ඉන්දීය ශ්‍රී ලංකා නව ඩිජිටල් ගෙවීම් ක්‍රමය ඇරඹේ

142

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ ගෙවීම් අතුරු මුහුණත (UPI) එළිදැක්වීම ඊයේ (12 දා) ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

මේ නිමිත්තෙන් දෙරටේ රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් මාර්ගගතව පැවැති නිල සමාරම්භක උත්සවය අමතමින් මෙම නව ගෙවීම් ක්‍රමවේදය හරහා ව්‍යාපාරිකයන් 400,000 කට පමණ ප්‍රතිලාභ සැලසෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තම ඉන්දීය සංචාරයේදී එළිදක්වන ලද ‘දැක්ම ප්‍රකාශය’ අනුව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මෙම ඒකාබද්ධ ගෙවීම් අතුරු මුහුණත ක්‍රමය එළිදක්වන ලද බව හෙතෙම සඳහන් කළේය.

මෙම නව ගෙවීම් ක්‍රමවේදය දෙරට අතර සම්බන්ධතාවේ ඉතා වැදගත් පියවරක් වන බවත්, මෙය දෙරට අතර ගනුදෙනු දියුණු වීමට හා ඉන්දීය සංචාරක පැමිණීම් ප්‍රවර්ධනය වීමට හේතුවක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද කතා කළේය.

මෙම මාර්ගගත උත්සවය වෙනුවෙන් ඊයේ දහවල් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලය මගින් උත්සවයක් සංවිධානය කර තිබූ අතර එයට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මෙරට වෙසෙන ආරාධිත අමුත්තෝ රැසක් එක්ව සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment