බෙහෙත් වර්ග 230ක් හිඟයි – දන්ත වෛද්‍ය සේවා කඩා වැටීමේ අවදානමක්

89

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 230 ක පවතින උග්‍ර හිඟය හේතුවෙන් දන්ත වෛද්‍ය සේවාව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම ඖෂධ සැපයීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ග්‍රාමීය පාසල් දන්ත වෛද්‍ය කටයුතු, මාතෘ හා ළමා දන්ත වෛද්‍ය සේවාවන් මුළුමනින්ම කඩා වැටීමේ අනතුරුදායක තත්ත්වයක් උද්ගත විය හැකි බව ද එම සංගමය පෙන්වා දෙයි.

දන්ත වෛද්‍ය සේවාව පූර්ණ ලෙස පවත්වාගෙන යෑමට ඖෂධ සහ උපකරණ වර්ග 2,000 කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන නමුත් මේ වන විට රට තුළ පවතින තත්ත්වය සලකා බලා ප්‍රමුඛතා අනුපිළිවෙළ මත ඖෂධ වර්ග 230 කට ආසන්න ප්‍රමාණයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇතත් එය සැපිරීමට මේ දක්වා පියවර ගෙන නැතැයි ද එම සංගමය චෝදනා කරයි.

සෞඛය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් ඒකකය, ඖෂධ නියාමන අධිකාරිය හා රාජ්‍ය ඖෂධ සංස්ථාව අතර ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා භාණ්ඩ මිලදී ගැනීමේ යාන්ත්‍රණයේ පවතින ප්‍රමාදයන් දන්ත වෛද්‍ය සේවාවට ද දරුණු බලපෑමක් එල්ල කර ඇතැයි ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment