චැනල් ෆෝ කියන කරුණු ගැන සොයන්න – තේරීම් කාරක සභා වැඩක් නෑ

314

කාදිනල්තුමා කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර කණ්ඩායම්වල සහාය ලබාගෙන විමර්ශනයක් සිදුකර එම ප්‍රහාරයේ ඇත්ත නැත්ත වහා හෙළිකරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තරව පිළිගත් නියමයන්ට අනුකූලව පවත්වන එම විමර්ශනයට, එම ප්‍රහාරය සිදුවූ පසු මූලික විමර්ශන සිදුකළ හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විවිධ ප්‍රදේශවලට මාරුකර සිටින, විමර්ශන නිලධාරීන් සියලුදෙනා ඇතුළත් කළ යුතු බව ද එතුමා කීවේය.

කොළඹ අගරදගුරු මැඳුරේ ඊයේ (06 දා) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කාදිනල්තුමා මේ බව කීවේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පාදක කරගෙන බි්‍රතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනි නාලිකාව ඔස්සේ ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (06 දා) අලුයම 3.35 ට විකාශය කරන ලද වාර්තාව පාදක කරගනිමින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබිණි.

මෙම රූපවාහිනි නාලිකාව විකාශය කරන ලද වාර්තාවෙහි අඩංගු කාරණා පිළිබඳව ද විමර්ශනයක් කර ඇත්ත හෙළිකළ යුතු බව ද කාදිනල්තුමා කීවේය.

චැනල් ෆෝ නාලිකාවේ අදාළ වාර්තාව මගින් දැක්වූ කරුණු පිළිබඳ විමර්ශනය සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන බවට පළවූ අදහස ඵලක් නැති බව ද කාදිනල්තුමා කීවේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය සෙවීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැතිව සිටි කාලයේදී පාර්ලිමේන්තු කමිටුවක් පත්කළ බවත් ඊට අමතරව ඒ පිළිබඳ විමර්ශනය කිරීමට කොමිෂන් සභා දෙකක් පත්කළ බවත් එතුමා කීවේය.

එනිසා පාර්ලිමේන්තුව පත්කරන කමිටු හරහා මේ පිළිබඳ අපක්‍ෂපාතී විමර්ශනයක් සිදුනොවන බවත්, එවැනි කමිටු පත්කර කාලය හා මුදල් නාස්තිකර ජනතාව මුලා කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවත් කාදිනල්තුමා කීවේය.

එනිසා පාස්කු ප්‍රහාරය පිළිබඳ හා එම ප්‍රහාරය මෙහෙයවූ මහ මොළකරුවන් පිළිබඳ සත්‍ය හෙළි කරගත හැකි පරිදි ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක හා ජාත්‍යන්තරව පිළිගත් නිර්දේශ මත විමර්ශනයක් කර මේ ප්‍රහාර මෙහෙයවූ මහ මොළකරුවන් හා එහි අරමුණ කුමක්දැයි හෙළිකළ යුතු බව ද කාදිනල්තුමා කීවේය.

පාස්කු ප්‍රහාරය වළක්වාලීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හා අනෙකුත් උසස් පොලිස් නිලධාරීන්ගේ සේවය, විමර්ශනය අවසන් වනතුරු අත්හිටුවිය යුතු බව ද කාදිනල්තුමා කීවේය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව තමා ගෝඨාභය රාජපක්‍ෂට ඡන්දය දෙන ලෙස කිසිදු ප්‍රකාශයක් නොකළ බවත්, තමා එසේ ප්‍රකාශ කළ බව කී මන්ත්‍රීවරු දෙපෙළක් අද සිටින්නේ කොතැනදැයි රටටම පේන බවත් එතුමා පැවැසීය.

දෙව් මවුන්ගේ උපන් මංගල්‍යය යෙදෙන හෙට (08 දා) සවස 6.30 ට යුක්තිය වෙනුවෙන් දේවමෙහෙයක් පැවැත්වෙන බව ද කාදිනල්තුමා පැවැසීය.

ශිරාන් රණසිංහ, ඡායාරූපය – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment