අපි ඉවරයි… – නිසි විසඳුම් නැත්නම් වගාවෙන් ඉවත් වෙනවා – වැලිමඩ අර්තාපල් ගොවීහු මහපාරට බසිති

37

දේශීය අර්තාපල් අස්වනු සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙස ඉල්ලා වැලිමඩ අර්තාපල් ගොවීන් (16 දා) විරෝධතාවක නිරත විය.

වැලිමඩ – ඌව පරණගම ගොවිජන එකමුතුව මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර වැලිමඩ නුගතලාව වෙල්යායේදී මෙම විරෝධතාව පැවැත්වින. මෙහිදී ගොවීන් කියා සිටියේ පෙර වර්ෂ වල මෙන්ම මෙවරද තම අර්තාපල් අස්වනු වෙළෙඳපොළට පැමිණෙන විට විදේශීය අර්තාපල් මෙරටට ආනයනය කර වෙළෙඳපොළට දමා ඇති බවයි. ආනයනික අර්තාපල් අඩු මිලට වෙළෙඳපොලේ ඇති නිසා තම අස්වනුද අඩු මිලට අලෙවි කිරීමට සිදුව ඇති බවයි. මේ වන විට දේශීය අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 150 ත් 180 ත් අතර මිලක පවතින් අතර විදේශීය අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 130 ත් 140 ක මිලක පවතින බව ගොවීහු කියති. ආනයනික අර්තාපල් අඩු මිලට පවතින නිසා වෙළෙඳුන් දේශීය අර්තාපල් මිලට ගැනීමට මැලිකමක් දක්වන බවත් ගොවීහු පවසති.

පැවැති වියළි කාලගුණ තත්වය හමුවේ දැඩි වෙහෙසක් දරා කෘෂි රසායන හා රසායනික පොහොර ද ඉහළ ගොස් ඇති පසුබිමක වගා කළ අස්වනු මේ ආකාරයෙන් අඩු මිලට අලෙවි කිරීමට සිදු වීමෙන් තමන් අන්ත අසරණ වී ඇති බවත් ගොවීහු පවසා සිටියහ. මෙලෙස තම අර්තාපල් අස්වනු වෙළෙඳ පොළට පැමිණෙන කාලයේ මෙලෙස විදෙස් රටවලින් සීමාව ඉක්මවා අර්තාපල් ආනයනය නොකරන ලෙසට බලධාරින්ට කොතෙක් දැනුවත් කළද කිසිදු පළක් නොවූ බවත් ගොවිහු කියති. කණකර පවා උකස් කර බැංකු ණය ලබා ගෙන දහසකුත් බලාපොරොත්තු ඇතිව වගා කළ අර්තාපල් අස්වනු කුණු කොල්ලයට විකිණීමට සිදුවීම නිසා බැංකු ණය ගෙවා ගැනීමට ඉදිරියේදී තමන්ට නොහැකි බවත් තම දරු පවුල් පෝෂණය කිරීමටද නොහැකි වනු ඇති බවත් ගොවීන් පවසයි. මේ ආකාරයෙන් බලධාරින් තම ගැටලු කෙරෙහි අවධානයක් යොමු නොකළහොත් ඉදිරියේදී තමන්ට දේශීය අර්තාපල් වගාවෙන් ඉවත් වීමට සිදුවන බවත් ගොවීහු පවසති.

මෙම විරෝධතාව සඳහා දේශීය අර්තාපල් ගොවීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
බොරලන්ද සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment