ප්‍රතිත්‍රස්ත පනත අහිතකර වගන්ති තිබේ නම් උසාවි යන්න – ඇමැති විජයදාස කියයි

164

ප්‍රතිත්‍රස්ත පනතේ අහිතකර වගන්ති ඇතුළත් නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එය අභියෝගයට ලක් කළ හැකි යැයි අධිකරණ, බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය. ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් යම් සංශෝධනයන් සිදුකළ යුතු බවට නිර්දේශ කරන්නේ නම් ඒ අනුව කටයුතු කිරීමට ආණ්ඩුව වගබලා ගන්නා බව ද ඒ මහතා කීය.

ප්‍රතිත්‍රස්ත පනත මගින් සමාජ මාධ්‍ය ජාලවලට එරෙහිව දැඩි නීති ගෙනැවිත් ඇති බවට චෝදනා කළත් අහවල් දවසේ ප්‍රහාරයක්, බෝම්බ පුපුරුවා හරින බවට සඳහන් ප්‍රකාශ වැනි දේ සඳහන් කර තිබුණොත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ අදාළ සැකකරුවකුව අත්අඩංගුවට ගෙන පැය 48 ක් යෑමට පෙර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ හැකි ආකාරයෙන් පනත සකස්කර ඇති බව ද ඇමැතිවරයා පැවසීය. මෙහිදී සැකකරු සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයාගේ අභිමතය අනුව කටයුතු කිරීමේ හැකියාව ලබාදී තිබෙන බව ද හෙතෙම කීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ සභාපති ජනක් ද සිල්වා මහතා ත්‍රස්තවාදය මර්දනය පිළිබඳව පවතින නීතිය තවත් වැඩිකළ යුතු බවට සඳහන් කර ඇති බව ද ඇමැතිවරයා කීය. එහෙත් නව පනත මගින් තිබෙන පනතටත් වඩා බලතල අඩුකර ඇති බවත් එසේ බලතල අඩුකර ඇත්තේ ජී.එස්.පී. සහනය ලබාගැනීම ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබා ගැනීමට හැකිවන අයුරින් බවත් ඇමැතිවරයා පැවසීය.

මෙම පනතට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබුණත් එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් නොකළේ එයට එරෙහිව කිසියම් පාර්ශ්වයකට නීතිමය තත්ත්වයක් ඇතිකර ගැනීමට අවස්ථාව ලබාදීම නිසා බවත් විජයදාස රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment