්නේ උපවාස සමයේදී ආහාර පාලනය කළ නිසා තමා වැඩිපුර ගත්තාට ගැටලුවක් නැතැයි කියාය. එය වැරදි මතයකි. උපවාස සමයෙන් පසු දා පැණි රස ආහාර වර්ග වැඩිපුර නොගෙන නිසි ආහාර පාලනයක් කළ යුතුය. එනම් ආහාර සඳහා ඇතිකර ගෙන ඇති විනය පවත්වා ගත යුතුය.

එසේම උපවාස සමය අවසන් කළ පසු නැවත වරක් තම රුධිර සීනි පරීක්‍ෂාවක් සිදුකර ගැනීම මගින් උපවාස සමයේදී තමා අනුගමනය කළ පිළිවෙත් හි ප්‍රතිඵල හඳුනාගත හැකිය. එය ඊළඟ රාමසාන් උත්සවයේදී තමා උපවාසය ගත කරන ආකාරය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට වැදගත් වේ. එනිසා රාමසාන් උපවාසයේ යෙදෙන දියවැඩියා රෝගී බැතිමතුන් නිසි වෛද්‍ය උපදෙස් මත එහි නිරතවීමෙන් නිරෝගී බව රැක ගනිමින් උපවාසයේ යෙදී සිය ආගමික වතාවත් හි නිරත විය හැකිය.

කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය විද්‍යාජෝති
 ප්‍රසාද් කටුලන්ද

සාකච්ඡා කළේ
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment