පුංචි ඡන්දයදාම මහ ඡන්දයක් පවත්වා වත්මන් ජනපති යටතේම අලුත් ආණ්ඩුවක් හදමු

282

වැඩෙත් ලේසියි: වියදමත් අඩුයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

“පළාත් පාලන මැතිවරණය පවත්වන දිනටම පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා වත්මන් ජනාධිපති යටතේම නව ආණ්ඩුවක් පිහිටුවමු” යැයි සමගි ජන බලවේගය මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (15දා) පැවසීය.

ඒ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටි අතර එසේ වුවහොත් ජනාධිපතිවරයාට ද ‘ලේසියි’ යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය. ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා එහිදී මෙසේද කීය.

“වත්මන් ආණ්ඩුවේ වැඩි පිරිසක් ඉන්නේ තමන්ගේ බලය ආරක්ෂා කර ගන්නයි. රටට මොනවා වුණත් කමක් නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවෙලා. පාර්ලිමේන්තුවේ ඉන්නයි බලන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව යටතේ රට ගොඩ යයි කියලා නම් හිතන්න බෑ. ඒක සිහිනයක්. අපේ රටට අලුත් බලාපොරොත්තුවක් ඕනා. ඒ බලාපොරොත්තුවට අඩිතාලම දමන්න නව ජනවරමක් අවශ්‍යයි.

ජනාධිපතිතුමාට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හැකියාව තිබෙනවා ලබන මාර්තු මාසයේ ජනවරමක් ලබා ගන්න. ශතයක්වත් වැඩිපුර වියදම් කරන්නේ නැතුව අපට පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න පුළුවන්. පළාත් පාලන මැතිවරණය පවත්වන්න සල්ලි දීලා තිබෙනවා. එහෙනම් අපි එදාටම මහ මැතිවරණයත් තියමු. ජනාධිපතිතුමාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න. එලෙස අලුතින් පිහිටුවන ආණ්ඩුවෙන් මේ රට ගොඩගන්න පුළුවන්. අපි කියන්නේ ජනාධිපති ඡන්දයක් ගැන නොවෙයි. ජනාධිපතිතුමා ඉන්නවා. ඔබතුමා ව්‍යවස්ථාවෙන් පත්වුණු ජනාධිපති. අපි ව්‍යවස්ථාවට පිටින් වැඩ කරන්නේ නෑ. අපි කියන්නේ අලුත් ආණ්ඩුවක්, අලුත් පාර්ලිමේන්තුවක් පිහිටුවා ගනිමු. ඒකට අලුත් ජනවරමක් ගනිමු. ඒ සඳහා අපිට ආර්ථික දැක්මක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කණ්ඩායමක් ඉන්නවා. ඔබතුමාටත් ලේසියි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment