දියණිය හා පියා නිවස ඉදිරිපිටදීම බේබදු රියැදුරාට බිලි!

900

පළාගිය රියැදුරා හා රිය අත්අඩංගුවට

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ කල්එළිය තුනේ කනුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පියා සහ දාහතර හැවිරිදි දියණිය මරුමුවට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කල්එලිය මීරිගම පාර අංක 52 ලිපිනයේ පදිංචිව සිටි චන්දන නිශාන්ත 54 මහතා සහ නෙවින්දි දිල්ෂිකා 14 දැරියයි. මියගිය දියණිය මීරිගම බණ්ඩාරනායක මහ විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

උපකාරක පන්තියකට සහභාගි වූ දියණිය බසයෙන් බැස ඒ ආසන්නයේ වූ නිවස කරා පියා විසින් කැඳවාගෙන යමින් සිටියදී පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඔවුන් දෙදෙනා හප්පා නොනවත්වා පලා යද්දී කල්එලිය නගරයේ දී පොලිසිය විසින් මෝටර් රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

පියා සහ දියණිය අනතුරට පත්ව ඇත්තේ නිවස පේනතෙක් මානයේදීමය. තත්පර දෙක තුනක කාලයක් ගතවූයේ නම් ඔවුනට නිවසට යාමට කල් වේලා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

වැස්ස තිබූ අවස්ථාවේ පියා දියණිය සමග කුඩයක් යටින් පාරේ අයිනේ ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට පත් වී ඇති අතර අනතුරට ලක් වූ දියණිය මීටර් විස්සක් පමණ ඇදී ගොස් තිබූ බවද පොලීසිය සදහන් කරයි. දියණිය සිද්ධිය වූ ස්ථානයේම මරණයට පත්වී ඇති බවත් මීරිගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පියා මරණයට පත් ව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ රියැදුරා අමිතිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද ඔහු පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු ලෙස සේවය කරන්නෙකු වන අතර රියදුරා බීමතින් පසු වී ඇති බව මූලික වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි වූ බවද පොලීසිය සඳහන් කරයි.

මියගිය අයගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සහ මරණ පරීක්ෂණ මීරිගම මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.

පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික සංජීව මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.

කල්එළිය චන්ද්‍රවීර වික්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment