විල්සන් මාමාගේ මී මැසි අන්දරය

මීයක් කියන්නේ ළමයෝ රාජ්ජයක්. ඒක නිකංම නිකං රාජ්ජයක් නෙවෙයි. ඒකාධිපති රාජ්ජයක්. ඒකෙ ඉන්නෙ රජෙක් නෙවෙයි රැජිනක්. අනිත් මී මැස්සො කන බොන දේවල් රැජින කන්නෙ නෑ. එයා කන්නෙ රාජ භෝජන. එයාගෙ ප්‍රධාන රාජකාරිය බිත්තර දාලා පැටව් බෝ කරන එක. ඊට පස්සෙ මී වදේ පිරිස වැඩි වෙද්දී අලුත් රැජිනක් හදාගන්නවා. ඒක කරන්නේ මී මැස්සො ටික එකතු වෙලා පිලවෙක් තෝරගෙන පිලා අවධියේ ඉඳන්ම රාජ භෝජන කවනවා. පිලවා රැජිනක් වුණාම මී වදේ මී මැස්සො ටික දෙකට බෙදිලා සටනක් කරනවා. ඒකෙන් පරාද වෙන අය වෙනත් තැනක් හොයාගෙන යනවා. ඒ යන ඒවා අතර මග ගහක අත්තක නතර වෙලා දවසක් දෙකක් විවේක ගන්නවා. ඒවට තමයි අපි ඔය ගමන් මැහි කියන්නේ. මී වදේ ඉන්නවා පිරිමි මී මැස්සො. උන්ට අපේ පැරණි ගැමි පරම්පරාවෙ අය ඉස්සර කියන්නේ පුබ්බරු කියලා. උන්ගෙ පිටු පස ප්‍රදේශය ටිකක් ලොකුයි. උන්ගෙ ඉස්සරහ රොන් අරන් යන අඬු දෙක නෑ. උන් මීයට වෙලා ඔහේ ඉන්නවා මිසක් කිසිම රස්සාවක් කරන්නේ නෑ. මහා කම්මැලි යක්කු ටිකක්. අනිත් මී මැස්සො වැඩකාර මී මැස්සො. මී වදේ රැජිනක් හිටියට කාටවත් විධාන දෙන්න ඕන නෑ. තම තමන්ට පැවරුණු වැඩ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා කරනවා. එක් එක් රාජකාරිවලට වෙන් වුණ මී මැස්සො ඉන්නවා. කට්ටියක් එළියට ගිහින් පැණි, රොන් අරන් ආවට පස්සේ ඒවා අරගන්නෙ තවත් කට්ටියක්. ආරක්ෂාවට ඉන්නෙ තවත් කට්ටියක්. ඒ අය මී වදය ආරක්ෂා කරන්න ජීවිතයත් පූජා කරනවා. මම මේ ටික කිව්වේ මී කඩන්න ගිය කතා කියන්න කලින් මී වදයක් කියන්නේ මොකක් ද කියලා දැනගෙන ඉන්න ඕනනෙ.”

සිංහරාජයට මායිම්ව පිහිටා ඇති ගම්මානයක් වන තලගහ පැල්පොල ජීවත් වන විල්සන් මාමා ඔහුගේ අතීත විත්ති පවසන්නට වූයේ මී මැසි ජනපදයක ව්‍යුහය පිළිබඳ විස්තර කිරීමෙන් පසුවය. වසර විස්සකට තිහකට එපිට දී සිංහරාජය අවට ගම්මාන බොහොමයකටම මී කැඩීම සඳහා පළපුරුද්ද තිබූ ඇත්තන් සිට ඇත්තේ අතලොස්සකි. විල්සන් මාමා ද ඔවුන්ගෙන් කෙනෙකි. ඔහු ඒ පිළිබඳ සිහිපත් කරන්නේ ආඩම්බරයෙනි.

“ඒ කාලෙ කොච්චර මී කඩනවද කියනවා නම් මී කඩද්දි මී මැස්සො තුන් හාරසීයක් විද්දත් කිසිම හෙනයක් නැතුව ඉන්න පුළුවන්. ඇඟට පොඩි අමාරුවක්වත් දැනෙන්නේ නෑ. ඒ තරමට මී මැස්සන්ගෙ විස ඇඟට පත්තියං වෙලා. මීයක් කඩලා ඇවිත් උණු වතුර ටිකකින් ඇඟ හෝදගන්නවට වඩා දෙයක් කරන්නේ නෑ.

මේ අහල පහළ ගමක කාටහරි ලෙඩක් දුකක් වෙලා බෙහෙතකට හේතකට මී පැණි ටිකක් ඕන වුණොත් මාව තමයි හොයාගෙන එන්නේ. ඉස්සර ඉතින් දැන් වගේ ඉංග්‍රීසි බෙහෙත් බොන්නේ නෑනෙ. සිංහල බෙහෙත්වල හුඟක් වෙලාවට අනුපානෙට තියෙන්නේ මී පැණි. මම මීයක් කැඩුවම පැණි ඔක්කොම විකුණන්නෙ නෑ. හදිසියේ කාටහරි බෙහෙතකට ඕන වුණොත් දෙන්න ටිකක් අරන් තියනවා. මම මී කඩනවා කියලා මේ පැත්ත පළාතේ මිනිස්සු හැමෝම දන්න හන්දා බොහොම දුර බැහැරිනුත් මී පැණි හොයාන අපේ ගෙදරට එනවා. ඉතින් ඒ කාලෙ දවසකට මී වද තුනක් හතරක් කඩාගන්න පුළුවන් එකේ බෙහෙතකට පැණි ටිකක් ඕන වෙලා ඉල්ලන් එන හැම මනුස්සයාටම මී පැණි ටිකක් දෙන එක මහ දෙයක් නෙවෙයිනෙ.” ඔහුගේ මුහුණේ යන්තමින් සතුටු සිනාවක් ඇඳී මැකී ගියේ ය. එකිනෙකාට උදව් පදව් කිරීම පැරණි සිංහල ජන සමාජයට නුහුරු නුපුරුදු දෙයක් නොවිණි. විල්සන් මාමාට ද ඔහු මී පැණියෙන් උදව් උපකාර කළ සිය ගණනක් රෝගීන්ගේ මුහුණු එවෙලේ සිහිවන්නට ඇත.

ඉරට මුවාවී මී මැසි ගමන බලව්

මී වදයක් කියන්නේ රාජධානියක්…මීයක් කඩන එක ජාතික අපරාධයක්

මී වද තිබෙන ඉසව් පිළිබඳ සහජ ඉවක් ඔහුට තිබුණ බව ගම්වැසියන් කිහිප දෙනකුම ප්‍රකාශ කළ බැවින් ඒ පිළිබඳව දැනගැනීමේ ආසාවෙන් පසු වුණෙමි. මගේ සිත කියෙව්වාක් මෙන් ඉන්පසු ඔහු මී වද සොයා ගන්නා ආකාරය පිළිබඳවම විස්තර කළේ ය. වියළි කලාපයේ මෙන් අලි, කොටි, වලසුන් නැතත් ඝන යටි වියන් ස්ථරයක් සහිත තෙත් කලාපයේ මී වද සොයා ගැනීම එතරම් පහසු නැත. මීටර් තුන හතරකට වඩා වට පිටාව නොපෙනෙන මහා කැලයක මී වදයක් සොයාගත හැක්කේ සැබෑම දක්ෂයකුට පමණි. “මීයක් හොයන්න යන්න ඕන පාන්දර. ඉර එළිය වැටෙන්න ඉස්සර. ඉර එළිය ඇහැට වැටුණොත් මී හොයන්න බෑ. පේන්නෙ නෑ. යාන්තමින් ඉර එළිය වැටීගෙන එද්දී ඇස්වලට ඉර අව්ව වැටෙනවට නළල අතින් මුවා කරලා බැලුවම මී වදයට මී මැස්සො එනවා යනවා පේනවා. අපි ඒකට කියන්නේ මී මැස්සො වැටෙනවා කියලා. මී මැස්සා වදේට එනවද වදෙන් යනවද කියන එකත් හොයාගන්න පුළුවන්. මී මැස්සා වදෙන් එළියට යද්දී යන්නේ මුත්‍රාවලින් සලකුණක් කරලා. ආපහු එද්දී එන්නේ යද්දී වගේ සැහැල්ලුවෙන් නෙවෙයි. උදේට ළා ඉර එළිය වැටීගෙන එද්දී මේක හොඳට පේනවා.”

මී වදයක හෝඩුවාවක් සොයා ගැනීම දුෂ්කර කටයුත්තක් සේ හැඟුන ද ඒ සඳහා පළපුරුද්දක් ඇති කෙනකුට එය එතරම් අපහසු කාර්යයක් නොවන බව ඔහුගේ පැහැදිලි කිරීම අනුව වටහාගත හැකි ය.

මී වද රකිනා නා රජිඳුන්

මී වදයක් කියන්නේ රාජධානියක්…මීයක් කඩන එක ජාතික අපරාධයක්

මී වදය පහසුවෙන් සොයා ගත්ත ද තවත් සැළකිලිමත් විය යුතු කාරණා බොහෝමයක් ඇති බව විල්සන් මාමා සිහිපත් කළේ ය. “මී වදයක් කඩනවා කියන්නේ වතාවතක් කරනවා වගේ දෙයක්. උදේ පාන්දර යන්න තවත් එක හේතුවක් තමයි දාඩිය දාන්නෙ නැති එක. අපිට දාඩිය දාලා අපි ළඟින් දාඩිය ගඳ ආවොත් මීය ඇවිස්සිලා විදින්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි රහ මෙර පාවිච්චි කරලත් මී කඩන්න යන්නේ නෑ. එහෙම ගියත් මීය ඇවිස්සෙනවා. තව දෙයක් මේ වනාන්තරවල වග වලසුන් නැති වුණාට මී කඩන්න යද්දී බොහොම ප්‍රවේසම් වෙන්න ඕන. ගල් ලෙන්වල තියෙන පරණ මී වදවල සර්පයෝ ඉන්නවා. සර්පයෝ කිව්වට නයි තමයි ඉන්නෙ. ඒ ගැන හරි අවබෝධයක් නැතුව ගියොත් නයා කාලා මැරෙනවා.

මී වදේට අත ළං කරද්දී මී මැස්සො ටික පිටිපස්සට යනවා. එහෙම ගියාම පේනවා නයෙක් ඉන්නවා නම් නයාට යන්න ඉතුරු කරපු පාර. මී මැස්සො වදේ බඳින්නෙ නයාට යන්න එන්න පාර ඉතුරු කරලා.

මී මැස්සො කැමතියි නයා ඉන්නවට. මොකද එතකොට මී වදේ ආරක්ෂා වෙනවනෙ. ඒ වගේ මී වද අපිට ඕන තරම් මුණගැහිලා තියෙනවා. එහෙම වෙලාවට අපි මී වදේ කඩාගෙන කඩාගෙන යන්නේ නෑ. ආපහු ඇවිත් දුම් වද්දවන්න ඕන කරන දේවල් අරන් යනවා. දුම් ගහද්දි මී මැස්සො වගේම නයාත් එළියට යනවා. ඒ වගේ මී වද වල මී මැස්සො බොහොම සැරයි. ඒ විතරක් නෙවෙයි ඒ වද වල පැණිත් යහමින් තියෙනවා. ජීවිතේ බේරගෙන පැණිත් අරන් ගෙදර එන්න නම් ඒ සාස්තරේ හරියට දැනගන්න ඕන. මොකද ඒක නොදැන ගියොත් අපිත් අමාරුවේ වැටිලා මී මැස්සො ටිකත් විනාශ වෙලා යනවා.

මී වද වලට දුම් ගහද්දි කිසිම වෙලාවක අපි පන්දමේ දැල්ල නගින්න දෙන්නෙ නෑ. මොකද එහෙම වුණොත් මී මැස්සො උත්සාහ කරනවා මුත්‍රා කරලා ගිනි දැල්ල නිවන්න. ඒත් ඒකෙන් ගිනි දැල්ල නිවෙනවා වෙනුවට වෙන්නෙ මී මැස්සො ටික පිච්චිලා මැරෙන එක. ඒ නිසා ඒ වගේ කරුණු කාරණා ගැන දැනුම් තේරුම් ඇතිව ඒ දේවල් කරන්න ඕන.

ඒ වගේම තමයි පැණි එකතු කරද්දිත් සැළකිලිමත් වෙන්න ඕන දේවල් තියෙනවා. මී පැණි එකතු කරන භාජනේ හොඳින් වියලුණු එකක් වෙන්න ඕන. පිනි බිඳක්වත් තිබිලා පැණිවලට මුහු වුණොත් පැණි ඔක්කොම වතුර වෙනවා. වතුර අහුනූණොත් පැණි ටික ඕන තරම් කාලයක් ඒ විදියටම තියාගන්න පුළුවන්.” විල්සන් මාමා අත්දැකීමෙන් දැන උගත් දෑ නිර්ලෝභීව පවසන්නේ මී වද කැඩීමට පළපුරුදු ඇතැම් පුද්ගලයන් පවා නොදන්නා කාරණාය.

සුර සැප සැදු මී මැස්සෝ

මී වදයක් කියන්නේ රාජධානියක්…මීයක් කඩන එක ජාතික අපරාධයක්

වන මල් පැණියෙන් පිරුණු මී වද විල්සන් මාමාගේ දිවිය නොයෙක් අවස්ථාවලදී රසවත් කළ බව ඔහු කෘතවේදීව සිහිපත් කළේ ය. “මට මතකයි ඒ කාලෙ එක අවුරුද්දක අලුත් අවුරුද්ද ලබාගෙන එද්දී මගේ අතේ කීයක්වත්ම තිබුණේ නෑ. කීයක්වත් අතේ නැතුව අවුරුදු කාලා වැඩකුත් නෑ. ඔක්කොටම වඩා අවුරුද්දට ගෙදරට එන පොඩිවුන්ට කැට ගහන්න කීයක් හරි අතේ තියන්න ඕන. සල්ලි එන්න මාර්ගයක් තිබුණෙත් නෑ. කල්පනා කරලා කල්පනා කරලා මීයක්වත් හොයාගන්නවා කියලා හිතාගෙන කැලේට ගියා. ඒ කාලෙ තිබුණා ලක්ස්ප්‍රේ කියලා කිරි ජාතියක් ඒක එන්නේ ටින් එකක. මී කඩන්න යද්දී ඒ ටින් එකක් තමයි ගෙනියන්නෙ මී කඩලා දාගෙන එන්න. එදත් ඒ ටින් එකත් අරගෙන පාන්දරම කැලේට ගියා මී හොයන්න. මී මැස්සො සාමාන්‍යයෙන් උදේ පහමාර විතර ඉඳන් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවට ගියාම මී හොයාගන්න විතරක් නෙවෙයි කඩාගන්න වුණත් ලේසියි. ඉතින් මම එහෙම යද්දී ගහක බෙනයක මී වදයක් තිබුණා. ඒ මී වදය කඩාගෙන ටින් එකට පැණි මිරිකගෙන ආපහු එද්දී තව මී වදයක් හම්බුණා. ඒක මිරිකගන්න භාජනයක් තිබුණේ නෑ. ඒ හන්දා ඇඳගෙන හිටිය කමිසෙ ඔතාගෙන තමයි ගෙදර ගෙනාවේ. පස්සේ ගෙනාව වදෙයි, මුලින් මිරිකුව වදෙයි බෝතල් හතරකට පැණි තිබුණා. මම ඒ එක බෝතලයක් රුපියල් විසි පහකට විකිණුවා. බෝතල් හතරට රුපියල් සීයක් ගත්තා. ඒක ඒ කාලෙ හැටියට මහා ලොකු සල්ලියක්. ඒ දවස්වල පාන් ගෙඩියක් සත විසි පහයි. මාසෙ පඩිය රුපියල් විස්සයි. ඉතින් ඔය ළමයා හිතාගන්නකො රුපියල් සීය කොච්චර ලොකු ගාණක් ද කියලා.

කිතුල් කොටේ සඟවා තිබූ පැණි බෝතල් 13

ඒ වගේම මම කඩපු මී වද වලින් මතකෙට එන තව විශේෂ මී වදයක් තියෙනවා. මහ හිමේ බට යායක් කිට්ටුව ඒ මීය තිබුණේ. ඒක ළඟට කිට්ටු වෙන්න කිලෝ මීටරයක් විතර කොන්ද නමාගෙන බට ගාල ඇතුළෙ යන්න වුණා. ඒක තිබුණේ කඩා වැටුණු කිතුල් ගහක. වද තුනකට දිග අතට තමයි මුළු මී වදේම බැඳලා තිබුණේ. කිතුල් ගහේ අඩි හතක් අටක් වගේ දිගට මී වද බැඳලා තිබුණා. ඒක තනියම දවසකින් කඩාගන්න බෑ. කැඩුවත් තනියම ගේන්නත් බෑ. හොඳට හයිය හත්තිය තියෙන තවත් කෙනෙක් එක්ක ගිහින් තමයි ඔක්කොම කැඩුවෙ. ඒ වදෙන් පැණි බෝතල් දහතුනක් මිරිකුවා. ඒ තමයි මගේ ජීවිතේ දැකපු ලොකුම මී වදේ.” විල්සන් මාමා ඔහුගේ ජීවිතයේ දුටු ලොකුම මී වදය ගැන පවසද්දීවත් ඔහුගේ මුහුණට ප්‍රහර්ශයක් එක් නොවිණි. ඔහු එය පැවසුවේ මහා හිස් කමක් මුහුණේ රඳවා ගෙනය.

දරු නොතලන්, පැණි අරගන්

එවකට මී පැණි එකතු කිරීමට සුපතලව සිටි විල්සන් මාමා අද වන විට ඒ කටයුත්තෙන් බැහැරව ඇත. අද ඔහු ළඟ බෙහෙතකට හෝ මී පැණි බිඳක් නැති බව කීවේ තරමක සැහැල්ලුවකින්වත් දැයි මට හැඟුනි.

“මීයක් කඩනවා කියන්නේ ළමයෝ ජාතික අපරාධයක්.

මී වදයක් කියන්නේ රාජධානියක්…මීයක් කඩන එක ජාතික අපරාධයක්

මීය සවි කරන බිත්තියට ආසන්නව ඉහළ කොටසට වෙන්න තමයි පැණි තියෙන කොටස තියෙන්නේ. ඊට පහළ කොටසෙ තමයි හකුරු තියෙන්නෙත්, පිලවු ඉන්නෙත්. ඉතින් පැණි ගන්න මී වදේ කඩද්දි මේ පිලව් ඉන්න කොටසත් කැඩිලා යනවා. අපි පැණි අරගෙන ඒ කොටස විසි කරලා දානවා. තරුණ කාලෙ මීයක් කඩන එක වීර කමක් වගේ දැනුනට තලත්තෑනි වෙන්න වෙන්න තේරෙනවා ඒක මොන අපරාධයක් ද කියලා. උන් මහන්සියෙන් හොයන පැණි ටිකත් අරගෙන උන්ගෙ දරු පැටවු ටිකත් විනාශ කරලා දාන එක කොයිතරම් පවක් ද? මුල් කාලෙ මට එහෙම දෙයක් හිතිලා තිබුණේ නෑ. ඒත් මීයක් කඩාගෙන ගෙදර ගෙනාවම හැමදාම අපේ ගෙදර එක්කෙනා නෝක්කාඩු කියනවා. ඒක අහලා අහලම මටත් පස්සෙන් පහු හිතුණා මී කඩන එක අපරාධයක් කියලා.” සමාජ විරෝධී ක්‍රියාවල යෙදෙන කිසිදු ප්‍රාණියෙකුට වෙනස් කළ නොහැකි බොහෝ පුද්ගලයන් මුණගැසෙන සමාජයේ විල්සන් මාමාගේ වෙනස් වීමට ඔහුගේ බිරිඳගේ බලපෑම පමණක් හේතු වන්නට ඇතැයි සිතිය නොහැකි ය. නිසැකවම ඔහු තුළ ද ළතෙත් බවක් තිබෙන්නට ඇත. කෙසේ වුවද මේ වන විට විල්සන් මාමාට ඇත්තේ මී කැඩීම පිළිබඳ පසුතැවිල්ලකි.

ගම්මාන අතැර ගිය මී මැස්සෝ

මී වදයක් කියන්නේ රාජධානියක්…මීයක් කඩන එක ජාතික අපරාධයක්

බොහෝ ශිල්ප ශාස්ත්‍ර, හස්ත කර්මාන්ත පැවතෙන්නේ ඒ ඒ කර්මාන්තවල යෙදෙන ප්‍රවීණයන් විසින් ලබා දෙන ක්‍රම ශිල්ප පුරුදු පුහුණු වීමෙනි. නමුත් විල්සන් මාමා පුරුදු පුහුණු කළ ගෝල බාලයින් ඒ ගම් ඉසව්වේ නැත. ඒ කාර්යයට ඔහුගේ එතරම් මනාපයක් ද නැත. ඒ හැරත් ඔහු පවසන ආකාරයට පෙර දවස මෙන් අද වන විට මී වද සොයා ගැනීම ද අපහසුය. “මුල් කාලෙ වගේ දැන් මී දකින්න නෑ. ඉස්සර අලුත් මී වද බඳින කාලෙට මී කීයක් නම් යනවා කියලද ? දැන් කෝ ඒ වගේ. ඒ කාලෙ ගල් ලෙන් වල ඉස්සරහා ගල් ටිකකින් අහුරනවා. ඒකට කියන්නේ මී රුකුලක් කියලා. එහෙම ටික දවසක් තියෙද්දි නිකංම මීයක් වැටෙනවා. දැන් ඉස්සර තරම් මී මැස්සො නෑ. හැමදේම වෙනස් වෙලා. මුලින්ම මී මැස්සො ගම්මානෙන් ඈත් වුණේ මැතිනිගෙ කාලෙ. ඒ කාලෙ කැලේ ආරක්ෂා කරන්න කියලා පයිනස් වවන්න පටන් ගත්තා. මිනිස්සු ඉස්සර මහ කැලේ කප කපා හේන් කරන එක නතර කරන්න මහා වනාන්තරයයි ගම්මානෙයි අතරෙ හේන් කරලා අතඇරලා දාලා තියෙන ඉඩම්වල පයිනස් වැව්වා.

මී මැස්සන්ට රොන් ගන්න මලක් හැදෙන එක කෙසේ වෙතත් පයිනස් ගහක කුරුල්ලෙක්වත් වහනවා දකින්නේ නෑ. ඊට පස්සෙ ජේ. ආර්. මහත්තයාගේ කාලෙ අපි කවදාවත් නොදැකපු වල් නාශක, කෘමි නාශක, පොහොර වර්ග ආවා. අස්වැන්න වැඩි වෙනවා කිව්වම මිනිස්සුත් ඒ එන එන හැමදේම බව භෝගවලට දැම්මා. දැන් කුඹුරුවල කිරි වදින්න ටී.ඩී.එම්. ගහන්න ඕන. ඉස්සර ඔය ටී.ඩී.එම්. කියලා දෙයක් තිබුණේ නෑ. මී මැස්සො තමයි පරාග පෝෂණය කළේ. උන් මැරෙන්න කෘමිනාශක ගහලා කිරි වදින්න තව බෙහෙතක් ගහනවා. ඉස්සර ගොයම් පීදෙන කාලෙට කුඹුරෙ මී මැස්සො පිරෙනවා. කුඹුරක් ළඟින් යද්දි මීයක් ළඟින් යද්දී තරමටම සද්දෙයි. දැන් මිනිස්සු කුඹුරු වැඩ කරන්නත් එච්චර කැමැත්තක් නැහැ. ඉඳහිට කෙනෙක් දෙන්නෙක් කුඹුරු වැඩ කළත් ඒ කුඹුරුවලට බෙහෙත් ගහනවා. ඒ දවස්වල මිනිස්සු මේ තරම් තේ වවලා තිබුණේ නෑ. ගම්මානවල තිබුණ පොඩි පොඩි කැලෑ රොදවල් එකක්වත් දැන් නෑ. ඒ ඔක්කොම එළිපෙහෙළි වෙලා. ඒ නිසා දැන් ගම්මාන කිට්ටුව මී වද හොයාගන්න එක ඉස්සර තරම් ලේසි නෑ. ඉස්සර කැලේ යන්න තහනමකුත් නෑ. දැන් එහෙම යන්න බෑ. ඒ ඔක්කොම රක්ෂිත. කොහොම වුණත් කැලේ ගිහින් මී කඩන එකත් මී මැස්සො අඩු වෙන්න හේතුවක් වෙනවා. මී පැණි ඕනම නම් මී මැස්සන්ට හිතකර වටපිටාවක් හදලා මී මැසි පෙට්ටිවල මී මැස්සො ඇති කරන්න ඕන. ඒ විදියට කරද්දී මී මැස්සන්ට හානියක් වෙන්නෙත් නෑ.” සොම්නස, දොම්නස, කණස්සල්ල, පසුතැවිල්ල ආදී හැඟුම් සමුදායක් පිරුණු රස කතා ගොන්නක අවසානයේ විල්සන් මාමා පැවසුවේ සැහැල්ලු සුසුමක් පිටකරමිනි.

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment