බීඩි බදු සංශෝධනයේ අරමුණ මෙතෙක් අහිමි වූ බදු නිසි ලෙස ලබා ගැනීමයි – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

92

මෙතෙක් රජයට අහිමි වූ බදු මුදලක් නිසි පරිදි ලබාගැනීම බීඩි බදු සංශෝධනයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙතෙක් බීඩිකොළ ආනයනයේදී බීඩිකොළ කිලෝවක් සඳහා රු. 5000 ක් තරම් වූ ඉහළ බද්දක් අය කළ බව සඳහන් කළ අමාත්‍යවරයා, ප්‍රායෝගික නොවන මෙවැනි ඉහළ බද්දක් අයකිරීම නිසා බීඩි කොළ ආනයනයෙන් 75 % ක්ම අනියම් ක්‍රම මගින් ගෙන්වීමට බොහෝ බීඩිකොළ ආනයනකරුවන් කටයුතු කළ බවත්, ඒ නිසාම රජයට හිමි විය යුතු බදු මුදලක් අහිමි වූ බවත් සඳහන් කළේය.

ඒ අනුව පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී බීඩි නිෂ්පාදකයන්ගේ සංගමයේ ද සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙතෙක් කිලෝවට රු.5000.00 ක් වූ බීඩි කොළ ආනයන බද්ද කිලෝවට රු. 250.00 දක්වා අඩුකිරීමටත්, ඉන් සිදුවන අලාභය පියවා ගැනීම සඳහා නිෂ්පාදිත බීඩියක් සඳහා මෙතෙක් අයකළ රු.2.00 ක්වූ බදු මුදල බීඩියකට රු. 3.50 දක්වා ඉහළ දැමීමටත් කටයුතු කළ බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මේ හේතුව නිසා 700 ක් පමණ වන ලියාපදිංචි බීඩි නිෂ්පාදකයන් යටතේ සේවය කරන පිරිස මෙන්ම ගෘහ කර්මාන්තයක් වශයෙන් බීඩි නිෂ්පාදනය සිදු කර ඉතා සුළු මුදලක් උපයා ගන්නා ලක්ෂ ගණනක් වූ පිරිසට තම රැකියාව සුරක්ෂිතව සිදුකරගෙන යෑමට හැකියාව ලැබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙමගින් කිසිසේත්ම බීඩි මිල ඉහළ යෑමක් සිදු නොවන බවත්, විකෘති වී තිබූ බද්ද ප්‍රකෘතිමත් වීමත්, නිෂ්පාදකයාට යම් සහනයක් සැලසීමත් මේ මගින් සිදුවන බව ද සඳහන් කළේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment