කොළඹ 15 බ්ලූමැන්ඩල් අගමැති විද්‍යාලය – රාජකීය විද්‍යාලය අතරේ නිදහස් අධ්‍යාපනයේ දුර සොයා යෑම…

136

“පුණ්‍යකර්මයේ නිවහන”.. මන්නාරමේ අපූරු ආදර්ශය..

මුස්ලිම් ගම්මානයක් මැද තියෙන ජනවර්ග තුනේම එකම සිංහල ඉස්කෝලෙ…

බඩගිනි දරුවන් ‘මිනිසුන්’ කරන පාසල්…

පවතින ආර්ථික අර්බුදයත් සමඟ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව කිසිවකුට රහසක් නොවෙයි. මෙම තත්ත්වය හමුවේ නිදහස් අධ්‍යාපන සංකල්පයේ සැබෑ අර්ථය තවදුරටත් පවතීද? අපි මේ ගැන සොයන්නට කොළඹින් පටන්ගෙන ලංකාවේ ප්‍රත්‍යන්ත ප්‍රදේශ දක්වා සංචාරය කළෙමු. එමෙන්ම, අධ්‍යාපන ක්ෂේත්‍රය මේ වන විට පවතින තත්ත්වයට අදාළ නිල හා නොනිල තොරතුරුත් විමසා බැලුවෙමු .

ශ්‍රී ලංකාව 2020-2023 දක්වා තෙවසර තුළදී අධ්‍යාපනය සඳහා වැය කළ මුදල දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් පිළිවෙළින් සියයට 1.08, 1.05 සහ 1.09ක්. ශ්‍රී ලංකාවේ මෙම අගය කිසි විටෙක සියයට 2 ඉක්මවා ගොස් නැහැ. මෙය ආසියාවේ රටවල් අතර ඉතා පහළ අගයක් වන අතර, අධ්‍යාපනය ගුණාත්මක ලෙස පවත්වාගෙන යෑම සඳහා එම අගය සියයට 4ක් වත් විය යුතු බව ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ පිළිගැනීමයි.

පසුගිය මැයි 29 සිට ජුනි 2 දක්වා ක්‍රියාත්මක වූ, ‘අධ්‍යාපනය සඳහා වන ගෝලීය ක්‍රියාකාරී සතියේදී’ එම ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීන් අවධාරණය කළේ, අධ්‍යාපනය සඳහා වන වියදම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 4-6 දක්වා අගයක් හෝ සමස්ත රාජ්‍ය වියදමෙන් සියයට 15-20ක් දක්වා වර්ධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. මෙම අගය පහළ ප්‍රතිශතයක් ගැනීමේ ප්‍රතිඵලය වන්නේ, අධ්‍යාපන වියදම ඔරොත්තු නොදෙන පරිදි දෙමාපියන් මත පැටවීමයි. එය සමාජයේ ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවන්ගේ දරුවන් අධ්‍යාපනයෙන් විතැන් කරන සාධකයක් බව මේ වන විට සුලබව දක්නට ලැබෙන කාරණයක්.

● අධ්‍යාපනයේ පන්ති බේදය

අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2021 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ තිබෙන සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 10,146ක්. එමෙන්ම එහි ඉගෙනුම ලබන දරුවන්ගේ සංඛ්‍යාව 4,048,937ක් වන අතර එහි උගන්වන ගුරුවරුන්ගේ සමස්ත සංඛ්‍යාව 241,054ක්. මේ සියලුම පාසල් හි ඉගෙනුම ලබන සියලුම දරුවන්ට ජාති ආගම් කුල භේදයකින් තොරව සමාන අධ්‍යාපනයක් ලැබිය යුතු නමුත් ප්‍රායෝගිකව එය සිදු නොවන බව ප්‍රකට කාරණයක්.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්පත් බෙදී යෑමේ විෂමතාව මෙන්ම දෙමාපියන්ගේ ආර්ථික හැකියාව හා උගත්කමද දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි තීරණාත්මකයි. එමෙන්ම අගනුවර ප්‍රසිද්ධ පාසලක දරුවෙකුටත් ඈත ග්‍රාමීය පාසලක දරුවෙකුටත් සමාන අධ්‍යාපන සුදුසුකම් තිබුණද රැකියා වෙළෙඳපොළහි කිසිවිටෙක සමාන අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අදටත් නිසි අධ්‍යාපන සුදුසුකම් තිබියදීත් අසමානතාව හේතුවෙන් රැකියා විරහිතව බොහෝදෙනකු ගම්වල සිටිනවා.

අධ්‍යාපනයට ප්‍රමාණවත් තරම් ප්‍රතිපාදන වෙන් නොවීම මෙන්ම, තිබෙන සම්පත් බෙදී යෑමේ විෂමතාව, අධ්‍යාපන අර්බුදය සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමේදී නිරන්තරයෙන් ඉස්මතු වූ කාරණයක්. උදාහරණයක් වශයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ දරුවෙකුගෙන් ඔහුගේ අනාගත සැලසුම කුමක්දැයි විමසූ විට ඔබට ඉදිරි අවුරුදු පහක හෝ 10ක ඔහුගේ සැලැස්ම දැන ගන්නට පුළුවන්. නමුත් මෙම ප්‍රශ්නයම දුෂ්කර පාසලක දරුවෙකුගෙන් විමසන විට ඔහුට තමන්ගේ අනාගතය ගැන නිශ්චිත අදහසක් නැහැ. මෙයට හේතුව එම දරුවන්ගේ දුබලතාවක් නොවේ. ඔවුන්ගේ සමාජ පසුබිම බොහෝ විට මෙයට හේතුවයි.

මෙය වටහාගැනීමට බොහෝ දුර බැහැර දුෂ්කර ප්‍රදේශවලට යෑමටම අවශ්‍ය නැහැ. සරල උදාහරණයකින් මෙය පැහැදිලි කරනවානම් කොළඹ හතේ පිහිටි රාජකීය විද්‍යාලයට කි.මී. දහයක්වත් නැති කොළඹ 15 බ්ලූමැන්ඩල් අගමැති විද්‍යාලයේ දරුවන්ට තමන්ගේ අනාගතය නොව හෙට දවස වුව අවිනිශ්චිතයි. මන්ද, එම විද්‍යාලයේ විදුලි බිල පවා ගෙවීමට නොහැකි වීම නිසා එම දරුවන් විදුලිය කප්පාදු කිරීමේ දවස ආසන්නයේ සිටිනවා. අනාගත ඉලක්ක ඇතිව උද්‍යෝගයෙන් අධ්‍යාපනය ලබන දරුවන්, මෙවැනි පාසල්වල දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඊට හේතුව බලධාරීන්ගේ පමණක් වැරැද්ද නෙවෙයි. එම දරුවන් ජීවත්වන සමාජය, වටපිටාව සහ ඔවුන්ගේ සංස්කෘතිය ආදී බොහෝ කරුණු කාරණා, අධ්‍යාපනය යනු එතරම් වටිනාකමක් නැති දෙයක් බවට පත් කර තිබෙනවා. එයට හේතුව ඔවුන්ගේ දෙමාපියන්ට අධ්‍යාපනයට වඩා එදිනෙදා ජීවිතය ගැන කල්පනා කිරීමට සිදුව තිබීමයි.

● කොළඹ 7 සහ 15 අතර දුර!

කොළඹ ගිනි ගහන අව්ව මැද්දේ බ්ලූමැන්ඩල් අතුරු පාරවල් අස්සෙන් කොළඹ ඉන්න කෙනෙකුවත් නොදන්නා අගමැති විද්‍යාලය සොයා අප ගියේ, මේ සොයාබැලීමේ එක් පියවරක් හැටියටයි. පාසල තුළට ගොස් විදුහල්පතිතුමාගේ කාමරය ඇතුළේ ඉඳගත්ත ගමන් රස්නෙයි හිතේ තියෙන පීඩනයයි එක්ක දාඩිය දාන්න පටන් ගත්තා. ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි විදුහල්පතිතුමා විදුලි පංකාව ක්‍රියාත්මක කළේ. විදුහල්පතිවරයාටත් අපට දැනුණු පීඩනය දැනෙන්න ඇති. එත් ඔහුට විදුලි පංකාව ක්‍රියාත්මක කරන්නට හෝ ‘මානසික ඉස්පාසුවක්’ නොතිබෙන්න ඇති.

“අනේ පුතේ අපේ ඉස්කෝලේ කරන්ට් එකත් කපන්න ඔන්න මෙන්න තියෙන්නේ. රුපියල් හැත්තෑ දාහක ඇරියස් එකක් තියෙනවා. ඒකවත් ගෙවාගන්න විදිහක් නැතුවයි අපි මේ ඉන්නේ. මේ බලන්න ඉස්කෝලේ ආදි ශිෂ්‍යයන්ගේ ගෲප් එකට මං මේ මැසේජ් එක දැම්මා, ඒත් කිසිම ප්‍රතිචාරයක් තවමත් නෑ.” විදුහල්පතිතුමා දැවෙන ප්‍රශ්නයකින්ම කතාව ආරම්භ කළා.

විදුහල්පතිවරයා සඳහන් කරන ආකාරයට පාසල මේ තත්ත්වයට එන්න ප්‍රධානතම හේතුව වී ඇත්තේ පාසල ගැන හෝ දරුවන් ගැන මේ දෙමව්පියන්ට තිබෙන නොසැලකිලිමත්භාවයයි. “මේ සමහර දෙමව්පියන්ට ලක්ෂ ගණන් වටිනා රන් රිදී මාල පළඳින්න සල්ලි තියෙනවා. දහස් ගණන් වියදම් කරලා අලුත් අලුත් විලාසිතා ඇඳුම් ගන්න සල්ලි තියෙනවා. හැමදාම රෑට කොත්තු, පරාටා, බුරියානි කන්නත් සල්ලි තියෙනවා. හැබැයි තමන්ගෙ දරුවෝ ඉගෙන ගන්න ඉස්කෝලෙට පහසුකම් හා සේවා ගාස්තුව ගෙවන්න එයාලට සල්ලි නෑ. මේ බොහෝමයක් දෙමව්පියෝ කම්කරුවෝ. බොහොමයක් දෙනා කොළඹ වටේ සුද්ද කරනවා. නමුත් ඉස්කෝලේ පොඩ්ඩක් පිරිසිදු කරන්න එන්න කිව්වම ඒක මදිපුංචිකමක්. කිසි කෙනෙක් ඒ සඳහා එන්නේ නෑ.”

විදුහල්පතිවරයා මෙසේ කියන විට අපට සිතෙන්නේ සැබැවින්ම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නොමිලේ ද? කියලා. රජයෙන් අවශ්‍ය කිසිම දෙයක් නොලැබෙද්දී, පාසල වැසීයන දවස ළංවෙද්දි විදුහල්පතිවරයාට දෙමව්පියන්ගෙන් සල්ලි ඉල්ලන්න සිදුවීම පුදුමයට කාරණාවක් නෙවෙයි. නමුත් අපට මෙයින් පෙනෙන්නේ සැබැවින්ම අධ්‍යාපනය නිදහස් නොවන බවයි. ලංකාවේ එක පන්තියකට විතරක් සියලුම පහසුකම් ලැබෙන නිදහස් අධ්‍යාපන ක්‍රමයක් නේද අපට තියෙන්නෙ කියලා මේ වගේ තැන්වලට ගියාට පස්සෙ තමයි මතක් වෙන්න.

එමෙන්ම මේ දරුවන්ගේ දෙමව්පියන් නියෝජනය කරන කොළඹ මහ නගර සභාවේ ඉන්න නාගරික මන්ත්‍රීවරුන් පවා කරන්නේ තමන්ට හිතවත් අයගේ දරුවන්ව ප්‍රසිද්ධ පාසල් සඳහා යොමු කිරීම මිසක තමන්ගෙ බහුතරයක් ඡන්දදායකයන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසල් දියුණු කරන්නට කටයුතු කිරීම නෙවෙයි. එපමණක් නොව මෙවැනි සිදුවීම්වලින් අපට තේරෙන්නේ සාමාන්‍ය මිනිසුන් දැනුමෙන් සන්නද්ධ වීමට ඔවුන් කොතරම් බියද කියලා.

● “පුණ්‍යකර්මයේ නිවහන” මන්නාරමේ අපූරු ආදර්ශය

මෙයට හාත්පසින්ම වෙනස් කතාවක් අපි මන්නාරමේ දැක්කා. කන් බෙර පුපුරන වෙඩි හඬ මැද්දේ ජීවිතය ආරක්ෂා කරගන්න තමන්ගේ සියලුම දේවල් අත්හැර ඇඳගෙන හිටපු ඇඳුම පිටින් 90 දශකයේ අවතැන් වෙච්ච මන්නාරමේ මිනිස්සු නැවතත් තමන්ගෙ බිමට ඇවිත්. තමන්ට සිදුවෙච්ච දේ තමන්ගේ අනාගත පරම්පරාවට නොවෙන්න ඔවුන් අධ්‍යාපනයේ වටිනාකම තේරුම් අරන් කටයුතු කරන බවක් අපට මන්නාරම අල් අස්හර් ජාතික පාසලේ අපට දක්නට ලැබුණා.

“රුපියල් දෙසීයට අඩු ඕනෑම ගණනක් ළමයි මේකට සල්ලි දානවා. හැම සිකුරාද දවසකම ඒ සල්ලි ටික එකතු කරල ගණන් කරනවා. සමහර වෙලාවට සමහර පන්තිවල තියෙන මුට්ටි හිස්. තව සමහර වෙලාවට හොඳට සල්ලි එකතුවෙලා. ඊට පස්සෙ සඳුදා උදෑසන රැස්වීමේ කියනවා ඔක්කොම සල්ලි කීයක් එකතු වුණාද කියලා. ඊට පස්සේ ඒ සතියෙම ඉස්කෝලෙට එන දුප්පත් ළමයෙකුට අධ්‍යාපනයට අවශ්‍ය සපත්තු කුට්ටමක්, බෑගයක් නැත්නම් වෙන මොකක් හරි ගෙවීමක් තියෙනවනම් ඒක ඒ සල්ලිවලින් කරනවා. කිසිම ළමයෙක් දන්නේ නෑ උදව් ලැබුණේ කාටද කියලා. හැබැයි හැමෝම දන්නවා මගේම වටේ ඉන්න ළමයෙකුට තමයි මේ සල්ලිවලින් මොකක් හරි ලැබෙන්න යන්නේ කියලා. මේ වැඩේ කරන්න ගුරුවරයෙක් ඉන්නවා සහ හැම සතයක් ගැනම විනිවිදභාවයක් අපි ආරක්ෂා කරනවා. මේ වැඩේට අපි දාලා තියෙන නම තමයි “බයිතුල් සධකා” ඒ කියන්නේ, පුණ්‍යකර්මයේ නිවහන” යනුවෙන් මන්නාරම අල් අස්හර් ජාතික පාසලේ විදුහල්පති යූනුස් මාහිරි මහතා අප සමග පැවසුවා.

● පෝෂණයේ අභියෝගය

කොළඹ 15 බ්ලූමැන්ඩල් අගමැති විද්‍යාලය - රාජකීය විද්‍යාලය අතරේ නිදහස් අධ්‍යාපනයේ දුර සොයා යෑම…

නිසි පෝෂණයක් ලැබීම හා සාර්ථක අධ්‍යාපනයක් ලැබීම අතර ඇත්තේ වෙන් කළ නොහැකි සම්බන්ධයක්. 2022 වසරට අදාළ මහ බැංකු වාර්තාවට අනුව ආර්ථික අර්බුදයත් සමග රටපුරා පවතින ළමා පෝෂණ විෂමතා තවදුරටත් වැඩි කරමින් බොහෝ දිස්ත්‍රික්කවල ළමා මන්දපෝෂණ තත්ත්වය අයහපත් ලෙස වර්ධනය වී ඇති බව නිරීක්ෂණය වුණා.

“මේ ඉස්කෝලේ උදෑසන රැස්වීම වෙලාවේ එක ළමයෙක් හරි අනිවාර්යෙන් හැමදාම කලන්තේ දාලා වැටෙනවා. ඉතාම අසරණ ළමයි ගොඩක් මේ ඉස්කෝලේ ඉන්නවා. අපි පොඩි පොඩි දේවල් කරලා කොහොම හරි ඒ ළමයින්ට පෝෂදායී ආහාර වේලක් ලබා දෙන්න කටයුතු කරනවා ඒත් සම්පූර්ණයෙන්ම අපිට තනියම කරන්න බෑ” එම පාසලේම ගුරුවරයෙකු අපට පැවසුවා.

2022 මහබැංකු වාර්තාවට අනුව අවුරුදු 5ට අඩු ළමුන් අතර අඩු බර ළමුන්ගේ ප්‍රතිශතය 2021 වර්ෂය වාර්තා වූ සියයට 12.2 සිට 2022 වසර වන විට සියයට 15.3 දක්වා ඉහළ ගොස් ඇති අතර අවුරුදු 5ට අඩු ළමුන් අතර වයසට සරිලන උස නොමැති සහ උසට සරිලන බර නොමැති ප්‍රතිශත පිළිවෙළින් 2021 වසරේ වාර්තා වූ සියයට 7.4 සහ සියයට 8.2ක සිට 2022 වසරේදී සියයට 9.2 හා සියයට 10.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වයසට සරිලන උස නොමැති ළමුන්ගේ වැඩිම ප්‍රතිශතය වන සියයට 22.8 නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර අඩුම ප්‍රතිශතය වන සියයට 5.1 කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා.

මන්නාරම කියන්නේ ලංකාවේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ එක් කේන්ද්‍රස්ථානයක් බව අප සැවොම දන්නා ප්‍රසිද්ධ රහසක්. හැබැයි එය එසේ තිබුණද මන්නාරම අල් අස්හර් ජාතික පාසලේ දරුවන්ව තමයි මන්නාරම පොලිසිය සැමවිටම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්වලදී උදාහරණයට ගන්නේ. එම දරුවන් එතරම් අධ්‍යාපනයට උනන්දුයි. එය එසේ තිබුණ ද බලධාරීන් මේ දරුවන් ගැන ඔවුන්ගේ අධ්‍යාපනය ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එම පාසලේ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට පින් සිද්ද වෙන්න එම දරුවන් තමන්ගේ අධ්‍යාපනය ඉතාමත් සාර්ථකව ඉදිරියට කරගෙන යනවා.

කොළඹ පහළොවේ සහ මන්නාරමේ මේ කතා දෙක අහනකොට අපිට තේරෙනවා අධ්‍යාපනයේ වෙනස් විය යුත්තේ බලධාරීන්ගේ කාර්යභාර පමණක් නොවන බව. සමාජයේ වගකීමක් වෙනස් විය යුතුයි.

ලිපියේ මුලින් සඳහන් කළ දත්තවලට අනුව, 2021 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිසුන් සිසුන් 16 දෙනකුට එක් ගුරුවරයෙක් සිටිනවා. මෙය සංඛ්‍යාත්මකව පමණක් නොව සැබැවින්ම පවතී නම් එය ඉතාම හොඳ තත්ත්වයක්. නමුත් යථාර්ථය නම්, පහසුකම් ඇති තැන්වල ගුරු අතිරික්තයකුත්, දුෂ්කර තැන්වල බරපතළ ලෙස ගුරු හිඟයකුත් පවතින බවයි. එමෙන්ම එම වසරේම සංඛ්‍යාලේඛනවලට අනුව ලංකාවේ ළමයි සීයට අඩුවෙන් ඉගෙනගන්න ඉස්කෝල 2,971ක් තියෙනවා. ඒ හැම පාසලක්ම දුෂ්කර නෙමෙයි. නමුත් බහුතරයක් පාසල් දුෂ්කරයි.

● ජනවර්ග තුනේම – සිංහල ඉස්කෝලෙ

මුතූර් සිංහල මහා විද්‍යාලය මේ වන විට සිංහල දෙමළ මුස්ලිම් හැම ජාතියේම දරුවන් 89ක් ඉගෙන ගන්න දුෂ්කර පාසලක්.

“අපේ ඉස්කෝලෙටම තිබ්බෙ පරිගණක තුනයි. ඒ තුනත් කොවිඩ් කාලේ මේ ඉස්කෝලය වහල තිබුණු වෙලාවක හොරු පැනලා උස්සගෙන ගියා. දැන් ආපහු මේ ළඟදි ආණ්ඩුකාරවරයා මේ ළමයින්ට පරිගණකයක් දීලා ගියා. මාස හතරක් විතර මේ ළමයින්ට ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි උගන්නන්න හරිහැටි ගුරුවරයෙක් නෑ.” මුතූර් සිංහල මහා විද්‍යාලයේ විදුහල්පති කේ. හැරිසන් මහතා අප සමග පැවසුවා.

කාෂ්ඨක පොළොවේ පිච්චෙන මිනිස්සු ගොඩාක් දරදඬුයි කියලා අපි හිතුවට මුතූර්වල මේ සිංහල පාසල අපිට කියන්නේ මේ මිනිසුන්ගේ ඇතුළේ පණ ගැහෙන මනුෂ්‍යත්වය ගැන කතාවක්. විශාල මුස්ලිම් ගම්මානයක් මැද තියෙන එකම සිංහල පාසල මේක. අධ්‍යාපනය වේවා, සමාජය වේවා, ආගම වේවා මේ කිසිම දෙයකට මේ සිංහල පාසලටයි මුස්ලිම් ගමටයි තියෙන සබැඳියාව බිඳින්න බැරි වෙලා තියෙනවා.

තමන්ගේ දරුවා පාසල නිම වී පිටතට පැමිණෙන තෙක් බලා සිටි මුස්ලිම් ජාතික පියෙක් මෙහෙම කිව්වා. “ගොඩක් අමාරුවෙන් තමයි මේ දවස්වල අපි ජීවත් වෙන්නේ. හැබැයි එහෙම කියලා මගෙ දරුවව ඉස්කෝලෙට යවන්නේ නැතුව ඉන්න බෑ. අනික මගේ පවුලේ එක ළමයෙක් හරි සිංහල ඉස්කෝලෙක ඉගෙන ගන්න ඕනේ කියලා හිතන හින්ද තමයි මගේ දරුවව මේ ඉස්කෝලෙට දැම්මෙ.”

අපට මුණගැසුණු අම්ම කෙනෙක් මෙහෙම කිව්වා: “මගේ මහත්තයට රස්සාවක් නෑ. මම කෑම පාර්සල් විකුණලා තමයි කීයක් හරි
හොයාගන්නේ. එහෙම හොයා ගන්න සල්ලිවලින් ලොකු ගාණක් මගේ ළමයි දෙන්නගේ අධ්‍යාපනයට තමයි වියදම් වෙන්නෙ. හරියට කෑම වේලක්වත් මගේ දරුවන්ට දෙන්න විදිහක් නෑ මේ තියෙන ආර්ථික අර්බුදයක් එක්ක. මගේ ළමයි හරි දක්ෂයි නැටුම් කරන්න, හැබැයි මේ ඉස්කෝලේ කිසිම පහසුකමක් නැහැ ඒකට. අපේ නෑදෑ ගෙවල්වල ළමයි එයාලගේ ඉස්කෝලේ තියෙන දේවල් ගැන කතා කරනකොට මගේ දරුවෝ මං ගාවට ඇවිල්ලා අඬාගෙන අහනවා ඇයි අම්මේ මට ඒ දේවල් කරන්න බැරි කියලා. අඩුම තරමින් අපේ ළමයි දන්නෙවත් නෑ ලොකු ලොකු ඉස්කෝලවල තියෙන පහසුකම් මොනවද කියලා. හැම පැත්තෙන්ම අපේ ළමයි අසරණ වෙලා තමයි ඉන්නේ.”

මේ සිංහල පාසලේ මුස්ලිම් පවුල්වල ළමුන් ඉගෙනුම ලබනවා. ඒ වගේම දෙමළ හා සිංහල පවුල්වල ළමයිනුත් ඉගෙන ගන්නවා. ඒ එකිනෙකා ජීවත්වෙන්නේ සහෝදරයෝ වගේ. නමුත් මේ පාසලටත් කිසිදු වගකිවයුතු බලධාරියෙකුගේ ඇහැ තවමත් යොමු වෙලා නෑ. දරුණු යුද ගිනි දැල් දැවුණු ලංකාවේ, සහජීවනයට නෑගම් එන මේ පාසලේ උගන්වන ගුරුවරුන්ට නවතින්නට නේවාසිකාගාර පහසුකම් වත් හරියාකාරයෙන් සූදානම් කර දීමට නොහැකි අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව පහුගිය කාලයන්හි සංහිඳියාවට කියමින් මිලියන ගණන් මුදල් වියදම් කළා. නමුත් මෙයින් පෙනෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ රජයේ සැබෑ නිරුවත නෙමෙයි ද?

● ‘කොළඹට කිරි ගමට කැකිරි’ පිළිවෙත

කොළඹ 15 බ්ලූමැන්ඩල් අගමැති විද්‍යාලය - රාජකීය විද්‍යාලය අතරේ නිදහස් අධ්‍යාපනයේ දුර සොයා යෑම…

“මම ගොඩක් අවස්ථාවල සම්මන්ත්‍රණ පවත්වන්න වැලිකන්ද වැනි දුෂ්කර ප්‍රදේශවලට යනවා. සම්පත් හිඟය සහ ගුරු හිඟය ඒ බොහෝ තැන්වල දක්නට ලැබුණු දෙයක්. හොඳම උදාහරණය අපේ ඉස්කෝලේ ඉංග්‍රීසි ගුරුවරුන් දොළහක්ම ඉන්නවා. ඒත් සමහර පාසල් තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ එක ඉංග්‍රීසි ගුරුවරයෙක් වත් නැති. පෙළපොත් පවා හරියට හැම පාසලකටම යන්නෙත් නෑ. ඊළඟ ප්‍රශ්නය, ගුරුවරුන් කැමති නෑ දුෂ්කර පාසල්වලට යන්න. හැම ගුරුවරයෙක්ම බලන්නේ ප්‍රධාන පෙළේ පාසලකට හෝ ජාතික පාසලකට යන්න.” කොළඹ ප්‍රධාන පෙළේ පාසලක, නම සඳහන් කිරීමට අකමැති ගුරුවරියක් අපට පැවසුවා.

මොකක්ද මේ සිදුවෙමින් තිබෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥවරියකද වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරියගෙන් අපි ඒ ගැන විමසුවා. මේ ඇයගේ පැහැදිලි කිරීම:

“1980 ගණන්වල ඉඳලා රජය සහ ආණ්ඩුව ක්‍රමානුකූලව අධ්‍යාපනයේ තම වගකීමෙන් අයින් වෙනවා. එම ප්‍රතිපත්තියේම ඉඳගෙන බලයට පැමිණෙන සෑම රජයක්ම අධ්‍යාපනය සඳහා නිසි මුදල් වෙන් කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒ හරහා තමයි පාසල් අතර විශාල අසමානතාවයන් බිහිවෙලා තියෙන්නේ. ඒ වගේම තවත් විශාල පාසල් ප්‍රමාණයක් වැසී යන තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මෙයට තිබෙන එකම විසඳුම අධ්‍යාපනය රජයේ ප්‍රබල වගකීමක් ලෙස ගැනීම පමණයි. නමුත් සිදු වෙමින් තිබෙන්නේ එහි අනෙක් පැත්ත. අධ්‍යාපනය කියන කාරණාව දෙමාපියන් මත පටවා ක්‍රමානුකූලව වගකීම් ගත යුතු බලධාරීන් සහ ආණ්ඩු එයින් අයින් වෙනවා. මෙය සිතා මතා ආණ්ඩුව ගෙන යන ඉතාමත් සූක්ෂම ක්‍රියාවලියක්.”

ජෝසප් ස්ටාර්ලින් කියන්නේ, අධ්‍යාපනය ගැන කතා කරන විට අමතක කරන්නම බැරි නමක්. මේ, ගුරු සංගම් නායකයකු ලෙස මේ තත්ත්වය ගැන ඔහු දරන අදහස:

“අධ්‍යාපනයෙහි සම අවස්ථා ඇති කිරීම සඳහා කන්නන්ගර ප්‍රතිසංස්කරණ ගෙන ආවේ 1943දී. නමුත් අද වෙනතුරු ඒ අරමුණ ජය ගැනීමට නොහැකි වීම තමයි මෙම පාසල් අතර තියෙන අසමානතාවය පෙන්වන්නේ. අද වන විට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් නඩත්තුව සඳහා කිසිදු මුදලක් වෙන් කරන්නේ නැහැ. ආණ්ඩුවට සල්ලි නෑ. ඇති හැකි දෙමව්පියන් සිටින පාසල්වල බලහත්කාරයෙන් සල්ලි එකතු කරලා, විවිධ සුබ පතන්නන්ගෙන් ආධාර අරගෙන තමයි මේ පාසල් නඩත්තුව ගෙන යන්නේ. හැකියාවක් නැති පාසල්වල අඩුම ගානේ ලයිට් බිලවත් ගෙවාගන්න විදිහක් නෑ.”

කොළඹ, මන්නාරම හෝ ත්‍රිකුණාමලයේ මුතූර් වෙන්න පුළුවන්, මේ හැම තැනම අපිට කියන්නේ, බෙදා වෙන් කර ගැනීම් ගැන කතා නෙමෙයි, එකට එකතු කරගැනීම් ගැන කතා. සම්පත් බෙදීයෑම වැනි අතිශය බරපතළ දේශපාලනික කතා අතරේ අධ්‍යාපනයේ වගකීම අත්හරින්නෙ නැතුව අල්ලන් ඉන්න මිනිස්සු ගැන කතාව. උතුරෙත් දකුණෙත් නැගෙනහිරත් මිනිස්සුන්ට මේක තවදුරටත් අල්ලගෙන ඉන්න අමාරුයි. රජයත් යම් හැකියාවක් තියන පුරවැසියනුත් මේ වෙනුවෙන් මැදිහත් විය යුතුය.

ෂබීර් මොහොමඩ්

advertistmentadvertistment
advertistmentadvertistment