අයිඑම්එෆ් එක සමග විපක්ෂයට රජය විසින් ලබා දුන්නේ යැයි කියන සාකච්ඡා ගැන විවිධ අදහස් මේ වන විට ප්‍රකාශයට පත්ව ඇත. එම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා හැර විපක්ෂයේ සෙසු පක්ෂ සහභාගි නොවූ බව අපි දැන් දනිමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමටය කියා රජය කිව්වත් විපක්ෂයේ සෙසු පක්ෂ පමණක් නොව එයට අඩු තරමේ මෙරටට පැමිණ සිටින අයිඑම්එෆ් නියෝජිතයන් හෝ සහභාගි වී සිටිනු දක්නට නොලැබිණි. රජය අයිඑම්එෆ් එක සමග සාකච්ඡාවට විපක්ෂයටත් ඉඩ දෙන බවට කියන විට අපට නම් සිතුණේ මේ දිනවල මෙරටට පැමිණ සිටින අයිඑම්එෆ් නියෝජිතයන් සමග විපක්ෂයේ පක්ෂවලට සාකච්ඡාවට අවස්ථාවක් ලබා දී ඇති බවයි. එහෙත් අවසානයේ සිදුව ඇත්තේ අයිඑම්එෆ් නියෝජිතයන් කිසිවෙක් නැතුව විපක්ෂයේ පක්ෂ රජය සමග සාකච්ඡාවට කැඳවා තිබුණු බවයි. මේ ගැන ජවිපෙ විජිත හේරත් මන්ත්‍රීවරයා මෙන්ම සජබ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ද විවේචනාත්මක අදහස් පළ කර තිබුණි.

මැතිවරණ සහ අයි එම් එෆ් හෙට දවස

මේ අයිඑම්එෆ් සාකච්ඡාවට විපක්ෂයේ පක්ෂ සහභාගි නොවීම ගැන මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා මෙසේ කියා තිබුණි.

‘ඉතා අසීරු තීන්දු තීරණ මත ජනතාවගේ දැඩි කැපවීමෙන් ගොඩනැඟෙමින් පවතින රට වැඩපිළිවෙළක් නොමැති කණ්ඩායමකට බලය හිමිවීමෙන් සති දෙක තුනක් තුළ යළි කඩා වැටිය හැකියි. එවැනි තත්ත්වයක් තුළ රට වසර එකහමාරකට පෙර පැවැති තත්ත්වයටත් වඩා බරපතළ මට්ටමක් දක්වා ගමන් කළ හැකි බවයි. එබැවින් ඉදිරියේ පැවැත්වෙන කුමන හෝ මැතිවරණයක දී වඩාත් වැදගත් වන්නේ දැනට ක්‍රියාක්මක වන වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යන කණ්ඩායමක් බලයට පත්වීමයි..

මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබුණු අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා වටය මගහැරීමෙන්ම විපක්ෂයේ බංකොලොත්භාවය ඔප්පු වෙන බව ද ජනප්‍රිය සිහින පෙන්වන වැඩපිළිවෙළක් නොමැති කණ්ඩායමක් කෙරෙහි ජනතාව විශ්වාසය නොතබනු ඇති බව ද ඔහු සඳහන් කර තිබුණි. මේ කියන පරිදිම ඉදිරි මැතිවරණවලින් පසුව අයිඑම්එෆ් වැඩසටහන ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් යම් දේශපාලන ප්‍රශ්නයක් මතුව තිබෙන බව පෙනේ. එහෙත් අයිඑම්එෆ් එක කටයුතු කරන්නේ නම් පවතින රජය සමග බව කිව යුතු වේ. ඒ නිසා ඉදිරි මැතිවරණවලින් මේ රජය හැර වෙනත් කණ්ඩායමක් බලයට පත් වුවහොත් මූල්‍ය අරමුදල එවිට කටයුතු කරන්නේ ජනතාව පත් කළ එම නව රජය සමගය. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ එවිට අයිඑම්එෆ් වැඩසටහනට අනුව ක්‍රියාත්මක කරමින් සිටින ආර්ථික ප්‍රතිසංස්කරණවලට කුමක් සිදුවේ ද යන්නයි. මේ නිසා අප සිතන්නේ අයිඑම්එෆ් සමග එකඟ වී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විපක්ෂය මෙන්ම මේ රටේ ජනතාව ද දැනුවත් කර විනිවිදභාවයෙන් කටයුතු කිරීම වැදගත් බවයි. ඒ අර්ථයෙන් නම් අයිඑම්එෆ් සමග එකඟ වී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ රජය විසින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ සමග ද පුළුල් එකඟත්වයකින් කටයුතු කළ හැකි නම් එය මෙම වැඩසටහන ඉදිරි මැතිවරණවලින් පසුව ද ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ප්‍රයෝජනවත් වනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලෙන් පැමිණ රටකට උදව් කරන්නේ නැත. මේ නිසා වෙනත් රටවලට මෙන් ම අප රටට ද අයි.එම්.එෆ්. එක සහාය දී ඇත්තේ අපගේ අවශ්‍යතාවට මිස මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවකට නොවේ. අයි.එම්.එෆ්. එකේ හොඳ නරක කෙසේ වෙතත් එහි සහාය පැතීමට අවශ්‍ය වන තත්ත්වයට අපේ ආර්ථිකය පත් කළේ අපගේම ආර්ථික බලධාරීන්ගේ වැරදි ආර්ථික කළමනාකරණය නිසාය. එසේ වැරදි ආර්ථික කළමනාකරණය තුළින් රට අයි.එම්.එෆ්. සහාය පැතිය යුතු තැනට අප විසින්ම පත් කරගෙන දැන් අයි.එම්.එෆ්. එකේ අගුණ කියමින් එයට බැණ බැණ සිටීමෙන් වැඩක් නැත. දැන් කළ යුතුව ඇත්තේ රට මුහුණ දී සිටින මේ ආර්ථික අර්බුදයෙන් ඉතා ඉක්මනින් මිදී රට නැවත එවැනි තත්ත්වයට පත් නොවන තැනට ක්‍රියාමාර්ග ගැනීමයි. එය ඉදිරි මැතිවරණයෙන් බලයට පත්වෙන ඕනෑම රජයක ද වගකීමකි.

මෙවර විශේෂත්වය වන්නේ කලින් අයි.එම්.එෆ්. සහාය ලබාගත් අවස්ථා මෙන් නොව, මෙවර අපගේ ණය ගෙවාගෙන යෑමේ හැකියාව ද අහිමි වී තිබීමයි. ඒ නිසා අපට අයි.එම්.එෆ්. එකෙන් කිසිදු මූල්‍ය පහසුකමක් ගැනීමට නොහැකි තත්ත්වයක් ද මතුව තිබීමයි. එබැවින් අයි.එම්.එෆ්. අරමුදල් වැඩසටහනකට ඇතුළත් වීමට පෙර අපට ප්‍රථම වතාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එම ණය හිමියන්ගේ කැමැත්ත ගැනීමට ද සිදු විය. ඒ සඳහා ඔවුන් සමග සාකච්ඡා කිරීමට කාලයක් ද ගත විය. මේ අනුව අපගේ විදේශ දේශීය ණය පවා ප්‍රතිව්‍යුහගත කිරීමට අපට සිදු විය. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අප එම ණය හිමියන් සමග එකඟතා ඇතිකරගෙන තිබුණත් දැන් ඒවා අවසන් එකඟතා බවට පත්කරගෙන එම ණය ප්‍රතිව්‍යුහගතකරණ ආකාරය සම්බන්ධයෙන් ඔවුන් සමග ගිවිසුම්ගත වීමට අවශ්‍යව තිබේ. දැන් අප පසුකරමින් සිටින්නේ එම ක්‍රියාවලියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අදාළ තුන්වන ණය වාරිකය ලබාගැනීමට නම් අපට එම අවසන් එකඟතා ගැන ගිවිසුම්ගත වීමට සිදු වේ. ඒ සම්බන්ධ සාකච්ඡා දැන් සිදුවෙමින් ඇත. මේ සියල්ල අපි දනිමු. දැන් තෙල් හෝ ගෑස් පෝලිම් නැති වුවත් රට තිබෙන්නේ තවමත් ඉතා හොඳ තැනක නොවේ. ආර්ථිකයේ යම් ස්ථාවර තත්ත්වයක් ඇතිකර ගැනීමට රජය සමත්ව තිබුණත් අප තෝරාගෙන ඇති මේ ගමන් මාර්ගයේ තව බොහෝ දුරක් ගමන් කිරීමට අපට සිදුවනු ඇත. මැතිවරණ නිසා එයට යම් යම් බලපෑම් ද සිදුවිය හැකිය.

මැතිවරණ සහ අයි එම් එෆ් හෙට දවස

ඉතිහාසයේ අනෙකුත් සියලුම කාලවලට වඩා අති දුෂ්කර කාලයක් අප පසු කරමින් ජනයා අති විශාල කැප කිරීම් කරමින් සිටී. අයි.එම්.එෆ්. සමග එකඟ වී සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග හරහා තවදුරටත් බොහෝ ආර්ථික පීඩාවන්ට මුහුණ දීමට ද මෙරට ජනයාට සිදුවන්නේය. වැරදි ආර්ථික තීන්දු තීරණ ගත් අය මිස මේ ආර්ථික අර්බුදයට සාමාන්‍ය ජනයා වගකිව යුතු නොවේ. එහෙත් මේ ආර්ථික අර්බුදයෙන් මිදීමේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවල ආර්ථික පීඩාව වැඩි වශයෙන්ම දරන්නේ රට ඒ තත්ත්වයට පත් කිරීමට වගකිව යුතු නැති අතිමහත් බහුතර සාමාන්‍ය ජනයායි. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණවල දී විඳීමට සිදුවෙන ආර්ථික පීඩාව හෝ වේදනාව සියලු දෙනාට ම අඩු වැඩි වශයෙන් විඳ ගැනීමට සිදුවෙන නමුත් එම වේදනාව බෙදා ගැනීමේ දී, ඒ සඳහා වැඩි වශයෙන් දායක වියයුතු වන්නේ ඒ සඳහා හැකියාව සහ ශක්තිය වැඩි වශයෙන් තිබෙන අය විසිනි. එසේ නම් ධනවත් සහ ඉහළ ආදායම් සහ වැටුප් උපයන අයට ද මේ මොහොතේ වැඩි කැපකිරීමක් කළ හැකිය. එනම් අප සිතන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය සහ මහ බැංකුව අනුගමනය කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවල ආර්ථික පීඩාව හෝ වේදනාව බෙදා ගැනීමේ කිසියම් සාධාරණත්වයක් තිබිය යුතු බවයි. එහිදී රටේ මහ බැකුව විසින් රටවැසියාට ලොකුම ආදර්ශය ලබාදිය යුතු වන ආයතනයකි. පසුගිය වසර කිහිපය මුළුල්ලේ සමස්තයක් ලෙස රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මූර්ත වැටුප් විශාල ලෙස පහළ ගොස් ඇත්තේ සහ බදු ප්‍රතිපත්තියේ සිදු කළ සංශෝධන හේතුවෙන් තම වැටුපෙන් හෝ ආදායමින් වැය කළ හැකි ආදායම සීමා වීම සිදුව ඇත්තේ මහ බැංකු සේවකයන්ගේ පමණක් නොවේ. මේ අමාරු මොහොතේ විශාල ප්‍රතිශතයක වැටුප් වැඩි කිරීමක් හරහා එම බලපෑම් මුළුමනින්ම තමන් විසින්ම ඉවත් කර ගන්නේ නම් රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අනුගමනය කරන ක්‍රියාමාර්ගවල ආර්ථික පීඩාව හෝ වේදනාව දැරීමට මහ බැංකු නිලධාරීන් දායක වන්නේ නැද්ද යන ප්‍රශ්නය මහජනයාට මතු වේ. මෙවන් විශාල වැටුප් වැඩි කිරීමක් මේ වෙලාවේ කිරීම සුදුසු නැති බව මහ බැංකු පාලක මණ්ඩලයේ කිසිවකුට හෝ තේරුම් ගොස් නැත. මේ නිසා අද වනවිට රටේ වැඩියෙන්ම බැනුම් අහන ආයතනය බවට මහ බැංකුව පත්ව තිබේ. මේ වනවිට මහ බැංකුවේ පාලක මණ්ඩලයේ දැනුම්දීම මත මහ බැංකුව විසින්ම පාර්ලිමේන්තුවට කරුණු කියන්නට ගොස් මහ බැංකුවේ වැටුප් ප්‍රශ්නය හොඳටම අනාගෙන තිබේ. එයට මහ බැංකුවේ පාලක මණ්ඩලය සාමූහිකව වගකිව යුතුය. ඒ නිසා අපටත් කීමට තිබෙන්නේ එම වැටුප් වැඩි කිරීමේ තීරණය නැවත සලකා බලා යම් සුදුසු වෙනත් තීරණයක් ඉතා ඉක්මනින් ගැනීම සුදුසු බවයි.

මුලින් අයිඑම්එෆ් එක සමග සාකච්ඡාවක් විපක්ෂයට ලබා දෙනවා කිව්වත් රජය දැන් එය අර්ථකථනය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් වශයෙනි. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පසුගිය මාර්තු 11 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් කිව්වත් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියේ දෙමළ ජාතික සන්ධානය පමණකි. ඒ සඳහා සමගි ජනබලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ද එක්ව නොසිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවල දී සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළැඹීම වෙනුවෙන් රජයේ කැපවීම මෙහිදී අවධාරණය කෙරුණු බව මේ හමුව ගැන ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. රජයට ඇත්ත වශයෙන්ම මෙවැනි කැපවීමක් තිබේ නම් එය ඉතා හොඳය. එය රජය විසින් ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුය. එවිට ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ශ්වයන්ට මෙන්ම සාමාන්‍ය ජනයාට ද මේ සම්බන්ධයෙන් විශ්වාසය ඇති වේ. එහෙත් රජය විසින් එම විශ්වාසය තහවුරු කිරීමට තවමත් සමත්ව නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කර ඇති විශ්ලේෂණාත්මක දත්ත සහිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා රජය කැඳ වූ මේ හමුවේ දී සඳහන් කර ඇත. මෙම සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යෑම රජයේ අරමුණ බව පවසා ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අදාළ විශ්ලේෂණාත්මක දත්ත වාර්තා මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයට සහ පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කරන බව සඳහන් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අඛණ්ඩව කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බව වැඩිදුරටත් සඳහන් කර ඇති ජනාධිපතිවරයා මෙම යෝජනා පිළිබඳ තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු අනෙකුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවකට ආරාධනා කරන බව ද පවසා ඇත. එම සාකච්ඡා සඳහා සහභාගි වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහනේ දී රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සාධනීය සහ නිවැරදි වැඩපිළිවෙළක් වෙනුවෙන් තම සහාය ලබාදෙන බවද ඔහු පවසා ඇත. මේ අනුව පැහැදිලි වන්නේ මේ සාකච්ඡාව ගැන රජය මුලින් සිදුකළ සන්නිවේදනයේ ගැටලුවක් ඇති බවයි. එනම් මෙය අයිඑම්එෆ් එක සමග විපක්ෂයට ලබා දුන් සාකච්ඡාවක් නොව අයිඑම්එෆ් එක සමග එකඟ වී රජය ක්‍රියාත්මක කරන දේ ගැන සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබූ සකච්ඡාවකි. මේ නිසා රජය එය නිවැරදිව සන්නිවේදනය කළ යුතුව තිබුණි. මේ ගැන මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙසේ අදහස් දක්වා තිබුණි.

‘මම කියපු කතාවක් වැරදි විදිහට අර්ථකථනය කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂවලට ඉඩ දෙන්න කියල මම ඉල්ලුවා කියල, ඒක වැරදියි. මම කිව්වේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජාත්‍යන්තර ණය හිමියන් සමග කරන සාකච්ඡාවලදී විපක්ෂය සම්බන්ධ කරගන්නා ලෙසයි. මූල්‍ය අරමුදල සහ විදේශීය ණය හිමියන් කියන්නේ කණ්ඩායම් දෙකක්.

මේ පසුබිම තුළ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කැඳවන ඉදිරි සකච්ඡාවලට විපක්ෂයේ සෙසු පාර්ශ්වයන් සහභාගි වේ ද යන්න සැක සහිතය. එහෙත් රට මේ අමාරු තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා රජය මෙන්ම විපක්ෂයේ පක්ෂ අයිඑම්එෆ් වැඩසටහන ගැන පුළුල් එකඟත්වයකින් කටයුතු කරන්නේ නම් එය ඉතාමත් යෝග්‍ය බව අපට මහජනයාගේ පැත්තෙන් සඳහන් කළ හැකි වේ. අයිඑම්එෆ් සමග එකඟ වන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ විකල්පය ගැන වඩාත් හොඳට සලකා බලා ඒ සම්බන්ධ තීන්දු තීරණ ගැනීම වඩාත් සුදුසු වේ. තවමත් ක්‍රියාත්මක වන්නේ රට පාලනය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් ජනවරමයි. එම ජනයාගේ අපේක්ෂාවන්ට පටහැනි බොහෝ දේවල් මේ වන විට සිදු වෙමින් ද තිබේ. ඒ නිසා නිසි ජනවරමක් නැති අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ වත්මන් පාලකයන් රට සම්බන්ධයෙන් තනි සහ ඒකපාර්ශ්වික තීන්දු තීරණ ගැනීමට වඩා රටේ විවිධ පාර්ශ්වයන් සහ දේශපාලන පක්ෂ සමග පුළුල් එකඟත්වයකින් යුතුව හැම විටම කරන දේ ගැන රටේ ජනයා දැනුවත් කරමින් ඉදිරි ජාතික මැතිවරණය තෙක් ඇති මේ කෙටි කාලයේ දී කටයුතු කිරීම වඩාත්ම සුදුසු වනු ඇති බව අපට කිව හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment