කන්ටේනර් 98 ක වරායේ හිරවුණු කුණු මාළු ටින් කර විකිණීමේ සූදානමක්

356

කොළඹ වරායේ ගබඩා කර ඇති මිනිස් පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය කන්ටේනර් 98ක මසුන් ටින්කර අලෙවි කිරීමේ සූදානමක් ඇතැයි වරාය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහි ලක්‍ෂ 25 කට අධික මත්ස්‍ය තොගයක් පවතින බවද ඔවුහු කියති.

අඩි 40ක් දිග මෙම කන්ටේනරයක මත්ස්‍ය කිලෝ 25,000 ත් 27,000 ත් ඇති බවත් පරිභෝජනයට නුසුදුසු මෙම මත්ස්‍ය තොගය පිටතට රැගෙන යෑමට පෙර විධිමත් විමර්ශනයක් කර සත්ව ආහාර නිෂ්පාදනය වැනි ව්‍යාපෘතියකට යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

සීෂෙල්ස් සිට මැලේසියා බලා මසුන් ප්‍රවාහනය කරමින් තිබූ නැවක් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙදී කාර්මික දෝෂයකට ලක්වීම නිසා එහි විදුලිය විසන්ධිවීමෙන් ශීතකරණද අක්‍රියවී තිබී ඇත. මෙම නැව කොළඹ වරාය සීමාවට රැගෙනවිත් අලුත්වැඩියා කිරීමට මාස පහකට වැඩි කාලයක් ගතවී ඇති බවත් ඒ වනවිට එහි තිබුණු මත්ස්‍ය තොගය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්ව තිබුණු බවත් සිදුකළ පරීක්‍ෂණයක දී හෙළිවී ඇත.

මෙම මත්ස්‍ය තොගය එහි හිමිකරුවන් විසින් රැගෙන නොයෑම නිසා කිහිපදෙනෙකු එක්ව මෙම මත්ස්‍ය තොගය පුත්තලම ප්‍රදේශයේ සැමන් කර්මාන්ත ශාලාවක් හිමි ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට සූදානම් වන බවද එම ආරංචි මාර්ග කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment