ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ – සංචාරක උපාධියට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තත්ත්ව සහතිකයක්

84

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සංචාරක අධ්‍යයන අංශය විසින් දැයේ දූ දරුවන්ට පිරිනමනු ලබන “ආගන්තුක සත්කාර සංචාරක ව්‍යාපාර සහ සිද්ධි කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව උපාධිය” සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය මගින් ”UNWTO- TedQual˜ යන තත්ත්ව සහතිකය පිරිනමා ඇත. එය දැනට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවත්වාගෙන යනු ලබන උපාධි පාඨමාලාවක් ”UNWTO- TedQual˜ සහතිකයෙන් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත විය. ”UNWTO – TedQual˜ යනු ලොව පුරා ක්‍රියාත්මක වන සංචාරක අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතුවල සහ පුහුණු වැඩසටහන්වල ගුණාත්මකභාවය සහතික කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය පිරිනමනු ලබන තත්ත්ව සහතිකයකි.

විශේෂයෙන්ම, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සංචාරක අධ්‍යයන අංශය විසින් මෙම තත්ත්ව සහතිකය ලබාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබූයේ 2020 වසරේදීය. මෙහිදී අදාළ නිළ ක්‍රියාවලිය අනිවාර්ය පියවර අටකින් සමන්විත වූ අතර, ඒ සඳහා උපාධි පාඨමාලාව ආරම්භයේ සිට 2020 වසර දක්වා කාලයට අදාළව “ස්වයං තක්සේරු වාර්තාවක්” සැකසීමට ද එම දෙපාර්තමේන්තුවට සිදුවිය. උක්ත කී වාර්තාව පදනම්ව බාහිර විගණනවරයකු විසින් මාස හතරකට ආසන්න කාලයක් පුරා මෙහෙය වූ ස්වාධීන සහ සංකීර්ණ විගණනයක් ද මේ සඳහා ඇතුළත් විය. එම විගණනය සිදු කරනු ලැබුවේ ලෝක සංචාරක සංවිධානය විසින් තෝරාපත් කරනු ලැබූ ආචාර්ය අවුරෝරා පෙඩ්‍රෝ මහත්මියයි.

තවද, මෙම විගණනය සේවා යෝජකයා (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය), උපාධි අපේක්ෂකයන්, විෂය මාලාව සහ අධ්‍යාපනික පද්ධතිය, පීඨය, සංචාරක ව්‍යාපාරය සඳහා වන ගෝලීය ආචාර ධර්ම පද්ධතිය යන ප්‍රධාන මූලධර්ම හය ඔස්සේ සිදුකරන ලදී. විගණනයට සමගාමීව වෙන් වෙන් වශයෙන් පැවැත් වූ කණ්ඩායම් සම්මුඛ පරීක්ෂණ සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පරිපාලන නිලධාරීන්, කළමනාකරණ පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය, එම පීඨයේම අනධ්‍යයන කාර්ය මණ්ඩලය, දැනට අදාළ උපාධි පාඨමාලාව හදාරනු ලබන උපාධි අපේක්ෂකයන්, උපාධිධාරීන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් මෙන්ම ප්‍රජාව නියෝජනය කරමින් විවිධ පාර්ශ්වයන් ද සහභාගි විය.

ඒ අනුව, සංචාරක අධ්‍යයන දෙපාර්තමේන්තුවේ සියලු කථිකාචාර්යවරුන්ගේ වසර තුනක නොපසුබස්නා උත්සාහය සහ දැඩි කැපකිරීම්වල අවසන් ප්‍රතිඵලය ලෙසින් පසුගිය මාර්තු මස 30 දින ලෝක සංචාරක සංවිධානය විසින් නිළ වශයෙන් උක්ත කී ඹභඋඔධ – ඔැාූම්ක තත්ත්ව සහතිකය පිරිනැමීම සිදුවිය. එමෙන්ම, මෙම තත්ත්ව සහතිකය 2023 මාර්තු මස සිට 2026 මාර්තු මස දක්වා වසර තුනක කාල පරිච්ඡේදයක් සඳහා නිකුත් කර ඇත. එමඟින්, මෙතැන් පටන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වෙත ලෝක සංචාරක සංවිධානයේ අනුබද්ධ සාමාජිකත්වය ලබන අතර එමගින් විශ්වවිද්‍යාලය වෙත ලැබෙන කීර්තිය අතිමහත්ය. මෙයට අමතරව, අධ්‍යාපන සංවර්ධනය, අන්තර්ජාතිකකරණය, පුද්ගල සහ ආයතනික සම්බන්ධතා ජාල ගොඩනැඟීම, විශ්වාසනීයත්වය තහවුරු කිරීම, අනාගත දිශානතීන් හඳුනාගැනීම යනාදී කටයුතුවලදී ලෝක සංචාරක සංවිධානය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සමඟින් අත්වැල් බැඳගනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment