ජෙරොම්ගේ පෙත්සමට නීතිපතිගේ විරෝධතා ගැන නියෝගය හෙට

143

කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් තමාව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරමින්

පසුගිය 1 වැනිදා ලබාදුන් නියෝගය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන 22 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකණය ඊයේ (20 දා) දින නියම කළේය.

ඒ සම්බන්ධයෙන් නියෝගය ඊයේ (20 දා) නිකුත් කිරීමට නියමිතව තිබිණි. නීතිපතිවරයාගේ මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන තම අධිකරණයට ලැබුණේ පසුගිය 19 වැනිදා වන බැවින් ඒවා අධ්‍යයනය කර සුදුසු නියෝගයක් ලබාදීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව පැවසූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

මේ අතර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමා ඇපමත මුදාහරින්නැයි ඉල්ලා ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් ගොනු කළ ඇප අයැදුම්පත පිළිබඳ විමසීම ලබන ජනවාරි 4 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (20 දා) දින නියම කළේය. එම අයැදුම්පත කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශමින්ද්‍ර වික්‍රම මහතා සහ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

ප්‍රසිද්ධියේ පැවැත්වූ දේශනයකදී බොදු දහමට හා අන්‍ය ආගම්වලට අපහාස වන පරිදි කරුණු දැක්විම සම්බන්ධයෙන් එම සැකකරුගේ ප්‍රකාශ සටහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 1 වැනිදා ඔහු අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment