එක පුද්ගලයෙක් ජනවරම අවලස්සන කළා

695

රටේ ඇත්ත තත්ත්වය ජනතාවට කියූ පසු
ඇමැතිකම් අහිමි වීම ගැන දුකක් නැහැ

මේ ජනපති යටතේ යළි ඇමැතිකම් ගන්නේ නැහැ
– හිටපු ඇමැති විමල් වීරවං

වත්මන් ජනාධිපතිවරයා යටතේ කවර ලෙසකවත් අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට තමාගේ කිසිදු සූදානමක් හෝ කැමැත්තක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (04 වැනිදා) අවධාරණය කර කියා සිටියේය.

රට හමුවේ පවතින සැබෑ අර්බුදය ගැන පැවසීම වරදක් ලෙස ගෙන ඇමැති ධුරවලින් ඉවත් කිරීම ිපිළිබඳ කිසිදු කනගාටුවක් නැති බවත් ඒ ගැන ජනාධිපතිවරයාට ස්තූතිය පුද කරන බවත් හෙතෙම කියා සිටියේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (04 වැනිදා) එම අදහස් පළ කළේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවති ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

එක පුද්ගලයෙක් ජනවරම අවලස්සන කළා

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වීමට පෙර සිටම අපේ කඳවුර තුළ අභ්‍යන්තර අරගලයක් තිබුණා. පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා වීමේ අපේක්ෂාවක් බැසිල් රාජපක්ෂ මහතාට තිබුණා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පුද්ගලික දේපලක් ලෙස යොදා ගෙන එම අපේක්ෂකත්වය ලබා ගැනීමට කටයුතු කළා. නමුත් මහින්ද සුළඟ ආරම්භ කළ පිරිස ලෙස අපි කල්පනා කළා මහින්ද රාජපක්ෂ මහතා තරග නොකරනවා නම් ඒ සඳහා සුදුසු ගෝඨාභය රාජපක්ෂ මහතා බව. ඒ මතයේ සිට තමයි අපි කි‍්‍රයා කළේ. එම නිසා බැසිල් රාජපක්ෂ මහතාගේ සිහිනයට සැලකිය යුතු බලපෑමක් ඇති වූවා. අවසානයේදී අකැමැත්තෙන් හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස පිළිගැනීමට බැසිල් රාජපක්ෂ මහතාට සිද්ධ වූවා. ඒක කැමැත්තෙන් සිද්ධ වූ දෙයක් නොවන බව අපි දන්නවා.

ඒ වගේම 2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතා හමුවී විපක්ෂ නායකකම ඉල්ලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා එම ඉල්ලීමට එකඟ නොවුණ නිසා ඔහු මහින්ද මහතාටත් නොකියා රටින් පිටවී ගියා. එහෙම අයකු ජනාධිපති අපේක්ෂකයා හෝ ජනාධිපතිවරයා ලෙස පත්කිරීමේ අසනීපයක් අපට තිබුණේ නැහැ.

කෙසේ වුවත් එම ගැටුම දිගටම තිබුණා. එම ගැටුම එළියට පෙනුන අවස්ථාත් නොතිබුණ අවස්ථාත් තිබෙන්න ඇති. 20 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවය තිබෙන අයෙකුට අමාත්‍ය ධුර ලබාදීම පිළිබඳව අප තදින්ම විරුද්ධ වූවා. එම අවස්ථාවේදීත් මෙම ගැටුම මතු වූවා. ඒ අවස්ථාවේදී වගේම ඉන් අනතුරුව වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදීත් එම ගැටුම මතු වූවා. ඉන්පසුව යුගදනවි ගිවිසුම අත්සන් කළ අවස්ථාවේදීත් මෙම ගැටුම මතු වූවා. දැන් නම් දෙයියනේ කියලා ඔවුන්ට සෑහීමකට පත් වෙන්න පුළුවන් තීන්දුවක් ලැබිලා තිබෙනවා. මම දන්නේ නැහැ කුමන ආනුභාවයෙන් ද කියලා.

ඇත්ත වශයෙන්ම ගත්තොත් මේක ප‍්‍රතිපත්තිමය ගැටුමක් මිස පෞද්ගලික ගැටුමක් නොවෙයි. එම ප‍්‍රතිපත්තිමය ගැටුම මෙම ආර්ථික අර්බුදයේදීත් මතු වී තිබෙනවා. මේ වනවිට අප ලංකා ඉතිහාසයේ මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටිනවා. ඒ පිළිබඳව වගේ වගක් නොමැතිව ළඟදීම මෙම ප‍්‍රශ්නය විසඳෙනවා යන වින්දනය ලබා දෙන සිතුවිලිවල ගිලිල ඉන්න අපට පුළුවන්කමක් නැහැ. ඒ පිළිබඳව අපට වගකීමක් තිබෙනවා. මෙම ප‍්‍රශ්නය ඉබාගාතේ යන්න නොදී අපේ යෝජනා රජයටත් ජනතාවටත් ඉදිරිපත් කරන එම කටයුත්ත තමයි අපි පසුගිය දවසක කළේ. එම යෝජනාවලිය ඉදිරිපත් කළ දිනයේදී මම පවතින තත්ත්වයත් එම තත්ත්වය නොසලකා හැරියොත් ඇති වන තත්ත්වයත් පැහැදිලි කළා. ඒ අතරේ මුදල් ඇමැති කියන චරිතය ඒ පිළිබඳව වගේ වගක් නොමැතිව සිටින බවත් සඳහන් වූවා.

කෙසේ වුවත් අපට දැන ගැනීමට තිබෙන ආකාරයට අනුව, එම ප‍්‍රකාශවලින් පසුව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ප‍්‍රකාශ කර තිබෙනවා අපි දෙදෙනා අමාත්‍ය ධුරවලින් ඉවත් නොකළහොත්, ඔහු අමාත්‍ය මණ්ඩල රැුස්වීම්වලට සහභාගි නොවන බව. එම අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අන් සියලූ අවස්ථාවලදී මෙන්ම පවුලේ බලපෑමට යටත්ව ඔහු කියන දේ කරලා තිබෙනවා. තම සහෝදරයා අමාත්‍ය මණ්ඩලයට නොයන එක වළක්වා ගැනීම සඳහා ඔහු තීරණය කරලා තිබෙනවා. අපි දෙදෙනා අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට. ඒ පිළිබඳව අපට කිසිම කනගාටුවක් හෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ආරෝවක් නැහැ. අපි දන්නවා ගෝඨාභය ජනාධිපතිතුමා බරපතළ ලෙස බැසිල් රාජපක්ෂ කියන චරිතයේ පාලනයට නතු වී තිබෙනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති කවුද, ලේකම් කවුද, භාණ්ඩාගාරික කවුද කියලා ඇසුවොත් කියන්න තිබෙන්නේ දන්නේවත් නැති නම් ටිකක්. මුල් කාලයේදී නම් එම තත්ත්වය සාධාරණයි, මොකද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණ පැවැත්විය හැකි නිසා. නමුත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමෙන් පසුව එම ගැටලූ මතු වන්නේ නැහැ. මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් පසුව හෝ එම පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු පත්වූයේ නැහැනේ. නමවත් මතක නැති අය තමයි පත් වෙලා තිබෙන්නේ. හරි නම් එම පක්ෂයේ සභාපති වෙන්න ඕනෙ මහින්ද රාජපක්ෂ. ලේකම් වෙන්න ඕනෙ ඩලස් අලහප්පෙරුම. ජාතික සංවිධායක විය යුත්තේ පාර්ලිමේන්තු ඇමැතිවරයෙක්, මන්තී‍්‍රවරයෙක්. නමුත් එහෙම නැහැ. එම පක්ෂය පෞද්ගලික දේපලක්. එම පෞද්ගලික දේපලේ තිබෙන බලය පාවිච්චි කරලා ජනාධිපතිවරයාට තමන්ට අභිමත තීරණ ගැනීම සඳහා තල්ලූ කරනවා. කනගාටු වී තිබෙන්නේ ජනාධිපතිවරයාටත් එම බලපෑමෙන් මිදෙන්න බැරි වෙලා තිබෙනවා.

අමාත්‍ය ධුරය දරපු කාලයේදී අපට පුළුවන් මට්ටමින් ඒ සඳහා කැප වූවා. ගම්මන්පිල ඇමැතිතුමත් එහෙමයි. ඒ පිළිබඳව සතුටු වෙනවා. අපි කටයුතු කරන්නේ හෘද සාක්ෂියට එකඟව. මෙම තනතුරුවලින් ඉවත් කිරීම අපට ආගන්තුක නැහැ. අපට තනතුරු තිබුණත් නොතිබුණත් අපේ දේශපාලනය එහෙමමයි. අපි කරලා තිබෙන්නේ ජනවරමට අනුව කටයුතු කිරීම පමණයි. ජනතා අභිලාසයට පටහැනිව කටයුතු කරන කොට ඊට එරෙහිව අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම ජනවරම ආරක්ෂා කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඊට ප‍්‍රතිචාරය ඇමැති ධුරවලින් ඉවත් කිරීම නම් එම තීරණය අප ඉතා සතුටින් භාර ගන්නවා. මට කියන්න තිබෙන්නේ බොහොම ස්තුතියි කියලා.

ඒ වගේම ආර්ථික අර්බුදයට හේතුව අපි දෙන්න කියලා සිතන්න ඇති. ඒ සඳහා ගත යුතු පියවර ලෙස තමයි අපි දෙන්නා ඉවත් කරන්න ඇත්තේ. එහෙම හරි කමක් නෑ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් නම් අපි ඒ ගැන සතුටු වෙනවා.

මෙහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු බලශක්ති ඇමැති උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

ආර්ථිකය ගැන මෙලෝ හසරක් නොදන්නා කෙනකු මේ රටේ ආර්ථිකය හැසිරවීම නිසා රට දිනෙන් දින අගාධයකට වැටෙන බව කිව්වා. පළමුව ඇමැති මණ්ඩලය තුළත් ඉන් පලක් නැති තැන පිටතත් ඒ ගැන අප සඳහන් කළා. අර්බුදයට විසඳුමක් සකසන මෙන් ඇමැති මණ්ඩල තුළ අප කතා කළා. එහෙම නොවුණ නිසයි මුළු රටම හරි මඟට ලෙස අර්බුදයෙන් ගොඩ එම පිණිස දස වැදෑරුම් විසඳුම් යෝජනාවලිය ගෙන ආවේ.

එම විසඳුම විසඳුමක් ලෙස දැන එම විසඳුම කි‍්‍රයාත්මක කරනවා වෙනුවට විමල් ඇමැතිතුමාට සහ මාව ඇමැති මණ්ඩලයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. එය හරියට හඳේ ආවාට පෙන්නන්න ඇඟිල්ල දිගු කළාම ආවාට දෙස බලනවා වෙනුවට දිගු කළ ඇඟිල්ල කපා දැමුවා වගේ වැඩක්. ඒ නිසා දැන් සදාකාලික අමාවක උදාවීමේ අනතුරක් ආණ්ඩුව විසින්ම උදා කරගෙන තිබෙනවා.

ඇත්තටම ආණ්ඩුවේ ගමන පිළිබඳව ද පසුගිය වසර එකහමාරක් තිස්සේ අප විවේචනයක් ඉදිරිපත් කළා. එහිදී අපට ඇමැතිවරුන් ලෙස යම් යම් බාධාවන් හා බැඳීම් තිබුණා. අපේ දිව ගැටගහලා වගේ තමයි තිබුණේ. නමුත් දැන් අප නිදහසේ මේ අර්බුදය ඇති කළේ කවුද? ඊට වගකිවයුත්තෝ කවුද යන්න අපට දැන් නිදහසේ කියන්න පුළුවන්. මේ රටට මේ අපරාධය කළ අය පිළිබඳව අප නුදුරු දිනක සාක්ෂි සාධක සහිතව හෙළි කරන්න කටයුතු කරනවා. ආණ්ඩුවේ එම පුද්ගලයාව ලිඛිත සාක්ෂි සහිතව පෙන්නනවා.

1958 දේශපාලන නවකතාවක් අවලස්සන ඇමරිකානුවා :ඹටකහ ්පැරසජ්බ* නමින් පළ වුණා. එය සිංහලටත් පරිවර්තනය වුණා. ඒ අවලස්සන ඇමරිකානුවා නමින්. එම අවලස්සන ඇමරිකානුවා පොත නැවත ශී‍්‍ර ලංකාව තුළ ලියැවෙමින් තිබෙනවා. ඇමරිකානුවෙක් විසින් අප රටේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අප රට නැවතත් ඇමරිකාවෙත් නිදහස් වීමේ පරිසරයක් නිර්මාණය කරන්න අපට සිදුව තිබෙනවා. මේ උත්සාහ කරන්නේ අපට දැනෙන විදිහට. අප පෙන්වූ අර්බුදයන්ට විසඳුම් නොදී හිතාමතා එය කඩාකප්පල් කරන්නන්ගේ සැලසුම් අප කුමක්ද යන්න සිහිබුද්ධියේ බැලිය යුතුය.

අප නව රජය පත්වූ දින සිට පෙරේදා (03 වැනිදා* දක්වාම මම ඇමැති මණ්ඩල ප‍්‍රකාශකයෙක්. ඒ නිසා ඒ කාලේ සිදුවූ දේවල් ලිඛිතව රට හමුවේ තැබීමට අපිට අයිතියක් තිබෙනවා. මේ රට මෙතැනට වට්ටපු එක පිළිබඳ සාක්‍ෂි සාධක සහිතව අප පෙන්වනවා.

හිතා මතා අර්බුදයට රට ගෙන යන්නේ 1997 ඉන්දුනීසියානු රාජ්‍ය තිබූ තැනට අප රට ගෙන යන්නයි. ඒ ගැන සාධාරණ සැකයක් අපට තිබෙනවා. 1977 දී ඉන්දුනීසියානු ජනාධිපති සුහර්තෝ නැගෙනහිර ටිමෝරයට නිදහස දෙන්න අචේ ප‍්‍රාන්තයට ස්වයං පාලනය දෙන්න කැමති වුණේ නැහැ. නමුත් එහි ආර්ථික අර්බුදය ඇතිවූ වෙලාවේ එම රටේ ජනතාවට කන්න නැති වුණා. මුළු රටම ඇනහිටියා. රට අකර්මණ්‍ය වූ වෙලාවේ ජාත්‍යන්තර ප‍්‍රජාව ඇවිත් කිව්වේ අපි රටට ගොඩයන්න අරමුදල් ලබාදෙන්නම් කියලා. හැබැයි නැගෙනහිර ටිමෝරයට නිදහස දෙන්න අචේ ප‍්‍රාන්තයට ස්වයං පාලනය දෙන්න කියලා ඔවුන් කිව්වා. එහිදී මට මේ අපරාධය කරන්න බෑ කියලා සුහර්තෝ ජනාධිපති ඉල්ලා අස්වුණා. නමුත් ඒ වෙලාවේ ඒ සඳහා මම සූදානම් යැයි මේඝාවති සුකර්නෝපුත‍්‍ර සඳහන් කළ අවස්ථාවේ රට වෙනුවෙන් කතා කළ මිනිස්සු ඊට බාධා කළේ නැහැ. ඒ දේවල් දීලා හරි අපට කන්න දීපල්ලා කියලා ඔවුන් කිව්වා. එහිදී මහ දැවැන්ත බලයකින් මේඝාවතී සුකර්නෝපුත‍්‍ර ජනාධිපති වී ඒ රටට කළ හැකි විනාශය කළා. අද එවැන්නකු විසින් අප රටත් ඒ තැනට රැුගෙන යමින් තිබෙනවා. එය බොහොම පැහැදිලියි. අප රජය තුළ සිටියත් නැතත්, ඇමැතිකම් දැරුවත් නැතත් ජනතාව සමඟ එක්වී රට බේරා ගන්න කළ හැකි කළ යුතු සියල්ල කරනවා. ඒ සඳහා අප සූදානම්.

මෙහිදී අදහස් දැක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ නායක ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා මෙසේ ද පැවසීය.

හරි මගට රට ගෙන යෑම පිළිබඳව වැඩපිළිවෙළක් සහිතව අප කැඳවූ සාර්ථක මහා රැුස්වීම විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට හේතුවක් නම් අගමුල පටලැවී තිබෙන බවකුයි පේන්නේ. රාජ්‍ය නායකත්වය ඔවුන් දෙපළ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් සිදු කළේ වරදක් කියන එක මුළු රටම එක හඬින් කියනවා. ඒ පිළිබඳව යුක්තියක් මේ රජය විසින් ඉටුකරන තුරු මට, මගේ අමාත්‍ය ධුරයේ කටයුතු කළ නොහැකියි. ඇමැතිවරයෙක් ලෙස අමාත්‍ය මණ්ඩල රැුස්වීම්වලට සහභාගි වීම හෝ ඇමැතිවරයෙක් ලෙස මට මගේ වගකීම් ඉටුකිරීමට බැහැ.

අපි තුන්දෙනාත් පක්‍ෂ එකොළහක නියෝජිතයනුත් එකතුවෙලා රටේ අර්බුදයට විසඳුමක් ලෙස යෝජනාවලියක් ඉදිරිපත් කළා. යම් අනතුරක් පෙන්වන රතුපාට විදුලි බුබුළක් දැල්වෙන විට, එහි විදුලිය විසන්ධි කරලා හරියනවද? දැන් කරලා තිබෙන්නේ ඒක තමයි. එම නිසා රටේ නිවැරැුදි තත්ත්වය අවබෝධ කර දෙමින් ජනතාව පෙළගැස්වීමට අපට වගකීමක් තිබෙනවා. එම වගකීම අපි ඉටුකළ යුතුයි.

අපි විපක්‍ෂයට එකතුවෙන්නේ නැහැ. ඔබ දන්නවා විපක්‍ෂය කියන්නේ කවුද කියලා. විමල් සහ උදය කියන්නේ විශාල ජනවරමක් ලබපු අය. මේ රජය එම ජනවරම පිළිබඳ සැලකීමක් කරලත් නැහැ.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන විමල් වීරවංශ සහ උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහත්වරුන් මෙසේද කීවේය.

මාධ්‍ය – ඔබ ඇමැති ධුරයෙන් ඉවත්වනවාද?

වාසුදේව නානායක්කාර මහතා – නැහැ. අමාත්‍ය ධුරයේ කටයුතුවලින් මම ඉවත්වෙනවා. මම කැබිනට් මණ්ඩලයට යන්නේ නැහැ. මෙම වැරදි තීරණය ගැන මම ආණ්ඩුවෙන් යුක්තියක් ඉල්ලනවා.

මාධ්‍ය – මෙම රට හමුවේ ඇති අර්බුධකාරී තත්ත්වයට ඔබතුමාලත් වගකියන්න ඕන නේද?

විමල් වීරවංශ – නැහැ. අපි එයට වගකියන්න ඕන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් සිටියනම්.

මාධ්‍ය – ඔබතුමන්ලා ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙනවද?

විමල් වීරවංශ මහතා – එය අප ඉදිරියේදී දැනුම් දෙනවා. අපගේ පක්‍ෂ එකොළහේ නායකයන් එකතුවෙලා තමයි එම තීරණය ගන්නේ.

මාධ්‍ය – වාසුදේව ඇමැතිතුමා ඔබ සඳහන් කළා විමල් සහ උදය මන්තී‍්‍රවරුන්ට සිදුවූ අසාධාරණයට ආණ්ඩුව පාර්ශ්වයෙන් සාධාරණයක් විය යුතු බව. ඔබ බලාපොරොත්තු වන සාධාරණය කුමක්ද?

වාසුදේව නානායක්කාර මහතා – ආණ්ඩුව කළ දේ වැරදි බව ඔවුන් පිළිගන්න ඕන.

මාධ්‍ය – ඒ කියන්නේ මන්තී‍්‍රවරු දෙපළ නැවත ඇමැති ධුරවල පිහිටුවිය යුතු බවද?

විමල් වීරවංශ මහතා – ආපහු දුන්නත් මෙම ජනාධිපතිවරයාගේ ඇමැතිකමක් දරන්න අපේ කිසිදු සූදානමක් නැහැ.

මාධ්‍ය – අගමැතිතුමා නැවත ඇමැති ධුර ගන්නා ලෙස ඉල්ලීමක් කළොත්

විමල් වීරවංශ මහතා – මම දන්න විදිහට අගමැතිතුමා මෙම ගත්ත තීරණය ගැන කැමැත්තක් නැහැ. එතුමා දන්නවා දේශපාලනය.

මාධ්‍ය – ඔබ නොකියා කියන්නේ ආණ්ඩුව කරන්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා කියන එකද?

විමල් වීරවංශ – මෙම ආණ්ඩුව පාලනය කරන්නේ බැසිල් රාජපක්‍ෂ. උදය ගම්මන්පිල මහතාගේ වචනවලින් කීවොත් අවලස්සන ඇමරිකානුවා ඔහු තමයි මේ ආණ්ඩුවේ ගමන් මඟ තීරණ කරන්නේ. මේ ආර්ථික අර්බුදය හමුවේ එය ඔහේ ගලාගෙන යන්න දී කකුල් දෙක වන වන ඉන්නේ ඔහුයි. ජනාධිපතිවරයාට බැහැ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කියලා යමක් කරන්න. ඔහු කටයුතු කරන්නේ බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා කියන දෙය පමණයි. ඒ තරමට අභ්‍යන්තර පාලනයක් ඔහු සතුයි. ඒ සඳහා ඔහු පොදුජන පෙරමුණේ බලයත් භාවිතා කරනවා.

මාධ්‍ය – ප‍්‍රශ්නය මෙතරම් ඔඩු දුවනකම් ඔබලා සිටියේ ඇයි?

විමල් වීරවංශ මහතා – අපි එහෙම හිටියේ නැහැ. අප අභ්‍යන්තරයේ ඒ ගැන දැඩිව කතා කළා. අපි හැම තැනකදිම අපගේ වගකීම් ඉටුකළා. එහි ප‍්‍රතිඵල තමයි අපි ඇමැති ධුරවලින් ඉවත් කිරීම. ඒක අපට කිසි ප‍්‍රශ්නයක් නොවෙයි. අයින් කරන එක ඔවුන්ගේ වැඩක්. ඇත්ත කීම අපේ වැඩක්. එය අපි කළා.

මාධ්‍ය – අගමැතිවරයා මෙම සිදුවීම්වලින් පසු කතා කළේ නැද්ද?

විමල් වීරවංශ මහතා – එතුමා මටත් උදය ගම්මන්පිල මහතාටත් කතා කළා. එතුමා යම්කිසි වේදනාවකින් කතා කළේ. එතුමා සිටි ස්ථාවරය නෙමෙයි අන්තිමට තීන්දුවෙලා තිබෙන්නේ.

මාධ්‍ය – ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කර තිබුණා ඔබතුමන්ලා එළියේ කෑගැහුවට ඇතුලේ සද්ද නැතිව ඉන්නේ කියලා.

විමල් වීරවංශ – පිළිතුර සභාවේ සිනා

මාධ්‍ය – ඔබතුමන්ලාට අනුව ආණ්ඩුව කරන්නේ තනි පුද්ගලයකු නම් එය ආණ්ඩුවේ අනිත් අයටත් තේරෙන්න ඕනනේ. එහෙම තේරුණ අය ඔබලා සමග එක්වන්න සූදානමක් නැද්ද?

විමල් වීරවංශ මහතා – ගොඩක් අයට මෙය තේරෙනවා. ඒ සභාව ඉන්නේ ගොඩක් කම්පාවෙන්. ඒ තත්ත්වය ගැන ඔවුන්ගේ සන්තෝෂයක් නැහැ. තම තමන්ට ඇති දේශපාලන වෛරයන් අනුව තමයි ඒ අය හැසිරෙන්නේ. ආණ්ඩුවේ ඉන්න අති බහුතරයකට මෙය තේරෙනවා. එක පුද්ගලයකු ලැබුණ ජනවරම අවලස්සන කළා.

මාධ්‍ය – ඒ කියන්නේ ඔබතුමන්ලා සමග එක්වන්න තව පිරිස් ඉන්නවා කියන එකද?

විමල් වීරවංශ මහතා – එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්.

මාධ්‍ය – 2015 පරාජයට පත්වූ ඔබතුමන්ලාගේ කඳවුර 2020 නැවත ආණ්ඩු බලය ලබාගත්තා. ඇත්තටම 2020න් පසු ඔබතුමන්ලාට වරදින්න පටන් ගත්තේ කොතැනින්ද?

විමල් වීරවංශ මහතා – පැහැදිලිවම බැසිල් රාජපක්‍ෂ මහතා මෙයට වගකිව යුතුයි. එදා සමුළුවේදී මෙච්චර අමුවට නැතත් ටිකක් ඒ ගැන කිව්වා. හැබැයි දැන් අමුවට කියන්න පුළුවන්. දැන් මේ ඇතැමෙකු භාරගෙන තිබෙන්නේ එම කොන්ත‍්‍රාත්තුවයි. ඇමරිකාව වෙනුවෙන් ඔහු සේවය කරන්න ඕන. ආර්ථික අර්බුදය මහා ආපදාවකට පත්වීමට ඉඩ හැර ඉන්දුනීසියාවේ වගේ මහජනතාව විෂම මානසිකත්වයට පත්වීමට ඉඩදී ඇමරිකානු උපායමාර්ගයට මේ රට ගොදුරු කරන එක තමයි බැසිල් රාජපක්‍ෂගේ කොන්ත‍්‍රාත්තුව. ඔහු වැඩ කරන්නේ ඒ අරමුණින්. අවලස්සන ඇමරිකානුවට ඔහුගේ විශ‍්‍රාම දිවිය සතුටින් ගතකරන්න ඕන ඒ ඔහුගේ දරුවෝ මුනුබුරෝ සමග. එහෙම කරන්න නම් මේ පාවාදීම මෙහි කරන්න ඕන. එහෙම නොකර ලස්සන විශ‍්‍රාම දිවියක් එහි ගත කරන්න බැහැ.

මාධ්‍ය – ඔබතුමන්ලා මේ විපක්‍ෂ නායක ධුරය ලබාගැනීමට කරන කටයුත්තක්ද?

විමල් වීරවංශ – තනතුරු බලාගෙන කරනවානම් ඇමැතිකම් අතහරිනවද?

මාධ්‍ය – විමල් මන්තී‍්‍රතුමා ඔබට ජනාධිපති වීමේ සිහිනයක් තිබෙන බව කියනවා.

විමල් වීරවංශ මහතා – කවුද ඔයාට ඒ බව කිව්වේ. මම සිහින දකින්නේ නැහැ. මමත් නොදැකපු හීනයක් ගැන කවුද ඔබට කිව්වේ.

මෙම මාධ්‍ය හමුව සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමි, ලංකා සම සමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරන, රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරසුමන වීරසිංහ, උද්දික පේ‍්‍රමරත්න, ශී‍්‍ර ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ නායක ඩිව් ගුණසේකර, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, එක්සත් මහජන පක්‍ෂයේ නායක ටිරාන් අලස්, හිටපු පළාත් සභා මන්තී‍්‍රවරුන් වන ගාමිණි තිලකසිරි සහ හෙක්ටර් බෙත්මගේ ඇතුළු දේශපාලනඥයන් පිරිසක් එක්වූහ.

සිරිමන්ත රත්නසේකර/ එරික් ගාමිණී ජිනපි‍්‍රය, පින්තූර – ජුඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment