පළමු පෙළ ක්‍රිකට් අවසන් සටනට එස්. එස්. සී. සහ සෙබස්තියනයිට්ස්

98

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට එස්. එස්. සී. ක්‍රීඩා සමාජය සහ සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය සමත් වූයේය.

එම තරගය හෙට (16 වැනිදා) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය පෙරේදා (13 වැනිදා) සෙබස්තියනයිට්ස් සහ බදුරලිය කණ්ඩායම අතර පැවති අතර ඉන් කඩුලු 10 ක ජයග්‍රහණයක් ලබමින් සෙබස්තියනයිට්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

දෙවෙනි අවසන් පූර්ව තරගය ලෙස ඊයේ (14 වැනිදා) කොළඹ එන්සීසී ක්‍රීඩාංගණයේද පැවැති තරගයේදී කඩුලු 7ක ජයග්‍රහණයක් ලබමින් එස්. එස්. සී. කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පිත්තෙන් විශිෂ්ට දස්කම් දක්වමින් තම කණ්ඩායම අවසන් තරගය කරා ගෙන යෑම සඳහා එස්. එස්. සී. ආරම්භක පිතිකරු නොදැවී ලකුණු 125ක් ලබා ගත්තේය.

පන්දු 100ක් තුළදී තම ශතකය සම්පූර්ණ කළ අවිශ්ක තරගය නිමාවන විට හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සිය ඉනිමට එක් කර ගෙන තිබුණි.

අවිශ්ක සහ ක්‍රිෂාන් අංජුල අතර තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 150 ක සම්බන්ධතාවක් වාර්තා වූ අතර අංජුලගේ ඉනිම ලකුණු 58 කදී නිමා කිරීමට අකිල ධනංජය සමත් වූයේය.

එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කෝල්ට්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 238 ක් රැස් කර ගත් අතර එස්. එස්. සී. ක්‍රීඩකයෝ පන්දු වාර 47ක් තුළදී එම ඉලක්කය පසුකර ගියහ.

පෙරේදා සෙබස්තියනයිට්ස් සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් බදුරලිය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයෝ ලකුණු 108 කට දැවී ගිය අතර එම ඉලක්කය පන්දු වාර 22.3 ක්දී පසුකර යෑමට සෙබස්තියනයිට්ස් කණ්ඩායම සමත් වූයේය.

සෙබස්තියනයිට්ස් ආරම්භක පිතිකරුවන් වූ තුළිණ ඩිල්ශාන් සහ නවිදු විතානගේ ලකුණු 53 බැගින් නොදැවී එහිදී ලබා ගත්හ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment