කවුද මේ මනී බොස්

256

රඟපෑම වෘත්තිය කරගන්නේ නෑමැරීන් ඩ්‍රයිව් මගේ වැඩක්

‘නන්නත්තාර’ ටෙලි නාට්‍යය හරහා මේ දිනවල පුංචි තිරයේ අලුත් මුහුණක් දකින්න ලැබෙනවා. පුංචි තිරයට අලුත් වුණත් රිදී තිරයට නම් මේ මුහුණ අලුත් නැහැ. කොහොම වුණත් බොහෝ දෙනෙක් වතගොත හොයන මේඝ සූරියආරච්චි සමග අපි තාබහකට එකතු වුණා.

‘නන්නත්තාර’ ටෙලියේ මනී බොස්ට ලැබෙන්නෙ මොන වගේ ප්‍රතිචාරද?

මනී බොස් කියන්නෙ සීමිත කතා මාලාව ඇතුළෙ මුල ඉඳන් අගටම වෙනස් වන චරිතයක්. ඒ නිසා මම හිතන්නෙ මනී බොස්ව තවමත් මනිමින් පවතිනව.

කවුද මේ මනී බොස්

මේඝ සූරියආරච්චි කියන්නෙ කවුද?

නිර්මාණ පැත්තෙන් ගත්තොත්, මේඝ සූරියආරච්චි කියන්නෙ නිර්මාණකරණයේ හැම පැත්තටම ආදරය කරන මනුස්සයෙක්.

ඔබේ පියාත් නිර්මාණ අධ්‍යක්‍ෂවරයෙක්?

මගේ තාත්තා වෛද්‍යවරයෙක්. දෙවනුව නිර්මාණ අධ්‍යක්‍ෂවරයෙක්.

කවුද මේ මනී බොස්

ඔබ කලාව තෝරාගන්නෙ තාත්තා නිසාද?

පොඩිකාලේ ඉඳන්ම අපේ පවුල් පසුබිමෙන් වගේම හැදුණ වැඩුණ වටපිටාව තුළ කලාව තිබුණ. ඒ පරිසරය තුළ හැදී වැඩෙනකොට කලාවට යොමු වුණා වගේම තාත්තාගෙන් ලැබුණ දිරිමත් කිරීම ලොකු උදව්වක් වුණා. කලාවට එන්න පවුල් පසුබිම උදව් වුණාට කලාවෙ නිරතවෙන්නෙ ඒ පසුබිම නිසාම විතරක් නෙමෙයි කියලයි මම නම් හිතන්නෙ.

ඔබ නන්නත්තාර භාරගන්නෙ ඇයි?

මම පෞද්ගලිකව සිනමාවට ගොඩක් ආදරේ කෙනෙක්. මට ටෙලි නාට්‍ය භාරගැනීමේදී ලොකුම ගැටලුව වෙලා තියෙන්නෙ කාල කළමනාකරණය. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා අපි හැමෝම දන්න විදිහට පුංචි තිරය වගේම රිදී තිරයත් වෙනස්ම විදිහට දකින කෙනෙක්. ඉතිං ඔහුගේ සීමිත කොටස් ප්‍රමාණයක් සහිත ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙන්න කියල මට ඇරයුම් කළාම නිර්මාණකරුවෙක් හැටියට මට ඒක අහක දාන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ.

එහි අත්දැකීම් මොන වගේද?

එක එක අධ්‍යක්‍ෂවරු එක එක විදිහයි. නමුත් රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට ජයන්ත චන්ද්‍රසිරි වැනි අධ්‍යක්‍ෂවරයෙක් යටතේ අධ්‍යක්‍ෂණයට ලක්වීමට අවස්ථාව ලැබීම ලොකු භාග්‍යයක්. මටත් ඒක ඒ විදිහටම අත්විඳින්නට අවස්ථාව ලැබුණා.

චරිතය ගැන ඔහුගෙ උපදෙස් මොන වගේද?

මුලින්ම මනනන්ද කියන චරිතය පිටපත තුළින් මගේ විදිහට කියෙව්ව. ඉන් අනතුරුව තමයි අධ්‍යක්‍ෂවරයෙක් සහ තිර පිටපත් රචකයෙක් හැටියට මනනන්ද චරිතය දැකපු විදිහ වගේම ඒ චරිතයට මගෙන් එකතු විය යුතු දේ ගැන මාව දැනුවත් කරන්නෙ.

කවුද මේ මනී බොස්

ඔබේ තාත්තා අධ්‍යක්‍ෂණය කළ ‘සිනේමා’ සිනමා නිර්මාණයටත් ඔබ රංගනයෙන් එකතු වෙනව?

සිනේමා රූගත කරන්නෙ මීට අවුරුදු හයකට පමණ කලින්. ඇත්තටම කිව්වොත් රංගනය ගැන හදාරන්න මට උනන්දුව ඇතිවෙන්නෙ සිනේමා නිසා. ඒ වගේම සිනමා රංගන ශිල්පියෙක් හැටියට එකතුවෙන්න ආසාව ඇතිවෙන්නෙත් සිනේමා නිසාමයි.

ඔබේ සිනමා නිර්මාණයක් තවමත් තිරගත වුණේ නැහැ?

ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ ‘මන්දාරා’ චිත්‍රපටයට වගේම රොහාන් පෙරේරා මහත්මයාගේ ‘සීගිරි’ චිත්‍රපටයටත් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. මේ දෙකම පසු නිෂ්පාදන අවධියේ පසුවෙනව.

‘මන්දාරා’ ගැන කතා කළොත්?

‘මන්දාරා’ කියන්නෙ මම මෙතෙක් රඟපෑ චිත්‍රපට අතරින් වෙනස් විදිහේ නිර්මාණයක්. ඒකට හේතුව තමයි ප්‍රියන්ත කොළඹගේ මහත්මයාත් අනෙක් අධ්‍යක්‍ෂවරු සමග ගත්තාම වෙනස් විදිහකට ප්‍රේක්‍ෂකයා කියවන අධ්‍යක්‍ෂවරයෙක් වීම.

මනී බොස් කවුද කියල බොහෝ දෙනෙක් හොයනව?

මම පුංචි තිරයට මුලින්ම එකතුවෙන්නෙ නන්නත්තාර හි මනනන්ද කියන චරිතය හරහා. පුංචි තිරයට මගේ මුහුණ අලුත් නිසාම මේ කවුද කියල ප්‍රේක්‍ෂකයන් හොයනව ඇති.

මනනන්ද සහ මේඝ අතර සම්බන්ධය මොන වගේද?

චරිතයේ පොඩි පොඩි සොභාවයන් සමාන ඇති. නමුත් මනනන්ද සහ මේඝ කියන්නෙ සම්පූර්ණ වෙනස් චරිත දෙකක් කියලයි මම හිතන්නෙ.

මේඝ කලාවට සම්බන්ධ නොවුණා නම්?

මම කලාවට ලොකු ඇල්මක් දැක්වූවා වගේම සිනමා අධ්‍යක්‍ෂණයට යොමුවෙන්න මුල ඉඳන්ම මගේ හිතේ තිබුණා. ඒ නිසා මම හිතනව රංගන ශිල්පියෙක් නොවුණා නම් බොහෝ දුරට අධ්‍යක්‍ෂණයට යොමු වේවි කියල.

මේ වන විට ඔබේ වෘත්තිය?

මගේ වෘත්තිය විදිහට රඟපෑම තෝරාගන්න අදහසක් නැහැ. මොකද පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මෘදුකාංග ඉංජිනේරු අංශයෙන් තමයි මම වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවේ. කොහොම වුණත් ක්‍ෂේත්‍ර දෙකක වැඩකරන්න මම අදහස් කරන්නෙ නැහැ. මොකද ඒක අමාරු කාර්යයක්. මම හිතනව ඉදිරියේදී කලාවට සම්බන්ධ වෘත්තියක නියැළෙයි කියල.

වෛද්‍යවරයෙක් වෙන්න බලපෑමක් තිබුණෙ නැද්ද?

අපේ පවුල තුළ තමන්ට කැමති මාර්ගයක් තෝරාගන්න අපිට ඉඩ තිබුණ. කිසිම විදිහකින් එක විෂයයක් තුළට කොටුකරන්න දෙමව්පියො උත්සාහ කළේ නැහැ. මට තව සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නව. අපි තුන්දෙනා ක්‍ෂේත්‍ර තුනක් තෝරාගන්නෙ.

තාත්තා නිසා කලාව තුළ ඔබට ලැබෙන ඉඩකඩ වැඩිද?

තාත්තා නිසා මේ විෂය තුළදි මට ලැබුණ එකම දිරිගැන්වීම නිර්මාණකරණයට ආදරය කරන්න පෙලඹවීම තමයි. එතනින් එහාට මට යමක් ලැබෙන්නෙ මගේම අධ්‍යයනයන් සහ මගේ කැපවීම එක්ක.

අලුත් ආරාධනා?

‘සිනේමා’ තිරගතවීමත් එක්ක පුංචි තිරයට වගේම රිදී තිරයටත් විවිධ ආරාධනා ලැබුණ. නමුත් මේ අතරින් මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ සිනමා නිර්මාණ වලට. හොඳ පිටපතක් ලැබුණොත් පුංචි තිරයට ලැබෙන ආරාධනා සලකා බලනව.

රංගනයට අමතරව වෙනත් ආරාධනා ලැබෙනවද?

පොඩි කාලෙ ඉඳන් මම වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වෙලා තියෙනව. නමුත් අධ්‍යාපන කටයුතු නිසා කාලයත් සමග මම ඒ දේවල්වලින් ඈත් වුණා. කොහොම වුණත් ඉදිරියේදී වෙනත් ක්‍ෂේත්‍රයන්වලට ආරාධනා ලැබුණොත් ඒ ගැන සලකා බලනව.

කැමරාවෙන් පිටුපස ඔබේ භූමිකාව?

කැමරාවෙන් පිටුපස මම අධ්‍යක්‍ෂණයට කැමති කෙනෙක්. මම අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයක පසු නිෂ්පාදන කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතිනව. ඒක නම්කරල තියෙන්නෙ ‘මැරීන් ඩ්‍රයිව්’ කියල.

මේ නිර්මාණයේ ඔබත් නළුවෙක්ද?මෙතනදි මම රංගනයෙන් එකතු වෙන්නෙ නැහැ. ජගත් මනුවර්ණ, ධර්මප්‍රිය ඩයස්, දර්ශන් ධර්මරාජ්, රුවින් ද සිල්වා, නයනතාරා වික්‍රමආරච්චි වගේ රංගන ශිල්පීන් මේ නිර්මාණයට එකතු වෙනව.

මහෙෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment