ශ්‍රීලනිප වැ.බ. සභාපති ධුරය තහනමට එරෙහි විජයදාසගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

100

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩ බලන සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා විසින් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අභියාචනාධිකරණය ඊයේ (07දා) ප්‍රතික්‍ෂේප කළේය.

පෙත්සම්කරු දිසා අධිකරණය හමුවේ අවශ්‍ය කරුණු සනාථ කර එකී නියෝගය අවලංගු කරගත යුතු බවත් තම අධිකරණය ඒ සම්බන්ධයෙන් මැදිහත්වීම නුසුදුසු බවත් පෙන්වා දුන් අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා ගාස්තු රහිතව එම පෙත්සම ප්‍රතික්‍ෂේප කළේය.

පසුගිය අප්‍රේල් 21 වැනිදා මොනාච් ඉම්පීරියල් උත්සව ශාලාවේ පැවති විධායක කමිටු රැස්වීමේදී තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගත් බවත් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර යන තම පක්‍ෂයේ ක්‍රියාකාරීන් ගොනු කළ පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී දිසා අධිකරණය විසින් එම අතුරු තහනම් නියෝගය ඒකපාර්ශිකව සලකා බලා එම නියෝගය නිකුත් කර ඇති බවත් පෙත්සම්කාර විජයදාස රාජපක්‍ෂ මහතා අභියාචනාධිකරණයට පෙන්වා දී තිබිණි.

පෙත්සම්කාර විජයදාස රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා මුල් අවස්ථාවේදී කරුණු දක්වා තිබූ අතර නීතිඥ සම්පත් පෙරේරා මහතා සමග නීතිඥ චතුර ගල්හේන මහතා ඊයේ පෙනී සිටියේය.

වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අකිල දිසානායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ පුලස්ති රූපසිංහ, ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර හා ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහත්වරු පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment