ඉංජිනේරු වැඩවලින් මිලියන 2528ක් පාඩුයි

123

මධ්‍යම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම විසින් ඉකුත් වර්ෂ තුන තුළදී (2020, 2021, 2022) සම්පූර්ණයෙන් ම නිම කරනු ලැබූ ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් රුපියල් මිලියන 2528.87ක පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

2022 වර්ෂයේදී සම්පූර්ණයෙන්ම නිම කරනු ලැබූ ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් රුපියල් මිලියන 667.42ක්, 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 888.15ක් සහ 2020 වර්ෂයේ දී රුපියල් මිලියන 973.30ක පාඩුවක් ලබා තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. එමෙන්ම මෙම වර්ෂයේ දී ක්‍රියාත්මක වෙමින් පවතින ඉදිකිරීම් ව්‍යාපෘති 47කින් රුපියල් මිලියන 433.93ක පාඩුවක් සිදුවී ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

මෙකී අලාභයන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම සඳහා සෘජුව බලපාන බැවින් මේ සඳහා සෘජුව හෝ වක්‍රව වගකිවයුතු පුද්ගලයන් සහ හේතු හඳුනාගෙන මෙවැනි අධික අලාභ අවම කිරීම සඳහා කළමනාකාරිත්වය විසින් පලදායි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මේ පිළිබඳ සමාගමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ව්‍යාපෘති අවසන් කිරීමට ඇස්තමේන්තු කළ කාලයට වඩා වැඩි කාලයක් ගතවීමෙන් ද්‍රව්‍යමය පිරිවැය ඇස්තමේන්තුගත පිරිවැයට වඩා වැඩිවීම මේ සඳහා හේතුවී ඇති බවය. එමෙන්ම අධික පොදුකාර්ය පිරිවැය, පෙර අදියරවල දී සිදුවූ බොහෝ වැරදි නිවරදි කිරීමට සිදුවීම, වසංගත තත්ත්වය, ගෙවීම් ප්‍රමාදයන් මේ සඳහා හේතුවී ඇති බව ද කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment