‘වේගයෙන් යන්න එපා…’ වචන තුනට වන්දි ගෙවූ එක්දරු පියා…

1156

සැකකරුවන් තිදෙනාම පාසල් සිසුන්…

වර්ෂ 1989 ජනවාරි 6 වැනිදා වලගෙදර කුරුදිප්පිටදී බිලිඳෙකු මෙලොව එළිය දුටුවේය. රංග විරාජ් ජයසිංහ යන නම දෙමවුපියෝ ඔහුට තැබූහ. කුඩා කල සිටම දෙමව්පියන්ගේ පමණක් නොව අසල්වැසියන්ගේ පවා ආදරය දිනා ගැනීමට මොහුට හැකි විය. ඒ තරමටම එම බිලිඳා වාසනාවන්ත විය. නිසි වයස පැමිණි පසු මතුගම ශාන්ත මේරි විද්‍යාලයට ඔහු ඇතුළත් විය. එහිදී උසස් පෙළ දක්වා ඔහු අධ්‍යාපනය හැදෑරුවේ ගුරු මව්පියන්ට මෙන්ම අනෙක් සිසුන්ට ද ආදර්ශවත් චරිතයක් බවට පත්වෙමින්ය.

පාසල් ගමනට සමුදුන් විරාජ් ගමේ කාටත් උදව් පදව් කරමින් ආගමානුකූල ජීවිතයක් ගත කළේය. ආගමික උත්සව, සමාජ සුභසාධන කටයුතු, ආදී ක්‍රියාකාරකම්වලදී ඔහු පෙරමුණ ගෙන කටයුතු කළේය. කොටින්ම කියතහොත් කුරා කුහුඹුවෙකුටවත් හිංසාවක් නොකරන ඔහු ගත කළේ මුළුමහත් සමාජයටම ආදර්ශවත් ජීවිතයකි.

කලක් උපන් ප්‍රදේශය තුළ සමාජ සේවා කටයුතු කරමින් සිටි ඔහු කොළඹ බලා පැමිණියේ පෞද්ගලික ආයතනයක ප්‍රවාහන කළමනාකරුවකු ලෙස සේවය කිරීමටයි. එලෙස පැමිණි ඔහු තම රාජකාරිය අකුරට ම සිදු කරමින් එම ආයතනය තුළ ද ජනප්‍රිය චරිතයක් බවට පත්විය. කලක් එලෙස ගත විය.

රැකියාව කරන අතරතුර ඔහුට තරුණියක හඳුනාගැනීමට හැකි විය. ඇය නමින් ඩිල්කි ප්‍රසංගිකා ය. ඩිල්කි නුවර ප්‍රදේශයේ තරුණියකි. නුවර උසස් බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වූ ඇය කොළඹ සරසවියට තේරී පත් වූවාය. කලක් යද්දී ඩිල්කිගේ පෙම්වතා බවට පත්වූයේ විරාජ්ය.

පළමු උපාධිය මෙරටින් ලබා ගත් ඩිල්කි ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තේ ඉන්දුනීසියාවේදී ය. අපේ ජන කලාව සහ සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙන යෑමට පවා ඇය උත්සාහ කළාය. එයට හොඳම උදාහරණය ලෙස දැක්විය හැක්කේ ජන ගීය, ජන කවිය, ජන නැටුම් සමගින් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වූ ප්‍රසංගයයි.

විරාජ් ඩිල්කිගේ ආදර කතාවට වසර නවයක් ගත විය. අඩුම තරමින් එම කාලය තුළ දී දෙදෙනා අතර බහින්බස් වීමක්වත් සිදු නොවීය. ආර්ථික අතින් ද ශක්තිමත්ව සිටි නිසා දෙදෙනා විවාහ වීමට තීරණය කළහ. දෙපාර්ශවයේ දෙමව්පියන්ගේ සහ ඥාති හිතවතුන්ගේ ආශිර්වාද මැද 2019 ජනවාරි මාසයේදී දෙදෙනා විවාහ වූහ. විවාහයෙන් පසු විරාජ් තම මහගෙදර දෙමව්පියන් සමග පදිංචි වූහ.

විවාහයෙන් වසර තුනකට පමණ පසු එම කැදැල්ලට පුංචි සුරංගනාවියක් එක් වූයේ කාගේත් සිත් සතුටු කරමින්ය. තම ලෙයින් දාව උපන් දියණියට විරාජ් පණ දෙවැනි කොට ආදරය කළේය. ඔහුගේ එකම ලෝකය වූයේ එම බිලිඳියයි. දියණියට ඇති දැඩි ආදරය නිසා රැකියාවෙන් පවා ඉල්ලා අස්වී ඔහු ඇයව බලා ගත්තේය.

විරාජ් තම බිරිඳට සහ දියණියට කොතරම් ආදරය කළාද කියා කිසිවකුටත් පැවසිය නොහැක. අඩුම තරමේ විරාජ්වත් එය දන්නේ නැත. ඒ තරම් ඔහු තම බිරිඳට සහ දියණියට ආදරය කළේය. පෙම්වතුන්ගේ දිනය දා ඔහු තම ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් ද තබා තිබුණි.

“රෝස මල් නෑ”
“චොකලට් නෑ”
“surprise නෑ”
“වගකීමෙන් කියන්නේ
මේ ගෙවන තත්පරෙත් ආදරෙයි.”

ඒ විරාජ්ගේ ආදරයයි.

දැනට මාස තුනකට පමණ ඉහතදී විරාජ්ගේ පියා හෘදයාබාධයක් සැදි මිය ගියේය. ඔහුගේ තුන්මස දානමය පිංකම යෙදී තිබුණේ 20 වැනි සඳුදා දිනටයි. ඒ සඳහා අවශ්‍ය අටපිරිකර සහ පිරිකර ගෙන ඒම සඳහා 14 වැනි දා විරාජ් තම බිරිඳ සමඟ අලුත්ගම බලා ගියේය. ඒ තම මෝටර් රථයෙනි. එලෙස ගිය එම යුවල දානමය පිංකම සඳහා අවශ්‍ය පිරිකර ඇතුළු තවත් බඩු භාණ්ඩ මිලදීගෙන නැවත නිවස බලා පිටත් වූහ.

'වේගයෙන් යන්න එපා…' වචන තුනට වන්දි ගෙවූ එක්දරු පියා…

එදින සවස හයට පමණ විරාජ් නිවසින් පිටවූයේ පාන් ගෙඩියක් මිලදී ගෙන ඒම සඳහා ය. ඒ කුරුදිප්පිට හන්දියටයි. ඔහු ගියේ තම යතුරු පැදියෙනි. එලෙස යන අතරතුර පාසල් සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරන තම බිරිඳගේ පාසලේ සිසුන් වගයක් ආරක්ෂිත හිස්වැසුම්වත් නොමැතිව අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරමින් සිටියහ. මෙය දුටු විරාජ් ඔවුන්ට අවවාද කළේය.

තාරුණ්‍යයේ සිටි එම පාසල් සිසුන් විරාජ්ගේ අවවාද තඹ සතේකටවත් මායිම් නොකර මෙලෙස පැවසුහ.

“උඹ කවුද අපිට උපදෙස් දෙන්න. අපි බයික් පදින්නෙ අපිට ඕන විදිහට. පල යන්න අපෙන් මැරුම් නොකා.”

“එහෙම කියන්න එපා මම කිව්වේ ඕගොල්ලන්ගේ හොඳට. අනික මේක මහපාර තවත් මිනිස්සු යනවා. විශේෂයෙන්ම පොඩි ළමයි. ඒක නිසා පරිස්සමෙන් බයික් පදින්න.”

“මේක මහ පාර ද මොකද්ද කියලා අපිට අදාළ නැහැ. ඒක නිසා කට වහගෙන යන්න. තව මෙතන රඟන්න හැදුවොත් අතපය කුඩු කරලා දානවා. උඹව අපිට ලොකු නැහැ ඒක දැනගනින්.”

“උපදෙසක් දුන්නම සත්තු වගේ හැසිරෙන්න එපා… විරාජ්ට පැවසීමට හැකි වූයේ එපමණකි. එක්වරම පාසල් සිසුවෙක් තම අතේ තිබූ ආරක්ෂිත හිස්වැසුමෙන් ඔහුට පහරක් එල්ල කළේය. අනපේක්ෂිතව එල්ල වූ එම ප්‍රහාරයෙන් විරාජ්ට ද කේන්ති ගියේය. ඔහු එම පහරට ප්‍රති පහරක් එල්ල කළේය. ඒ සමගම කිපුණු පාසල් සිසුන් තිදෙනා විරාජ්ට තම අතේ තිබූ හිස් වැසුම්වලින් පහර පිට පහර එල්ල කළහ. එම පහරවල් හමුවේ ඔහු කපා හෙලූ කෙසෙල් කඳක් මෙන් ඇද වැටුණි. එලෙස ඇද වැටුණු පසුත් තම කේන්තිය පහවන තුරු එම පාසල් සිසුන් විරාජ්ට පහරදුන්නේය.

පහරකෑමෙන් මාරාන්තික තුවාල ලැබූ විරාජ්ව අලුත්ගම රෝහලට ඇතුළත් කළේය. එලෙස ඇතුළත් කරනවිට අවසන් හුස්ම පොද පවා ඔහු වා තලයට මුසු කර හමාරය.

පුංචි දියණියගේ අවුරුද්දේ උපන් දිනය සැමරීමට තව ඉතිරිව තිබුණේ මාසයක පමණ කාලයකි. එය ඉහළින් සැමරීමට විරාජ් සූදානමින් සිටියේය. එහෙත් ඉතාමත් අවාසනාවන්ත ලෙස ඔහුට උපන්දින සාදය පමණක් නොව මෙලොව ඔහු ආදරය කළ සියලුම දෑ සදහටම අතහැර යෑමට සිදුවිය. ඒ පාසල් සිසුන් තිදෙනකු අශික්සිත ලෙස ඔහුට පහර දී ඝාතනය කිරීම නිසාවෙනි.

'වේගයෙන් යන්න එපා…' වචන තුනට වන්දි ගෙවූ එක්දරු පියා…

එම සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් තිදෙනා එදිනම වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුදින මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර පාසල් සිසුන් තිදෙනා 28 වැනි දා දක්වා මාකොළ බාලක රැඳවුම් නිවාසයේ රඳවා තබන ලෙසයි.

සැකකාර පාසල් සිසුන් තිදෙනා ගමන් කර ඇත්තේ තම දෙමව්පියන්ගේ යතුරුපැදිවලිනි. සැකකාර එක් සිසුවකුටවත් රියැදුරු බලපත්‍ර තිබී නොමැත. මෙහිදී මෙම සිද්ධියට එම සැකකාර සිසුන්ගේ දෙමව්පියන් ද වගකිව යුතුය. ඒ මන්ද යත් රියදුරු බලපත්‍ර නොමැති තම පුතුන්ට යතුරුපැදි ලබාදීම නිසාය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment