කිසිදා ඉටුනොවන අපගේ ඉල්ලීම – (ජපානයේදී මියගිය විශ්මා සඳමාලි වෙනුවෙනි)

1410

හැමදාමත් දේශපාලන කුණු ගොඩවල් ගැන කතුවැකි ලිවීමේදී අපට මාර බෝරින් ගතියක් දැනේ. පාඨකයාටත් එය එසේම වනු ඇතැයි අපි විශ්වාස කරමු. එබැවින් අද අපි ලිවීම සඳහා තෝරාගන්නේ මීට අවුරුදු කිහිපයකට පෙර ජපානයට ගොස් පසුව සංක්‍රමික කඳවුරකට කොටුවූ විශ්මා සඳමාලි රත්නායක නමැති තරුණියගේ මරණය පිළිබඳ ඛේදජනක කතන්දරයයි. ඇය 2017 දී ජපානයට ගියාය. ඒ ශිෂ්‍යාවක් ලෙසය. 2019 දී ඇගේ ශිෂ්‍ය වීසාව නිමාවට පත්වෙයි. ඉන්පසු ඇය සරණාගතභාවයට ඉල්ලුම් කළාය. ජපානය ඇයට සරණාගත තත්ත්වය ලබාදුන්නේ නැත. පිට රටවල්වලට ගොස් සරණාගතභාවය ඉල්ලීමෙන් මේ රටේ මිනිස්සු ලොකු අමාරුවක වැටෙති. කෙනෙක් සරණාගත තත්ත්වයට පත්වීමට සුදුසුකම් රැසක් සපුරාලිය යුතුය. එක්කෝ ඒ පුද්ගලයාට රට තුළ දේශපාලන තර්ජන තිබිය යුතුය. දේශපාලනඥයන් ඔහු හෝ ඇය ඝාතනය කිරීමට උත්සාහ කළ අවස්ථා තිබිය යුතුය. පහරදුන් අවස්ථා තිබිය යුතුය. නොඑසේ නම් සරණාගත භාවය අපේක්ෂා කරන්නා සුළු ජාතියකට අයත් විය යුතුය. යුද සමයේදී මේ රටේ සිවිල් දෙමළ ජනතාව ලක්ෂ ගණනින් පිට රටවල් බලා සංක්‍රමණය වූහ. ඔවුන්ට ඒ වෙලාවේදී සරණාගතභාවය ලබාගැනීම සඳහා ඉදිරිපත් කළේ මේ රටේ තිබූ ජනවාර්ගික යුද්ධයයි. එවැනි කාරණාවක් ඉදිරිපත් කළද සරණාගතභාවය නිකන්ම ලැබෙන්නේ නැත. යුද සමයේදී පිට රටවල්වලට පැන ගිය ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන් වැඩි දෙනා කියා සිටියේ සිංහල බහු ජාතියත් සිංහල යුද හමුදාවත් සිංහල ආණ්ඩුවත් තමන් මරන්නට යන බවය. මෙහිදී සිංහල යන වචනයට ලොකු තැනක් ලැබෙන අතර එයට හේතුව දෙමළ ජනයා සුළු ජාතියක් වීමත් සිංහලයා මේ රටේ බහු ජාතිය වීමත් යුද්ධය පවතින්නේ සිංහල හා දෙමළ දෙජාතිය අතර වීමත්ය. ඒ කරුණු ඉදිරිපත් කළත් කිසිදු රටක් හක්ක පටස් කෑවාක් මෙන් එකෙනෙහිම එම පුද්ගලයන්ට සරණාගතභාවය දෙන්නේ නැත. සරණාගතභාවය අපේක්ෂා කරන්නා ඔවුන් පැන ගොස් සිටින රටේ සරණාගත කඳවුරක රඳවන අතර එතැන් සිට එම සරණාගතයාගේ ඉල්ලීම කොතරම් දුරට යුක්ති සහගතද යන්න තීන්දු කිරීම සඳහා නඩුකරයක් පවත්වාගෙන යනු ලැබේ. මේ නඩුකරයේ දළ ස්වරූපයට අනුව සරණාගතයා අදාළ රටේ වීසා නොමැතිව රැඳී සිටීමට විරුද්ධව ආණ්ඩුව නෛතික ක්‍රියාවලියකට ගොස් ඇති බව පැහැදිලි වෙයි. සරණාගතයා කරන්නේ එම නඩුවේදී තමන් නිවැරදිකරු බවට අධිකරණයෙන් තීන්දුවක් ලබාගැනීම සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීමය. ඔවුන් මෙම සාක්ෂි ඉදිරිපත් කරන්නේ සරණාගත ප්‍රශ්න සම්බන්ධයෙන් පුළුල් දැනීමක් ඇති Migration Lawyer කෙනකු හරහාය. ඒ සඳහා එකී කළු කෝට්කාරයාට මුදල් ගෙවිය යුතුය. අන්තිමේදී කේස් එක දිනුවත් නැතත් කළු කෝට් කාරයා එතෙර වෙයි. එයට හේතුව ඔවුන්ට යහමින් මුදල් ලැබීමය. මේ නඩුව අවසානයේදී සරණාගතයා දිනුවොත් අදාළ රටේ ආණ්ඩුව ඔහුට යැපීමේ දීමනාවක් හෝ work permit එකක් සහිත තාවකාලික වීසාවක් නිකුත් කරනු ලැබේ. සරණාගතයා පිස්සු කෙළින්නේ නැතුව හරිආකාරව අදාළ රට තුළ ජීවත් වුණොත් ඔහුට හෝ ඇයට Permanent Resident (PR) පහසුකම ලැබේ. තවත් කලකට පසු පුරවැසිභාවයද ලැබේ. ඇතැම් විට මේ සියලු කාරණා සඳහා අවුරුදු 10 ක පමණ කාලයක් වැය වේ. එහෙත් නිසි සාක්ෂි ඉදිරිපත් කළ හැකි සැබෑ සරණාගතයාට අවුරුද්දක් තුළ ගොඩඑන්නට පුළුවන. මේ ආකාරයෙන් යුරෝපය ඇතුළු විදේශ ගණනාවකට මේ රටින් පැන ගිය සරණාගතයන්ට පුරවැසිභාවය ලැබී තිබේ. දැන් අපි නැවත වතාවක් විශ්මා සඳමාලි පිළිබඳ ඛේදවාචකය දෙසට හැරෙමු. 2017 දී ජපන් වීසාව අවලංගු වීමෙන් පසු විශ්මා සඳමාලිගේ ඉල්ලීම ජපානය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඉන්පසු 2020 දී වීසා නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ ඇය අත්අඩංගුවට ගනු ලැබේ. මෙහිදී ජපන් බලධාරීහු නගෝයා රැඳවුම් මධ්‍යස්ථානයේ ඇය රඳවා තබති. 2021 දී ඇය රෝගී වෙයි. ජපන් බලධාරීන් හිතන්නේ ඇය හොර ලෙඩක් ගෙන ඇති බවය. තමා රෝහල්ගත කරන ලෙස විශ්මා ඉල්ලුවද ජපානය එයට කන් දෙන්නේ නැත. අන්තිමේදී එක දවසක් උදේ බලන විට විශ්මා සඳමාලි නිදි ඇඳේම මියගොස් සිටියාය. ඇගේ මරණය සම්බන්ධයෙන් ජපානය වගකිව යුතුය.

පොලිස් කූඩුවකදී කිසිවකු මිය ගියොත් එම මරණයේ වගකීම භාරගැනීමට පොලිසියට සිදුවෙයි. එවැනි මරණයක් රිමාන්ඩ් එකේ සිදුවුණොත් එහි වගකීම රිමාන්ඩ් එකේ කට්ටියටය. කිසියම් ආණ්ඩුවක් යටතේ සිටින කඳවුරක් තුළ රඳවාගෙන සිටින සරණාගතයකු මියගියහොත් එහි වගකීම කෙළින්ම යන්නේ අදාළ ආණ්ඩුවටය. ජපානය මුල් අවස්ථාවලදී අඩුම වශයෙන් මේ තරුණිය එරටින් පිටුවහල් කළේ නම් සිදුවන්නේ විශ්මා සඳමාලි ස්වකීය ජපන් සිහිනයෙන් අවදි වීම පමණි. එවිට ඇගේ මරණය සිදුවන්නේ නැත.

ජපානය යනු ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිත්‍රයෙකි. දෙවැනි ලෝක යුද සමයේදී ජපානය හිට්ලර් සමග එක්ව යුද අපරාධ රැසක් කළේය. 1937 දෙසැම්බර් 13 දා චීනයේ නැන්ජින් නගරයට කඩාවැදුණු ජපන් හමුදාව සති 6 ක කාලයක් තුළ චීන ජාතිකයන් තුන් ලක්ෂයක් සංහාරය කළේය. මෙය බරපතළ යුද අපරාධයක් ලෙස සලකනු ලැබේ. ඇමරිකාව විසින් ජපානයට පරමාණු බෝම්බ හෙළනු ලැබීමට එක් හේතුවක් වන්නේ ද මේ සංහාරයයි. දෙවන ලෝක යුද්ධය පැරදී ජපානය ඉතාලිය සහ ජර්මනිය විත්තිකරුවන් වූ පසු ඔවුන්ට දඬුවම් කිරීම සඳහා ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවරදී තීන්දු ගැනීමේ සමුළුවක් පවත්වන ලදී. යුද අපරාධ සම්බන්ධයෙන් ජපානයට විශාල දඩ මුදලක් පැමිණවිය යුතු බව එහිදී තීන්දු විය. එයට විරුද්ධ වූ, එම සමුළුවට සහභාගි වෙමින් සිටි ශ්‍රී ලංකාවේ නියෝජිත ජේ. ආර්. ජයවර්ධන වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව කියමින් ජපානයට දඬුවම් නොකරන්නැයි සමුළුවේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය. අන්තිමේදී ජපානයට කිසිදු දඬුවමක් නොදෙන ලදී. එදා ජේ. ආර්. නොසිටින්නට ජපානයට කෙළවෙන කෙළවිල්ල සුළුපටු කෙළවිල්ලක් නොවනු ඇත. ජපානය වෙනුවෙන් එසේ පෙනී සිටි රටක් වන ශ්‍රී ලංකාවේ ජනතාවට මේ ආකාරයෙන් සැලකීම වරදක් බව කියමින් ජපානයට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණයට යන ලෙස අපි රජයෙන් ඉල්ලමු. එහෙත් අපේ ඉල්ලීම කිසිදාක ඉටුවන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment