ඔලිම්පික් හීනයක් මටත් තියෙනවා

238

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම පදක්කම් දිනූ තරුෂි කරුණාරත්න කියයි

කොරියාවේ ඉචියෙන් නගරයේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 7 වෙනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එහිදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පදක්කම් ගණන පහකි. ඒ පදක්කම් 5 අතරින් පදක්කම් තුනකට හිමිකම් කීවේ තරුෂි කරුණාරත්න යි. වලල ඒ. රත්නායක විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇය කොරියාවේ දී ජයග්‍රහණය කළ එම පදක්කම් වටින්නේ අදට වඩා හෙටට ය. මේ කනිෂ්ඨ ක්‍රිඩිකාව අද ප්‍රදර්ශනය කරන එම දස්කම් අපට සිහි ගන්වන්නේ එකල සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා මලල ක්‍රීඩා බිමේ දී ලෝකය ඉදිරියට ශ්‍රී ලංකාවේ නම රැගෙන ගිය අයුරුයි.

කොරියාවේ පැවැති මෙවර ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ වැඩිම පදක්කම් ලාභිනිය ලෙස ද සම්මානයට පාත්‍ර වූ ඇය “දිවයින ඉරිදා සංග්‍රහය” සමග මෙසේ සිය හඬ අවදි කළාය.

ප්‍රශ්නය – මෙවර ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔබට හැකි වුණා. මොකද ඒ ගැන හිතෙන්නේ?

පිළිතුර – මගේ හිතට ලොකු සතුටක් දැනෙනවා. ඇත්තටම ඒ දැනෙන සතුට වචනයෙන් කියන්න බැරි තරම් කියලා කිව්වොත් තමයි වඩාත් නිවැරදි වෙන්නේ. මොකද මේක මගේ පළමු ජාත්‍යන්තර රන් පදක්කම. මෙතරම් ලොකු තරගාවලියක රන් පදක්කමක් දිනාගැනීම සිතන්නටත් බැරි තරම් සතුටක් තමයි. ඊටත් වඩා තරගාවලියේ වැඩිම පදක්කම් ලාභිනිය වෙන්නත් හැකි වුණා.

ප්‍රශ්නය – තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට පෙර මෙතරම් ලොකු ජයග්‍රහණයක් කරා යන්න පුළුවන් වෙයි කියලා හිතුවද?

පිළිතුර – මගේ ඉසව් දෙක පිළිබඳව මට ලොකු විශ්වාසයක් තිබුණා. ඒත් තරගාවලියට පිටත්වීමට පෙර මට නිව්මෝනියාව රෝගය වැළඳුණා. ඒ නිසා මගේ උපරිමය ට එන්න නොහැකි වුණා කියල මම හිතනවා.

ප්‍රශ්නය – එම රෝගී තත්ත්වය නිසා ඇති වුණු අවාසි තත්ත්වයන් තරගාවලිය තුළ දී ඔබට මොන ආකාරයෙන් ද බලපෑවේ?

පිළිතුර – ඇත්තෙන්ම නියුමෝනියාව රෝගය වැළඳෙන්නට පෙර මගේ විශේෂ ඉලක්කයක් තරගාවලිය සඳහා තිබුණා. ඒ මීටර් 800 ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම. තරගාවලියට පෙර ශ්‍රී ලංකාවේදී පැවැති “ට්‍රයල්” එකේදීත් එම වාර්තාව මට තත්පර දශම එකහමාරකින් අහිමිව ගියා. සති දෙකක් පුරා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. විශේෂයෙන් එම රෝගය නිසා මං මාසයක් පමණ කිසිදු පුහුණුවීමක් නොකර සිට තමයි තරගාවලියට ගියේ. ඒ වගේම මීටර් 800 ඉසව්වෙන් මට ලොකු තරගයක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. එහෙම තරගයක් දෙන්න කෙනෙක් හිටිය නම් තත්පර දශම එකහමාරකින් එදා ශ්‍රී ලංකාවේදී මගහැරුනු වාර්තාව කොරියාවේ දී මගේ නම ඉදිරියේ ලියවෙන්න තිබුණා.

ප්‍රශ්නය – තරගාවලියේ දී ඔබ වැඩියෙන් ඉලක්ක කළේ මීටර් 400 ඉසව්ව ද මීටර් 800 ද?

පිළිතුර – මගේ තරග නිමි කාලය සහ අනෙක් ක්‍රීඩිකාවන්ගේ කාලයන් සංසන්දනය කර බලද්දී මීටර් 800 න් මට වැඩි අවස්ථාවක් තිබෙන බව දැනගත්තා. මීටර් 400 තරගයත් මට ජයග්‍රහණය කරන්න තිබුණා. හැබැයි අසනීප තත්ත්වය නිසා මගේ පුහුණුවීම් බිංදුවට වැටුණා. එහෙම තත්ත්වයක් තුළ මීටර් 400 න් දෙවනියා වෙන්න හැකිවීමත් ලොකු ජයග්‍රහණයක්.

ප්‍රශ්නය – කුඩා කාලයේ පටන් ඔබ ක්‍රීඩාව හා සම්බන්ධව සිටියාද?

පිළිතුර – 4 වසරේදී තමයි මං මුලින්ම ක්‍රීඩාවට සම්බන්ධ වුණේ. අපේ අයියා ඒ කාලේ ක්‍රීඩාවල නිරතව සිටියා. මමත් ඔහුගේ අඩි පාරේ යමින් පොඩි කාලෙදිම එසේ ක්‍රීඩාවට යොමු වුණා. මුලින්ම මම පාසල් ගියේ උඩුදුම්බර චූලාභය ද්විතීය විද්‍යාලයට. ඒ කාලේ මගේ ක්‍රීඩා දක්ෂතා වර්ධනය වන විට වලල ඒ. රත්නායක විද්‍යාලයට යොමු වෙන්න මට අවස්ථාව ලැබුණා. 7 වසරෙ පංතියේ දී තමයි ඒ අවස්ථාව උදා වුණේ. ඊට පසුව මම වැඩිපුර ක්‍රීඩාවට මුල් තැන දුන්නා.

හැබැයි එහෙම ක්‍රීඩාවට යොමු වුණා කියලා මං අධ්‍යාපන කටයුතු අඩාළ කර ගත්තේ නැහැ. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් “ඒ” සාමාර්ථ තුනක් සහ “බී” සාමාර්ථ හයක් මං ලබා ගත්තා. දැන් අපොස උසස් පෙළ පන්තියේ වාණිජ අංශයෙන් ඉගෙනුම ලබනවා. මේ වර්ෂයේ දී විභාගයට පෙනී සිටීමට තමයි බලාපොරොත්තුව. මගේ ක්‍රීඩා ජීවිතයට පාසලෙන් ලැබෙන සහයෝගයත් මෙහිදී අමතක කරන්න බැහැ. සියලු ගුරුභවතුන් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම මගේ දෙමාපියන් මෙන්ම මගේ අයියාද ලබාදෙන සහයෝගය විශාලයි. ඒ වාගේම මගේ ක්‍රීඩා ජීවිතේ හෙවණැල්ල වගේ ඉන්න සුසන්ත ප්‍රනාන්දු සර් නොවන්නට මට මෙතරම් ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න හැකි වෙන්නේ නැහැ. කොටින්ම නිව්මෝනියාව හැදිල මට රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනා ගන්නට තරම් ශක්තිය ලබා දුන්නේ ඔහුයි.

ප්‍රශ්නය – අනාගත බලාපොරොත්තු මොනවාද?

පිළිතුර – ආසන්නතම බලාපොරොත්තුව තමයි මේ වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා ගැනීම. ඒ වගේම හැම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවකගේම සිහිනයක් වන ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම පිළිබඳ හීනය මගේ හිතෙත් තියෙනවා.

සාකච්ඡා කළේ
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment