දිගටම යන්න වෙන්නේ මෙහෙමද?

1630

ලංකා ඉතිහාසයේ මෙතරම් ආර්ථික අර්බුදයක් තිබූ යුගයක් තවත් වීද? අප දන්නා ඉතිහාසයේ ලොකුම ආර්ථික අර්බුදය හටගෙන තිබුණේ 1970 දී සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වූ අවස්ථාවේදී ය. එයට හේතුව එතෙක් රට පාලනය කරගෙන සිටි ඩඞ්ලි සේනානායක ආණ්ඩුව භාණ්ඩාගාරය හිස්කර තිබීමය. ඩඞ්ලි සේනානායක යනු මේ රටේ පහළ වූ ඉතාම අවංක දේශපාලනඥයන් කිහිපදෙනාගෙන් කෙනෙකි. ඔහු තඹ සල්ලියක්වත් සොරකම් නොකළ නමුත් ඔහුගේ ගෝලයෝ හතර වටේට ගසා කෑහ. ඩඞ්ලි සේනානායක ඉතා පහසුවෙන් රැුවටුණු අගමැති කෙනෙකි. ශ‍්‍රී ලංකාවේ වගා බිම්වල තත්ත්වය පරීක්ෂා කිරීමට අගමැතිතුමා Field Trip ගිය අවස්ථාවලදී ඔහුගේ නිලධරයෝ ඈත පිහිටි තණකොළ ගාල් පෙන්නා කුඹුරු සරුවට වැඞී ඇති බව කියමින් ඔහු රවටන ලදැයි කට කතාවක් තිබේ.

ඩඞ්ලි සේනානායකට කෙළවුණේ නිලධාරී හැතිකරය නිසාය. එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. අදවන විට නිලධාරීන්ට කෙළවෙන්නේ දේශපාලනඥයන් නිසාය. ඒ කතාව පසෙකින් තබන්නේ අප සියලූ පාර්ශ්ව සමග හොඳ හිත පවත්වාගෙන යායුතු බැවිනි. ඩඞ්ලි සේනානායක මිය යන අවස්ථාවේදී ඔහුගේ බැංකු ගිණුමේ තිබුණේ රුපියල් 517යි ශත 70 ක් පමණි. අද සිටින ඇතැම් දේශපාලනඥයන් මියගිය විට ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කළොත් එසේ පරීක්ෂා කරන්නා ක්ලාන්ත වීමට ඉඩ තිබේ. ජීවිතයට දැකලා නැති සල්ලි කන්දරාවල් බලා ගැනීමට ක්ලාන්තය හැදීමට මොහොතකට පෙර ඒ නිලධාරීන්ට සිදුවනවා ඇත. මෙය අතුරු කතාවකි. අප සාකච්ඡා කරන ප‍්‍රධාන කාරණය මෙසේය.

දැනට පවතින ඩොලර් හිඟය නිසා ආනයනය තවදුරටත් සීමා කිරීමට ආණ්ඩුවට සිදුවී තිබේ. දැනට අප දන්නා පරිදි පිටරටින් ගේන සියලූ දේවල් තවදුරටත් වෙළඳපොළේ නැත. එහෙත් ඔස්ටේ‍්‍රලියන් ඇපල්, සයිප‍්‍රස් මිදී, ඉතාලි දොඩම්, නාරං, පෙයාර්ස්, දෙළුම්, කිවි ෆෘට් ඇතුළු විදේශික සම්භවයක් ඇති පළතුරු වර්ග රාශියක් තවමත් වෙළඳපොළේ ඇත. එකම වෙනස වන්නේ මේවායේ මිල වෙනදාට වඩා ටිකක් වැඩි වීමය. වෙළෙන්දා ක‍්‍රම දෙකකට මේවා ගෙන්වනු ඇතැයි සැක කළ හැකිය. පළමුවැනි ක‍්‍රමය වූකලී උණ්ඩියල් ක‍්‍රමයට මුදල් යවා බඩු ගෙන්වීමය. දෙවැන්න Credit Line හරහා බඩු ගෙන්වීමය. එනම් ණයට බඩු ගෙන්වීමය. ඔබ දීර්ඝ කාලයක් තිස්සේ පිටරටවල් සමග ගනුදෙනු කළ කෙනෙක් නම් ඔවුහු ඔබට ණයට බඩු දෙති. මේ සඳහා බැංකුවලින් එල් සී විවෘත කිරීමක් අවශ්‍ය නැත. උදාහරණයක් වශයෙන් පිටරටින් කිරිපිටි ගෙන්වීම සඳහා මේ දිනවල ඩොලර් නිකුත් නොකෙරේ. එබැවින් මෙරට කිරි ව්‍යාපාරිකයෝ ඔස්ටේ‍්‍රලියාවේ හෝ නවසීලන්තයේ පිහිටි ස්වකීය සැපයුම්කරුවන් වෙතින් කිරිපිටි ණයට ගනිති. කවදා හෝ දවසක ඩොලර්වලින් ගනුදෙනු කිරීමට ඉඩදුන් විට මේ ණය ගෙවීමට පුළුවන. එහෙත් හැමටම එවැනි පහසුකමක් නොවේ. මේ නිසා දේශීය කර්මාන්තකරුවෝ සකල අමාරුවකට වැටී සිටිති. පිටරටින් ගෙන්වන අමුද්‍රව්‍ය හිඟය නිසා කිසිදු කර්මාන්තයක් කරගැනීමට ඉඩක් නැත. තවත් කාරණයක් කියමු.

ඩොලර්වලින් පිටරටවල් සමග ගනුදෙනු කිරීමට බැරිව කොටසක් හූල්ලමින් සිටියදී තවත් කොටසක් සිය වෙළෙඳසල් තුළ පිටරටින් ගෙන්වූ ටොෆි චොකලට්, ජෑම් වර්ග, චීස්, බටර් වර්ග සහ ශීත කළ පළතුරු පුරවාගෙන සිටිති. විදේශීය බඩු පමණක් ඇති, දේශීය සිංහල බඩු භාණ්ඩ නැති කඩ සාප්පු රැල්ලක් 1977 න් පසු මෙරට ආරම්භ විය.
විවෘත ආර්ථිකය හරහා ගෙන්වන ලද විදේශීය බඩු මේ වෙළඳසල්වල පුරවා තිබිණ. අවුරුදු 45 කට පමණ පසු මේ තරම් ඩොලර් හිඟයක් රට තුළ තිබියදීත් ඒ කඩ රට බඩුවලින් පිරී ඉතිරී ගොස් ඇත. මේ බඩු හුඟ හරියක් රට තුළට එන්නේ උණ්ඩියල් ක‍්‍රමය නිසාය. උණ්ඩියල් යනු සල්ලි කැටයට කියන දෙමළ නමයි. මේ ක‍්‍රමය තිබෙන තුරු මේ රට තුළට රටබඩු ඒම නැවැත්වීමට කිසිවෙක් සිතතොත් එය අප දකින්නේ මහ දවල් හිසට වැදුණු පොලූ පහරක් නිසා හටගත් මානසික රෝගයක් ලෙසය. ලංකාවේ හැම දෙයක්ම පාහේ පිටරටින් ගෙන්වනු ලැබේ. ලී මේස පුටු පවා ඉන්දුනීසියාවෙන් ගෙන්වයි. මේ පිළිබඳ විග‍්‍රහය පහළම තැනින් පටන් ගත්තොත් මෙසේය; පැන්සල් හැදීමට අවශ්‍ය මිනිරන් සහ ලී මේ රටේ තිබේ. එහෙත් හදන ලද පැන්සලට ගෑමට තීන්ත සහ පැන්සල් හදන යන්ත‍්‍රය මේ රටේ නැත. ඒ නිසා එම යන්ත‍්‍ර පිටරටින් ගෙන්වීමට සිදුවේ. මේ තත්ත්වය දේශීය රෙදි නිෂ්පාදන කර්මාන්තය සමග සසඳමු.

හෑන්ඞ්ලූම් රෙදි විවීමට අවශ්‍ය යන්ත‍්‍රය මේ රටේ ලීවලින් මේ රටේදීම හදනු ලැබේ. එහෙත් එම යන්ත‍්‍රයේ ක‍්‍රියාකාරීත්වයට අවශ්‍ය හණ ලනු ගේන්නේ පිටරටිනි. රෙදි විවීම සඳහා යන්ත‍්‍රයට යොදන නූල්ද එම නූල් වර්ණ ගැන්වීම සඳහා අවශ්‍ය ඩයි ද පිට රටින් ගෙන්වනු ලැබේ. මේසයක් පුටුවක් ගත්තොත් ඒවාට ගසන ඇණ සෑදීමට අවශ්‍ය යකඩ ගේන්නේ පිටරටිනි. හාල් මෙරට නිපදවනු ලැබේ. මදිහරිය රටින් ගෙන්වනු ලැබේ. සව් හාල් ඉන්දියාවෙන් ආනයනය කෙරේ. අපේ ජීවිතය දුවන්නට අවශ්‍ය ප‍්‍රමුඛම දෙය වූ ඉන්ධන සියල්ලම අපි පිටරටින් ගෙන්වමු. වීදුරු හැදීමට අවශ්‍ය සිලිකා වැලි මෙහි ඇතත් එයට යොදන වෙනත් අමුද්‍රව්‍ය සහ ඒවා නිපදවන යන්ත‍්‍ර ගෙන්වන්නේ පිට රටිනි. දැනට පොල්, ඇඹුල් කෙසෙල්, මඤ්ඤොක්කා, වට්ටක්කා, බණ්ඩක්කා ඇතුළු එළවළු ද්‍රව්‍ය කිහිපයකුත් ඒවා පිසින අයගේ ශ‍්‍රමයත් පමණක් පිටරටින් ගෙන්වන්නේ නැත. එහෙත් අදාළ ශ‍්‍රමිකයාගේ ශ‍්‍රමය නිපදවීමට අවශ්‍ය බඩු භාණ්ඩ වලින් 90% ක්ම පිටරටින් ගෙන්වන ඒවාය. මේ නිසා ඉදිරි දින කිහිපය තුළදී ඩොලර් හිඟය මාරම ප‍්‍රශ්නයක් වනු ඇත. ආණ්ඩුව රටබඩු ගෙන්වීම තවදුරටත් සීමා කළොත් ඔක්සිජන් සහ ජලය මගින් පමණක් ජීවත් විය හැකි නව ක‍්‍රමයක් සොයා ගැනීමට විද්‍යාඥයෝ කටයුතු කළ යුත්තාහ.

advertistmentadvertistment
advertistmentadvertistment